අන්තිම පේලිය සහ ආලෝක දඩයම්

                                          අන්තිම පේලිය සහ ආලෝක දඩයම්


       ජේම්ස් මහර් (James Maher) යනු මෑන්හැටන් සහ බෘක්ලින්හි නිව් යෝර්ක් ඡායාරූප ශිල්පියෙකිඔහු ජීවිත කාලය පුරාම නිව් යෝර්ක් වැසියෙක් ලෙසද සඳහන්ය,

    ජේම්ස් 2005 සිට නගරයේ ඡායාරූප ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබේ. සංචාරක මාර්ගෝපදේශකයෙක් ලෙසද සඳහන්ය. වීදි ඡායාරූප කරණ උමතුවෙන්ද පෙලී සිටියා සේය. සයිබර් රස්තියාදුවේදී මේ ඡායාරූපය දුටු විටම මාරස ඇස නතරවිය. තනියම සිනහවන්නට වීමි. එහෙත් යම් ලැජ්ජාවක් නිසා ඇති වූ චකිතයද තවමත් ඔලුගෙඩියේ කොහේ හරි සැඟවී තිබෙනවා සේ දැනේ. හයේ පන්තියේ සිට 10 පන්තියට එනතෙක් මාරසද ඉදිරි මැද පැති පේලිවල මෙන්ම අන්තිම පේලියේද පාඩම් ඉගෙන ගෙන තිබේ. සැබෑවටම හොඳම පාඩම් ඉගෙන ගන්නේ අන්තිම පේලියේ ඉගෙන ගන්නා කාලයේය. අන්තිම පේලියේ සිටි කාලයනම් කිසිදා කිසිවෙකුට අමතක විය නොහැක. අන්තිම පේලියේ කිසිදා නොහිටි අන්තිම පේලියේ සගයන්වද කිසිදා සීලාචාර නමින් පෙනීසිටින අන්තිම අහිංසකයන්ටද අමතක වන්න‌ේ නැත. අන්තිම පේලියේ ඉන්නේ ගල් ආඳන් යන කතාව සමහර ගුරුවරින්ගේ මුවින්ද පිටවන වාර බොහෝය.

   බොහෝ ගණිත විද්‍යා සහ ඉංග්‍රීසි ගුරු වරුන් අන්තිම පේලියට දුම්බෝම්බ ගැසීමට දක්ෂයෝය. දවසට කීපවතාවක් කලු ලෑල්ල මකන හුණු කොට්ටය අන්තිම පේලියට කඩාගෙන එන්නේ කඳුලු ගැස් වලටද වඩා වැඩිවේගයකිනි. ‍ ඇත්තටම ඒ පහරවල්නම් කඳුලු ගෑස් වලටද හපන්ය. දුම්බෝම්බ සිහිවෙනවාය. අන්තිම පේලියේ කොල්ලන් හිටි ගමන් ගුටි ඇනගන්නේය. ලේ සෙලවෙන අවස්ථාද නැත්තේ නොවේ. එහෙත් ක්ෂණයෙන් ඒ සියල්ල අමතක කර අරේ අතදමාගෙන මිත්‍රත්වය රැකගන්නේය. කුරුට්ටා, බතලයා, වල් බල්ලා, ලබ්බා, ගෝමර කුට්ටියා, හුජ්ජ ලබ්බා, මිනීකන්නා, හැලප කටා, හොඬයා යන අනුවර්ත නාම වල නිර්මාතෘවරුන් ඉන්නේ ද අන්තිම පේලියේය. මේවා මාරසට විතරක් උරුම අතීත කතා නොවන්නේය. කුලසේන පොන්සේකා ගේ ගුරු දියනියගේ කෙටිකතා සංග්‍රහයක තිබූ “ අන්තිම පේලිය”කෙටිකතාවද මතකයට නැගේ. ඇය ගුරුවරියක් වශයෙන් අන්තිම පේලිය ගැන මාර නිර්මාණයක් කරතිබුණා මාරසට මතකය.

    මේ මතකය වනාහී අටේ පන්තියේ අන්තිම පේලියේ සිටි ගල් ආඳන්ගේ එකල බයානක සාකච්චාවකි. කෙල්ලන් ප්‍රසිද්ධියේ කෙහෙල් ගෙඩි කැමට බියවීමට හේතු ගැන දිනක් අන්තිම පේලියේ කතාවක් ගියේය. එකළ මේ සාකච්ඡා බරපතල කතාවන්ය. නොදැනුවත් කම නිසා මේවා ප්‍රසිද්ධියේ කියන්නට ගොස් පසුතැවිලි අවස්ථාන නැත්තා නොවේය. එනිසා මේ මතක අවධි කරන්නේද යම් ස්වයංකප්පාදුවකට ලක්කරමින් බවද සටහන් කළ යුතුය. මන්ද තවමද වික්ටෝරියානු සලාද සදාචාර බිල්ලා කළු පාටය. දත් තිස්දෙකම බිය ජනක අයුරින් විලිස්සාගෙනය.

     වීදි ඡායාරූප ශිල්පීන්ද අන්තිම පේලියේ ජීවිතය ගතකලාදැයි සැක සහිත අවස්ථා නැත්තේද නොවේ. නමුත් යුරෝපයේ මේවා ප්‍රශ්න නොවන බව කිවත් වික්ටෝරියන් සලාද සදාචාරය ආසියාවටත් වඩා යුරෝපයට කැපී පෙනෙන අවුලක් නිර්මාණය කර තිබෙන්නේය. වික්ටෝරියානු සදාචාරය සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට ධනේවර දියුනු රජයන් පවා අසමත් වනවා නොව එසේ නොකරන්නේ පාලනයේ පහසුවට නිසා බව අවබෝධ වන්නේ දැන්ය. ඒ හීනමාන තත්වයන් මහාමානයද සෙයිසා මානයද සම්භාව්‍ය කලාවේ තවත් ශානරක් බිහිකර තිබෙනවා සේය.

     ඔබ කෙසෙල් නැවතුමක් දුටුවහොත්, ඒ අසලින් ගැවසෙන්න වැනි ඉඟියක් සඳහන් කරමින් තිබි මේ ඡායාරූපය වික්ටෝරියන් සදාචාරයේ නිරුවතක් තවමත් අන්තිම පේලියේ සිටින අපට අවබෝධ කරනවා සේය. පන්තියම පිටුපස්ස හැරුන විට අපි ඉන්නේ ඉස්සරපේලියැයි සිතමින් සැනසෙන අවස්ථාද අන්තිම පේලියේ සගයන්ට නොතිබෙනවා නොවන බව සැබෑවකි. කෙසේ වුවද වීදි ඡායාරූපකරණයද අර දොඩාවත්ත සහෘදයා කොමන්ටුවක කීවා මෙන් ජීවිතයේ අහුමුළු කතා කරන්නට කදිමය. අන්තිම පේලියේ මතකයන් සුසර කිරීමට වීදි ඡායාරූප ශිල්පීන්ගේ තිබෙන්නා වූ ආලෝක සුසරත්වය විටක පුදුමාකරය. දුක, කඳුල, වේදනාව, උපහාසය, අවබෝධය මිලි තප්පරයකින් ඔවුන් ගොදුරු කර ගන්නේ කුමන ආවේගයකින් දැයි විස්තර කළ හැකිද යන්න වචනයෙන් කිව හැකි නොවන්නේ වචනය මිලි තප්පරයකටත් වඩා දිග නිසා දැයි දැනට සිතා ගැනීම ප්‍රමාණවත්ය.

ජේම්ස් මහර් (James Maher) 


                                                                         www.jagathmarasinghe.com

                                                                                                                                       03 10 2022



Powered by Blogger.