"ගඟේ රහස"

                                                            "ගඟේ රහස"

                         බෲනෝ බර්කෝෆර් (ස්විට්සර්ලන්තය) 

            මාරස ගොඩ දවසකින් සයිබර් වීදි රස්තියාදුවේ යාමට අපොහොසත් විය. දේශපාලනික සහ ආධ්‍යාත්මික මංමාවත්වල සැරි සැරීමටත් මාරස බොහෝ කැමැත්තක් දැක්වීම ඊට හේතුව වන්නට පුළුවන. මන්ද අතරමගදී හමුවන ඕනෑම වීදියක ගමන්කොට සිත විකසිත කරගැනීමට මාරසටනම් ඇත්තේ නොනිමි ආශාවකි. ඒවාට හේතුපල ඉදිරිපත් කිරීම මෙම ලිපියට තරම් නොවේ. මේ නග්න ඡායාරූපය ස්විට්සර්ලන්තයේ බෘෘනෝ නමින් ඇති මායා වීදියකින් සොයාගත්තා සේ මතකයේ ඉතිරිවෙනු ඇත.

         Bruno Birkhofer ගේ නග්න ඡායාරූපකරණය සහ ආලේඛ්‍ය ඡායාරූප ඔවුන්ගේ සංවේදී සහ ගෞරවනීය ප්‍රකාශන ක්‍රමය වෙනුවෙන් සම්මාන රාශියක් ලබා ඇත. මුල් කාලයේ බෲනෝට ඡායාරූපකරණයට ගැඹුරු ළැදියාවක් දැනුණත් ඔහු වසර ගණනාවක් වෙනත් කලාත්මක අරමුණු වෙනුවෙන් මහන්සි වී තිබේ. නමුත් ඡායාරූපකරණය සඳහා වූ ඔහුගේ ඇල්ම අත්හැර නැති බව පෙනේ.පසුගිය බෲනෝ ස්විට්සර්ලන්තය සහ ඒක්සත් ජනපදය සඟරා සඳහා සිය දායකත්වය සපයා ඇති බවද සැබෑවකි.

        ජාත්‍යන්තර ප්‍රකාශන වලට අමතරව, Bruno 2014 දී "Monochrome" සම්මානය දිනාගත් අතර වසරේ නග්න ඡායාරූප කරණය ඔස්සේ ඔහු නිරුවතේ හැඩතල සොයන ඡායාරූප ශිල්පියෙකු බවට පත් වී තිබේ. 2015 සහ 2017 දී ලොව පුරා විශාලතම ජාත්‍යන්තර ඡායාරූප තරඟය වන "Trierenberg Super Circuit" ප්‍රකාශිත මාධ්‍යයන්හි "නග්න ඡායාරූප " අංශයේ බොහෝ ගෞරවනීය තත්ත්වයට පත්ව ඔහු රන් පදක්කම දිනා ගත්තේය. අද බෲනෝ ඡායාරූප වැඩමුළු සහ පුහුණු කිරීම් වල නිරත වෙමින් ඔහුගේ දැනුම සහ ඔහුගේ ආශාව බෙදා ගන්නා ලදී.

         මට ඡායාරූපකරණය යනු සීමාවකින් තොරව ආශාව, හැඟීම් සහ පෞද්ගලිකත්වයයි බෲනෝ ප්‍රකාශ කරයි. මෙම මූලද්‍රව්‍ය එක මොහොතකින් සහ එකම අද්විතීය පින්තූරයකින් ග්‍රහණය කර ගැනීම මගේ නොනවතින අරමුණයි කියාද පවසයි. ලැජ්ජාවකින් සහ ආවරණයකින් තොරව මගේ කැමරාව ඉදිරිපිට ගමන් කරන පුද්ගලයින් සමඟ වැඩ කිරීම මට සැමවිටම විශාල  අභියෝගයක් බවත් මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, කැමරාව පිටුපස බොහෝ සංවේදීතාව සහ අවබෝධය අවශ්ය වන බවද බෲනෝගේ අදහසයි. 

      මගේ නිරූපිකාවන් මා කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ගේ විවෘතභාවය මට ලබා දීම ගැන මම ඇදහිය නොහැකි තරම් ආඩම්බර වෙමි යනුවෙන් පවසන ඔහු සෑම ඡායාරූප රූගත කිරීමකම ඉන්ද්‍රජාලික අවස්ථාව ග්‍රහණය කර ගැනීමට සමතෙකි. එසේම ඒ ඔහුගේ අරමුණද වූවා සේය. මෙම කාර්යය සඳහා,පෙර සූදානම යටතේ සැලසුම් කළ හැකි සියල්ල සැලසුම් කරන ඔහු සැබෑවටම ස්වභාවයේ හැඩ තල මිනිස් ශරීරය තුල පවතින අයුරු ග්‍රහනය කරගන්නා ආකාරය පුදුමාකාරය. 

      ස්වභාවයාගේ කලාත්මක සෘංගාරය විනිවිදීමට ස්ත්‍රී සිරුරේ හැඩ තල විශ්මිත ආකාරයෙන් නග්න ඡායාරූප ශිල්පීන් සහ චිත්‍රශිල්පීන් විසින් දියුනුකොට තිබේ. ලෝකයේ පවතින වික්ටෝරියන් සලාද සදාචාරයේ බාදක මැද ඔවුන්ට සැබෑවටම ඡායාරූපකරණයේ කලා ඉවුරේ සටන්කාමීන් වීමටද සිදුවී තිබේ. එහෙත් ස්වභාවයාගේ පෞරෂත්වය සහ දැඩි බවද පිරිමි ශරීර හරහා නග්න ඡායාරූප ශිල්පීන් විනිවිද දක්නට තෙවැනි ඇසත් විද්‍යුත් ආකාරයෙන් කැමරාව පින්සලක් කරගනිමින් ඔවුන් රසික සිත් අමන්දානන්දයට පත් කරයි. රසිකයන්ගේ ජීවිත දැක්ම පුළුල් කරයි. විකසිත කරයි. ජීවිතය විශ්වීය හැඩතල මගින් රසිකයන්ව බුද්ධිමය වනාන්තරයක අතරමං කිරීමට බෲනෝටද ගතවී තිබෙන්නේ තප්පරයෙන් පංගුවක් පමණ කාලයක් වීම මේ විශ්මිත බව තව දුරටත් තීවුරත්වයට පත් කරයි. 

         මේ සියවසේදී අග වන විට නග්නත්වයේ සමාජ නීති රීති තවදුරටත් එසේම පැවතිය නොහැකි වීම අන්තර් ජාලය හමුවේ සදාචාරවාදීන්ට බාදාවක් වීම අනිවාර්ය බව පෙනේ. කෙසේ නමුත් කලාව කියන්නේ ජීවිතාවබෝධය මෙන්ම මිනිස් චින්තනයේ විකසිත වීමේ දිවැස් දැක්මක් වැනි දෙයකි. ‌

මේ ඡායාරූපයේ නාමික ඉඟියද ඉතා ඉහලය. " ගඟක රහස් සෙවීමද සෙල්ලමක් නොවේ" මානවසිංහයෝ ගලන ගඟකි ජීවිතය කිව්වේ ඒ නිසාය. ඝණ කලු ගල් සහ සැඩ පහරකට හසු වූ ජලය ඇගේ ශරීරයෙන් බෲනෝ විසින් පාලනය කරනවා සේ පෙනේ, ගඟක් ගලන කළ ගැහැනියකගේ නිරුවත තබා ළපලු මෙන් බෲනෝ ආලෝක දඩයමකින් මුළු පරිසරයම නටවනවා සේ දැනේ. ඉතින් බෲනෝ,

 ඔබේ ඇස අපේ ඇස වීමට රසිකයෝ විශාල ප්‍රමාණයක් පෙරුම් පුරණවා විය හැක.

ජගත් මාරසිංහ

17 07 2023

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.