සුරා මාලය සහ මධුලෝලත්වයේ චන්ද්‍ර කලාව

 

සුරා මාලය සහ  මධුලෝලත්වයේ චන්ද්‍ර කලාව
(සුරාවෙහි රසයත් – සරා එහි ඇති ගුණයත්
බොන අය මිස වෙනත් – නොබොන අනුවණ දනෝ නොදනිත්)

       මධුලෝලත්වය යනු කුමක්දැයි බේබද්දෝ කොටසක් හැර අමධ්‍යපයෝනම් දන්නේම නැත. දැනගත් අයෙක් වෙතොත් ඒ මරණ භය නිසා වෛද්‍ය උපදෙස් මත ‌ශරීරය නැවත ගොඩනගා ගන්නා තෙක් හෝ මරණය දක්වා ඉවසා වැදෑරීමක් වන්නේය. මාරස දන්නා පරිදි ‌අමධ්‍යප ජ්‍යෙෂ්ට පුවැසියන් සියල්ලෝම නොව වැඩි හරියක් කියන්නේ අමධ්‍යප බවේ ගුණය. ‌මධුලෝලත්වයේ අගුණය. නමුතු උත්පත්තියේ සිට ඇල්කොහොල් කටේවත් ගාගෙන නැති පිරිසක් නොසිටිනවා යන්න මින් අදහස් නොවේ. එයාලාව පහසුවෙන් සොයාගත හැක. කොටින්ම එවැන්නන්ට කවුරු බිව්වත් එකය. නොබිව්වත් එකය. බේබද්දන් දෙස බලා හිනාවන්නේද නැත. නොවන්නේද නැත.
නමුත් බොහෝ සිවිල් මහත්තරුන් බීම නවතා ඇත්තේ එක්කෝ මරණ බයටය. නැතිනම් ගෙදර දරුවන්ගේ අම්මා සහ දරුවන්ගේ කන්කරච්චලය විඳ දරාගන්නවාට වඩා නොබී ඉන්නවා සැපයි සැපයි කියලාය. සමහර පුතුන් අම්මා වෙනුවෙන් මධුලෝලී තාත්තලාට අඩතේට්ටම් කරන අවස්ථා එමටය. ඒකලා මධුලෝලීන්ටද කියන්නට එන්නේ අපේ තාත්තගේනම් බීම නැවැත්වූ ආකාරය සම්බන්ධ චන්ඩි කතන්දරය. තාත්තාට තග දමා විප්ලවය ජයගත්තාමෙන් කතා බහ කරන එවැන්නන්ට බේබද්දන්නම් කන පැලෙන්නට ගහනවා ඇත. නමුදු මධුලෝලයන්නම් මග හැර ගොස් නැවත ඒකා සමග ඇති ඇයි හොඳයි කම් ඈත් කර දමනවා නියතය.
           නමුත් බෞද්ධ සාහිත්‍යයේ බුදුනුවන් මහා බේබද්දෙකු වූ සර්කානි ශාක්‍යසිංහ ඥාති සහෝදරයාව උන්වහන්සේගේ දෑතින්ම මිහිදන් කර දේශනා කරන ලද්දේ සර්කානී සෝවාන් ගාමීය. සර්කානී බුද්ධ රාජ්‍යයේය ආදී වශයෙනි. 
    කෙසේ නමුත් සමාජ කාරණා අහසේ ග්‍රහයන් සමග සම්මුති ගතවීමට මනා නිදසුනක් සඳ සහ අවන්හල් තැබෑරුම් ‌පුන්පොහෝයට වසා දැමීමෙන් මතුකරගත හැක. එක් එක් සමාජ දේශපාලන කාරණා කාලයත් සමග විස්තරකර ගැනීමෙන් ගණනය කරගත්තාවූ සමහර යෝගයෝ දැන් විපාක දෙන්නේ නැත. ඒ තාරකා සම්බන්ධ ප්‍රශ්නයක් නොව සමාජ සංස්කෘතික කාරනා වෙනස් වීමේ ප්‍රතිපලයක් නිසාය. ඇතුන් අශ්වයන් වනාහී රාජකීය වාහන වූයේ එදාය. ඒවා සම්බන්ධව අද ජ්‍යෝතිෂයෙන් කතා බහ කරන්නේ යාන වාහන ගැනය. 
         පුන් ‌පොහෝදිනය ‌ශ්‍රී ලාංකේය මධුලෝලයන්ට විපාක දෙන්නේ මෙසේය. එදින තැබෑරුම් වසා ඇත. වැඩි ගානටනම් ඇල් කොහොල් ගත හැක. එහෙත් නීතියේ රැහැනට අසුවෙන්නට ගොස් නූලෙන් බේරෙන්නටද ඉඩ ඇත. රජයටනම් පාඩුවක් සිදුවන්නේ නැත. එදින රජයට අහිමිවන ඇල්කොහොල් බද්දට සරිලන දඩ නියම කිරීම පොලීසිය සැදී පැහැදී සිටිත්. 
       කෙසේ නමුත් පෝ දිනට මධුලෝලයන්ගේ නිවසේ දරුවන්ගේ අම්මලාට සහ දරුමල්ලන්ටනම්  කන්කරච්චරලයක් නැතිව කාලය ගතවනු ඇත. පලාපල ආකාරයෙන් මිනිස් සමාජ ජීවිතය තමා සිටින තැන සිට ග්‍රහ තරු සමග කාලයට සාපේක්ෂකව පලාපල නිර්මානය වන එක් පැතිකඩක් තේරුන් ගැනීමට මින් හැකිය.
       සමහර බේබද්දෝ එදිනට ආජීවාෂ්ටමක ශීලය සමාදන් වන ආකාරය මාරසටනම් අළුත් දෙයක් නොවන්නේ ජීවමාන අත්දැකීම් තිබෙන නිසාය.
     බොහෝවිට  ‌මධුලෝලයාගේ නිවසේ පිරිස පොහෝදිනය පොහෝදිනයක් බව දැනගන්නේ ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන්ය. නමුත් බේබද්දා ඒ බව දැනගන්නේ ඊටත් කලින් ‌සිය මුත්‍රා පිටකරන්නට එලියට ගොස් අහස දකින නිසාය. රාත්‍රී කාලයේ එලිමහනේ මුත්‍රා පිටකරන විට අහස බලන්නේ ඇයිද යන්නද වෙනම කතාවකි. සඳ වනාහී මධුලෝලයන්ගේ අති කුළුපග මිතුරෙකි. මහරෑ පොලෝසියෙන් එනවිටත් මැදියම් රෑ ගණඳුරු මැද අයාලයේ යන විටත් සඳ සමග මධුලෝලයන් ගොඩනගා ගන්නා කුළුපගකම ගැන ජනකතා සහ ජනකවිද තිබේ.
      කෙසේ වුවද පුන් පොහෝ දිනයක් වනාහී මධුලෝලියාට මධුලෝලත්වයට සාපේක්ෂකව මිශ්‍රපල ලබන දිනයක්ම වන්නේය. නමුත් මදිරාබාදය වැළඳී ඇති මධුලෝලයන්ටනම් මේ අපලදායක දිනයක් බව ඔවුන්ගේ සිත කියනවා නියතය. එහෙත් භක්තිය මුල්කොට සමහරුන් සැනසේ. තවත් සමහරු හඳපානේ ළඳු කැලෑ ගානේ රිංගන්නේ තහනම් මත්වතුර හොයාගෙනය. 
          අප රට තුළද  අප්‍රකට සාහිත්‍යය පොත් රාශියක් තිබෙනවා. ඒ අතරින් එක් කවිපොත් වර්ගයක් තමා මාල කවි කියන්නේ. යම් මාතෘකාවක් පදනම් කරගෙන මල් මාලාවක් ආකාරයට කවි ගොතනලද පොත්. තෙරිහැ සෝමානන්ද මහනායක හාමුදුරුවන් විසින් යුනෙස්කෝ ආධාර යටතේ මාල කවි පොත් ගණනාවක් එකතුකර කවි සංග්‍රහයක්ද කර තිබෙනවා. මේ මාල කවි අතර සුරාව හෙවත් මධුලෝලත්වයේ ගුන ගයමින් ලියන ලද "සුරා මාලය" නම් කෙටි කවි පොත එකල කාගේත් ජනප්‍රිය මාල පොතක් බව සැලයි. 
              හැබැයි මේ ගොඩක්  කවි පොත් දැනට අපිට මුද්‍රණයෙන් දකින්න නෑ. මේ මාල කවි අතර සුරාවේ අගය වර්ණනා කරමින් ලියැවුණු සුරා මාලය නම් කෙටි කවි පොත මධුලෝලීන් වෙනුවෙන් පහත පල කරන්නට මාරස අමතක කළේ නැහැ.

සුරා මාලය

කිතුල් පොල් සහ තල් – ඈ සුරා දෙන ගස් දුල්
නැමද කර සිතු ලොල් – මඳක් පවසමි සුරා ගුණ පුල්
සුරාවෙහි රසයත් – සරා එහි ඇති ගුණයත්
බොන අය මිස වෙනත් – නොබොන අනුවණ දනෝ නොදනිත්
කට පුරා බීලා – ගව කුකුළු මස් කාලා
ඉන්ට බැරි ඌලා – කුමට මැව්වද දේව මෝලා
අසුර යුද වන් කල – සුරනගෙ ලැබුව පණ නල
සුරාවෙහි තෙද බල – නිසා බැව් එය පෙනෙති පොත් වල
නරලොව රජුන් හට – යුදයක් පැමිණ වූ විට
සුරා දී මත් කොට – මිසක් සෙබලෝ නොයති කිසි විට
දෙවියන් රජුන්ටත් – පෙර විසු උතුම් සතටත්
පිහිට වූ යහපත් – සුරා බීමෙන් දොසක් නම් නැත්
දවාලට කාලක් – සවස් කල බෝතලයක්
බීවොත් දැන පමණක් – සුරාවට වෙන නොමැත බෙහෙතක්
ගතෙහි සැම කැක්කුම් – සිතපත් තක්කු මුක්කුම්
නසා බොරු රැක්කුම් – සුරති හළ රඟ කෙරෙයි දැක්කුම්
කරනට මෙදෙය මට – බැරියයි යමෙකු කීවිට
දුනහොත් සුරා තුට – මරු ළඟට මුත් යේ ඉදිරියට
යක් පිසස් බියටත් – නුරා සැප බැරි ලෙඩටත්
සුරා වැනි හිතවත් – උතුම් බෙහෙතක් ලොවෙහි කිසි නැත්
මෙකප මුලදී එක් – සුරා නම් පසිඳු වැද්දෙක්
සොයාගත් විඳ දුක් – හෙයින් නම් වී සුරා යයි නෙක්
එදා සිට සැම දෙස – පතළ වී සුරා නිසි ලෙස
සත් දනෝ ලොව කුස – බොන්ට වනි බඩපුරා සහතොස
කුඹුරු ගොවිතැන් වැඩ – කරනා සඳෙහි ගිම් මැඩ
ගන්ට නම් නුඹෙ බඩ – පුරා බීපන් සුරා හැර තුඩ
වැඩක් වුව සේනක – මිතුරන් සමඟ වීමෙක
වැනි අන් සැප කිමෙක – එයින් මැදපන් සුරා ගස් නෙක
රත් පිත ද ගිනියම් – සහයෝනි සුද බින්දුම්
හැරලන කොඳු රිඳුම් – කිතුල් රා හැර නොමැති වෙන යම්
ඉදිමුමද බරවා – කැසි රිඳුම් බඩ පුරවා
කිතුල් රා පෙරවා – බීව හොති යෙති රෝග හරවා
කලවා කොඳු රිදී – නහර පණ නැති ලෙඩ දී
නම් පිය මිතු සදී – බීව හොත් එය නසයි රා ඉදී
අඟ පසඟ වකුටුව – වාත කැකුම් පිහිටුව
යස පොල් රා දුටුව – සැණින් යයි ගත වඩා සතුටුව
අජීරණ ගඳ ලෙඩ – ඇතහොත් කිකිළිබිජු මැඩ
බ්‍රැන්ඩි සමඟින් තුඩ – ලුවොත් යෙයි පිනි දිනිඳු දුට හැඩ
ලෝ පූජිත විස්කී – සෝඩා එක්ක හැක්කී
බීවොත් වරක් කී – රෝග සැණෙකින් යෙයි වැළැක්කී
ජින් නම් ඉතාමය – යහපත් ගුණ යුතාමය
මුතුරු ලෙඩැ තාමය – බීවහොත් පිරිසුදු වෙතාමය
නොකී නව මනහර – සුරා ඇති ලොව බටහිර
ගෙන සමඟින් බීර – බීව නුඹහට යෙහෙකි හැමවර
එහෙයින් සුරායා – බීලා බඩ පුරායා
විදිමින් නුරායා – ගෙව්ව කල් දැන මේ සුරායා
බීම සැම වේලේ – වෙරිවී සිටින ලෝලේ
නුඹේ අද රාළේ – ගෙලේ ලමි මේ සුරා රාළේ
දිනේවා! දින දිඅන – සුරා සැල ළඟ ගැවසෙන
බේබදු මිතුරුවන – සුරා තුරු ඇති තුරා සතොසින
(සුරා මාලය නිමි)
ජගත් මාරසිංහ
20 07 2023
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.