සුරංගනාවියන්ගේ ‌සුදු ඇඳුම

                                           සුරංගනාවියන්ගේ ‌සුදු ඇඳුම



 F D Walker ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගන්හි පෝට්ලන්ඩ් හි ඡායාරූප ශිල්පියෙකි. නමුත් ලොව පුරා රටවල් 70 සහ ප්‍රධාන ප්‍රදේශ 100කට අධික ප්‍රධාන නගර 100කට අධික ප්‍රමාණයක් ආවරණය වන පරිදි වසර 5ක ඡායාරූප වාර්තා චිත්‍රපටයක වැඩ කරමින්සිටිය බව සඳහන්ය. ශ්‍රී ලංකාවේ වීදි ඡායාරූපද ඒ අතර ඇති බව පෙනේ. රාජ්‍ය වර්ෂ 2016 සයිබර් වීදියක යෝජිත වෙබ් පිටුවෙන් මේ ඡායාරූපය මාරස අහුලගන්නා ලදී. අහුලගන්නා ලද්දේ ඇස හිටි නිසාය. සුදුගවුම් ඇඳගත් පාසැල් සිසුවියන් නෙත දුටු සැනින් ඇස සිටියේ නැතිනම් මාරසද අමුතු සතෙකු වෙන බව සැබෑවකි.

     ලෝකයේ මිනිසුන් පාසැල් නිළ ඇඳුමට ඇත්තේ පුදුමකාර ගරුත්වයකි. නමුත් ලාංකේය පාසැල් ඇඳුමේ කාන්තාවට නියමිත සුදු ගවොම තරම් ගෞරවනීයවූත් අහිංසක වූත්, සුබෝධ වූත්, වෙනත් නිළ ඇඳුමක් අපේ කොදෙව්වේ පොදු ජන මනසේ තවත් තියනවාද යන්න සැකයකි. ගවුමේ කොළරය සහ අලවා ඇති පාසැල් පදක්කම සහ ටයි පටියෙන්ද කොන්ඩා කිරිති දෙක සහ පාවහන් යුවලින්ද ඔවුන්ගේ පැසැල් කුලකයේ අනන්‍යතාවය එක් පසකින් පද්ධති වශයෙන් හඳුනා ගැනීමට කාලෝචිත වුවත් මේ නිල සංකේතයන්ගෙන් කුඩා කළ සිටම මහා හීනමානයක්ද නිර්මාණය කර තිබේ. පාසැල් අරගල වලදී “කොළඹට කිරි අපට කැකිරි “ආදී වශයෙන් සටන් පාඨ බිහිවී තිබෙන බවද සිහිවේ. ඒ තත්වයන් කෙසේ වෙතුදු පැසැල් යන බාලිකාවන්ගේ සුදු ගවොමට මෙතරම් ගෞරවයක් දැක්වීම සම්බන්ධව ලියාගෙන ලියාගෙන යාමට මෙම සටහන තරම් නොවන බවද සැබෑවකි. හෝඩිය පන්තියේ සිට උසස් පෙල දක්වා බාලිකාවන්ගේ පාසැල් නිළ ඇඳුම සම්බන්ධව මිනිසුන්ගේ මොළය නොව හදවත ස්පර්ශ කරන කළ ඒ සම්බන්ධව පුරුෂ දෘෂ්ටියකින් විග්‍රහ කළ හැකි වුවද පුරුෂ පසුගාමී බවේ කෝණයකින් ඊටත් වඩා පුළුල් දේ විග්‍රහකරගත හැකි බව පෙනේ.

     මේ සිටින්නේ අපේ අම්මා විය හැක. නැතිනම් නැගනිය විය හැක. මේ ආදීවශයෙන් කතන්දර දහසකින් ගෞරවනීයව කතා කළද මේ සංකේත පද්ධතියක් විසින් වසාගෙන ඇති තරුණ ස්ත්‍රී ශරීරය ගැන කතා බහ කරද්දී අති සමීප අන්තිම පේලියේ උන් හැර අනෙකුන් එයාලා ගැන කියන්නේම බොරුය. පැසැල් කාන්තා නිළ ඇඳුම යනු ආදරයේ සංකේතයක්ද වන්නේය. ඒ පොදු මානවීය සංකල්පයකි. කොටින්ම චාම් යන වචනය වැදගත් ස්ත්‍රීන් සේ පෙනී සිටීමට සහ පිරිමින්ගේ ආශාවන් ඊට බද්ධ වීම කිසිත් කථා නොකළ යුගයක කරුණාසේන ජයලත්ගේ ගොළුහදවත අපේ අක්කලා කියවන ලද්දේ අම්මාට හොරෙන් බව මාරස දන්නේ ඒ කාලයේ මාරස අම්මලාට අක්කලාගේ කේලම් කීමෙහි දක්ෂයකු වූ නිසාය. ළමයා ගැටවරයා වන විට අක්කලාගේ කේලම් අම්මලාට කියන මානසිකත්වය වනාහී පිරිමි දරුවෙකුගේ ලිංගික මානසිකත්වයේ පරිණාමීය ආදර සංඥාවක් වැනිය. මේ නිළ ඇඳුම එක් පසකින් පිරිමි මනසට විශේෂිතයක් වුවද වෙනත් දිසාවකින් කාන්තාවන්ගේ ආත්මයක්ම වී තිබේ. විලාසිතා ලෝකයේ සර්වපිත්තල සළු පිළි වලින් සැරසෙන ගැහැනුන් පවා චාම්බව ආරක්ෂා කර තමාව අන්දන මෙන් සිය රූපලාවන්‍ය උපදේශිකාවගෙන් වචනයෙන් හරි ඉල්ලා සිටින්නේ අතීත මතකයේම සේයාවන් වීමටද පුලුවන. මේ දෙක සම්බන්ධ කරන්නට යාමෙන් සමහර විලාසිතා ගොං ඔළුවට බලු ඔළුව සවිකළා වැනි විකාර වනඅවස්ථාද බොහෝය. චාම් බව සහ සර්ව පිත්තල වේශ නිරූපනයන් සමග සිංහල බෞද්ධ පදනම විකාරාවේශයෙන් කරලියට ආ ගමනේද පාසැල් නිල ඇඳුම හොල්මන් කරනවා සේ පෙනේ. පියදාස සිරිසේනලාගේ නිර්මාණ රසවිඳ තිබේනම් බොහෝ බටහිර පැවිදි සොහොයුරියන්ගේ සළුවක් වන් පාසැල් සුදු ගවුම ළමා සාරිය හරහා ඔසරියට සේන්දු වීමද ජාතික දේශපාලනික ව්‍යාපෘතියක බලයක් බව වටහා ගත හැකි ඉසව් ජීවමාන වනු ඇත. අපේ කාලයේද පාසැලෙන් ඉවත්ව ගිය පසුවද කෙල්ලක් සමග පෙම් බැන්දේනම් ඇයගේ පාසැල් ඇඳුම ඇඳ සිටින ඡායාරූපයක් ඉල්ලන්නේ පොකැට්ටුවේ දමා සාක්කුවේ දමා ගැනීමටය. මතක තබා ගත යුත්තේ ගැටවර වියේදී පොකට්ටුවේ දමාගෙන සිටි ආගමික දේව රූප සහ බුද්ධ රූප ගලවා තමාට ආදරයක් ඇතිවූ ආදර වන්තියගේ පින්තූරයක් රහසේම එතනට දමා ගැනීමය. සමහර වයසට ගිය පිරිමින් බොහෝ දෙනෙකුගේ පොකැට්ටුවේ තිබෙන්නේද සිය පෙම්වතියගේ පාසැල් වියේ සුදු ගවොම් පැන්ටසියම වූවා සේය. තවමද පූජක නිළ ඇඳුමක් දනහිස දක්වා කොටවූ ආකාරය බාලිකාවියන්ගේ පාසැල් නිළ ඇඳුම සිහිකරයි. දනහිසෙන් උඩට කලවා දක්වා කොටවී තිබේනම් ගවොම් වාටියට පත්තර කඩදාසි එල්ලා බාලිකාවියන්ව අපහසයට පත්කිරීම තවමත් පාසැල් වල සිරිත වී තිබේ. මේ චාම් විලාසිතාවන්ගෙන් සඟවන්නට ඉතිහාසය උත්සාහ කරන්නේ අන් කරුණක් නොව ලිංගික භීතිකාවම බව පැහැදිලිය. වැඩිවියට පත්වූ පසුවද පාරේ යන ලඳුන් කොට ගවුමක් හෝ සායකින් සැරසී සිටීනම් එයාලාගේ වැඩේ සාය පහතට අදින එකමය. මේවා ශිෂ්ටාචාරයක තක්කඩි දේශපාලනයක් විසින් පුරුදු පුහුණු කළ දේවල්ම වන්නේය. නිරුවතින් පාසැල් යායුතුය යන්න මින් අදහස් නොවන්නේය. චාම් බවේ නිරුවත වනාහී ස්ත්‍රියව හීලෑ කරගැනීමේ උපායක්ම වන්නේය.

    බෞද්ධ නොවන පැවිදි සොහොයුරියන්ගේ ආධ්‍යාත්මික සමාධියේ සංඥාවක් වන් දනහිස දක්වා කොටවී පරිණාමනය වූ බාලිකාවියන්ගේ නිළ ඇඳුම ගැන රසවත් කතාවක් සිහිවේ. මාරස මිතුරන් තිදෙනෙක් දමාගෙන වාහනයක නැගී කළුතර සිට මොරටුවට එන ගමනේදී එක් තැනක් අතරමග කාන්තා පාසලක් අවසාන වූ කාලයට සමගාමී විය. දැන් පාර පුරා ඉන්නේ සුදු ගවොම් ගසාගත් බාලිකාවියන්ය. පළමුව ගේට්ටුව කඩාගෙන මෙන් එලියට පනින්නේද නිදහසේ නාමයෙන් එයාලාම වන්නේය. පාර පැනීමට ඇති මාර්ග සංඥාවක් අසල ඉදිරියෙන්ම රිය නතර කරන්නට මාරසට සිදුවිය. එහි සිටි මාරස මිතුරෙකු මහ හඬින් සුරංගනාවියෝ කියමින් ඒ දෙස බලා සිටියේ සිය දෙකම්මුලට දෑත් තබාගෙන අනිමිස ලෝචන භාවනාව සිහි කරමිනි. මාරස බාලිකාවන් දෙස බලාසිටි ආශාව වෙනත් පැත්තකට මාරු විය. ඉන් පසු වාහනයේ පිටුපස දැකිය හැකි කණ්නාඩියෙන් බලා සිටියේ ඒකිලාටත් වඩා වාහනයේ සිටි පිරිමි මිතුරන් දෙසය. ඔවුන් රසවතියන්ව විඳින අභිනයන් දෙසය. මොරටුව දක්වා ඇති සියලු පදිතයන් මාරුවන නියමිත ස්ථාන අසල සිතා මතා වාහනය නතර කිරීමට මිතුරන්ගෙන් මාරසට අනක් ලැබුණි. ඒ කාලය නබකොව්ගේ ලොලීටා නවකතාව සර්පයා හෙවත් කේ කේ විසින් උඩ දමන කාලයම විය. ලොලිටලා දැකි විට පිරිමින්ගේ ඇතිවන මානසික ආදරය සම්බන්ධව කතාන්දරය මනෝ සංකීර්ණයක්සේද සලකන ප්‍රවණතාවක් තිබෙන බවද මාරසට රහසක් නොවීය.

      කොළඹ වීදි ඡායාරූප ගැනීමට පැමිණි fd walker නම් විදේශීය ඡායාරූප ශිල්පියාගේ ඇසද ගාලුමුවදොර බැලීමට පැමිණි අධ්‍යාපන සහ විනෝද චාරිකාවකට සහභාගි වූ මේ ඡායාරූප ඉලක්කය දකින්නට ඇත. සිත යන්නට ඇත. පිනා යන්නට ඇත. ගොදුර සැලසුම් කර ඇති අයුරු පරිනතය. මේ ඡායාරූපය ස්ථර තුනකින් යුක්තය. උඩම බිම් තට්ටුවේ හෙවත් පළමු ස්ථරයේ ගැහැනු ලමුන් දෙදෙනෙක් කයිවාරුවකය. දෙවැනි බිම් තට්ටුව හෙවත් දෙවැනි ස්ථරය වන්නේ මුහුදු වෙරළය. එහි බාලිකාවෝ අට දෙනෙක් සිටී. ඊට පහලින් ඇති ඊටත් පහතින් ඇති ස්ථරය මහා සාගරයයි. මහා සාගරය සංසාරයට උපමා කළ තැන් බෞද්ධ සාහිත්‍යයේ බොහෝ තිබේ. එපා පුතුනේ මූදු යන්නට කියා සේකරයන්ද මුහුද සංසාරය කර අපට පීනන්නට කිමිදෙන්නට දුන්අවස්ථා අපේ මතකයෙන් ගිලිහී යන්නේ අප මළදාට වන්නට පුළුවන.

       සියලු බාලිකාවෝ මුදට සම්මුඛ වී සිටී. මුහුද ඒකිලා දෙස බලා සිටිනවා සේය. තවත් ගොදුරක්ද කියමින් සාගර රල පහර එකා පස්සේ එකා වෙරලට පැමින විපරම් කර නැවත මුහුදටම යන්නේය. මුහුදේ කුරිරු බව පසක තබා මිනිසුන් මහා සාගරයේ ආදරය දෑසින් සිපගන්නවා සේය. තද නීල වර්ණ සාගරයෙන් එපිට තවත් කලාපයක් තිබේ. එය ඡායාරූප දඩයමේ නැතත් රසිකයාගේ මනසේ ඇඳෙන්නට නියමිතය. ඒ බිම් තට්ටුවක් නොව අප සියල්ලන්ම පාවෙන අහසයි. ජායාරූපයේ අපට මැවෙන්නා වූ අහස පවතින ස්ථරය අපේ කල්පනාවන් විශ්වයටද විනිවිදින්නේය. සීමා නැති සිතට අහසින් අස්වැසිල්ලක් ලැබෙන බව අප අත්දැකීමෙන් දනිමු. ඒ හින්දාදෝ මුහුදත් සමග ආකාශය අපේ සිතේ අඩුවක් පුරවනවා සේ දැනේ. අහස කොහොමත් නිල් පාටය. සුදු ගවුමේ සංකේතීය අහිංසක දැක්ම මේ පසුබිම හරහා තීවුර වන බව මේ ශිල්පියා නොදන්නා ශිල්පියෙක් විය නොහැක. අහඹුව අනිවාර්ය කර ශ්‍රී ලාංකේය ලොලිටාවන්ගේ දර්ශනීය අභිනයන් ලෝකයේ සංචාරක මාර්ගෝප දේශයකට ඇතුලත් කිරීමට ඒ ශිල්පියාට ඉවක් තිබී ඇත. වීදි ඡායාරූප ශිල්පියෝ රටක වීදියෙන් දඩයම් කරන්නේ අහම්භීය අභිනයන්ය. එය ඒ කලාපයේ සමාජ සංස්කෘතික දේශපාලනික රටාවන්ගෙන් පෝෂිතය. තවත් පැත්තකින් කෙලින්ම ජීවමානය. අහඹුව වීදි ඡායාරූපයකට වාසනාව ගෙනෙනවා කියාද කියන්නේ ඒ නිසාය. නමුත් අහඹුවද ශිල්පියා ආලෝක දඩයමට පෙර සැලසුම් කළ යුතුය. ඔහුට සෙලවිය හැක්කේ කැමරාව පමණි. අඩි දෙක තුනක් එහා මෙහා ගිය හැක. නමුත් කාලය ඉතා කෙටිය. ෂටරයේ වේගයටත් වඩා සැලසුමේ වේගය කෙටි විය හැක.

    සමහර විට මේ ඈත ගම්මානයක පාසැල් බාලිකාවියන්ට මුහුද පෙන්වීමට පැමිනි චාරිකාවක් වන්නටද පුළුවන. ගමේ හෝ නගරයේ බාලිකාවියක් සුදු ගවුම ඇඳගත් පසු උඩ රටද, පහත රටද, ගොඩේද, ෂෝෂල්ද යන කතා සැබෑවට ඔළුවේ පෑල දොරින් නික්ම යනවා සේය. ගුවන්යානයකුත් අලියෙකුත් කෝච්චියකුත් දුටු විට සියලු මිනිසුන්අහේතුකව ඒ දෙස බලනවා අනිවාර්ය වූවාක් මෙන්ම පාසැල් ඇඳුමෙන් සැරසුන බාලිකාවියන් දෙසද බොහෝ පිරිමින්ගේ මේ අහේතුක බැල්ම ඔබටද නීරීක්ෂණය කළ හැක. කෙසේ වුවද ශ්‍රී ලාංකේය මිනිසුන්ගේ ආදරණීය ආලෝක දැක්මක් ශිල්පියා මනාව දඩයම් කරගෙන තිබෙන්නේය. මේ බාලිකාවියන් දස දෙනා දෙස බලන්න. එකි නෙකා සිටින්නේ තමන්ටම අනන්‍ය වූ ලෝකයකය. අභිනයන් දස වග්ගයකි. ඒවාද තප්පරෙන් පංගුවෙන් පංගුවට වෙනස් වෙනවා නියතය.

   සුදු ගවොමක් ඇඳන් ගොලුහදවතේ වෙරළු දෙන ධම්මීව අපට සිහිවෙනවාය. 96යන 2018 ඉන්දියානු දෙමල ආදර චිතුපටයද සිහිවේ. එහි බාලිකාවියකට රංගනයේ යෙදෙන ත්‍රිෂා ක්‍රිස්නන් ලංකාවේ එකියක්ද කියා තර්ක කළ උන්වද සිහිවේ. ඒ සියලු සතුට වේදනාවක් කරමින් ස්වර්ණා දඩයම චිත්‍රපටයේ දරු ගැබ නිසා සුදු ගවොම් පටිය දමාගැනීමට නොහැකි අවස්ථාවේ අභිනයන් තවමත් අප සිනමාශාලාවේද යන හැඟීම් දනවයි.

   කෙසේ නමුදු බාලිකා පාසැල් ඇඳුම් නිර්මානය දේශපාලනික වේශ නිරූපනයක ඉතිහාස පැතිකඩකි. කාන්තාවන්ව චාම් කිරීමේ කලාව කාන්තාවන්ව ශිෂ්ට කිරීමේ පුරුෂ දේශපාලනයට නෑකම් කියනවා සේය. අද අප ඉන් සුන්දරත්වයක් දැක්කාට කාන්තාවන්ව චාම්කර ශිෂ්ට කරන ලද්දේ පුරුෂ දේශපාලනයේ ලිංගික සහ ධනේශ්වර භෞතික දේශපාලකයන්ගේ පාලනයේ පහසුව සඳහා බව පෙනේ. ඉන් පසු ගෙදර බුදුන් අම්මා කියමින් නොගෙවූ ශ්‍රමයේ වේදනාව බවට ඇයව පත්කිරීමේ මෙවලමක් සේද සුදෝ සුදු පාසැල් නිළ ඇඳුම ගැන ලියාගෙන ලියාගෙන ගිය හැක. නමුත් අදවන විට කාන්තාවන්ගේ මේ තත්ත්වයන් ආර්ථික වශයෙන් බොහෝ අපගමනයන්ට ලක්වී තිබේ. එහෙත් බාලිකාවියන් දෙස මහා දැවැන්ත දාර්ශනිකසේ පෙනී සිටින පිරිමින් අද බලන්නේද පිරිමි රොමැන්ටික් ඇස් වලින්ම වන්නේය. බාලිකාවන්ගේ පාසැල් නිළ ඇඳුම පිරිමින්ගේ මානසික සංඛීර්ණයක් වූ ආකාරය ලිවීම පසුවට කල් තබමි.

බාලිකාවියන්..
තක්සලා දොරෙන්..
ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්
යන්තරේ හඬින්..
මන්තරේ දුමින්..
රාවණා ඇවිත් හිඳීවි සෙයිලමේ ඉඳන්
ලියා මුතු වදන් යොමා සුවඳ පැන්
එවා දූතයන් කර මත මහා පෙම් හසුන්
මවා බොරු වදන් ගෙනා අවසරෙන්
මිදී කූඩුවෙන් ඉගිලෙති ස්වර්ණමාලියන්
බාලිකාවියන්...
තක්සලා දොරෙන්..
ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්
යන්තරේ හඬින්..
මන්තරේ දුමින්..
රාවණා ඇවිත් හිඳීවි සෙයිලමේ ඉඳන්
උත්පලාවියන් බාල බොලඳියන්
මත්වෙලා පෙමින් දෙනුවන් පෙම්බරා නමින්
මල් වැටෙන් එහා රඟහලින් මෙහා
සිනා පා රුවෙන් කොතැනද රංගනේ රැඟුම්
බාලිකාවියන්...තක්සලා දොරෙන්...
ඉස්සිලා හොරෙන් බලාවි... ගස්සලා නුවන්..
යන්තරේ හඬින් මන්තරේ දුමින්
රාවණා ඇවිත් හිඳීවි සෙයිලමේ ඉඳන්
ගායනය- ජානක වික්‍රමසිංහ

පද රචනය- සමන් ඒකනායක

https://youtu.be/9bmhw3xee6U

www.jagathmarasinghe.com

03 11 2022







1 comments:

+++++++++++++++++++++++++++++++++++++++++++


Powered by Blogger.