ඔප දැමූ කාචය - Dark Street Photography

                                                  ඔප දැමූ කාචය

             ලෝකයේ දේශපාලන පාලකයන්ට පාලනයේ පහසුව සඳහා දේශපාලනිකව නිර්මාණය වූ සදාචාර අවුලක් තවදුරටත් අවුල්කර පවත්වාගෙනයාමේ රීතියකට සමහර රැකියා පහත්කොට සැලකීම අද ඊයේ සිදුවූවක් නොවන බව සැබෑවකි. මෙහි ප්‍රථමක සාධකය වන්නේ ගණිකා සංස්කෘතිය කේන්ද්‍රකොට නිර්මිත සමාජ මානසිකත්වයයි. ගණිකා සංස්කෘතිය වනාහී නිතර සීමා මායිම් වශයෙන් විබේදනයන්ට ලක්වෙන සංකල්පීය පද්ධතියකින් යුක්තය. වෘත්තීයක් වශයෙන් මුල්කොට සලකනවා විනා එහි දේපල අර්ධය කෙසේ වෙතුදු ආදර මිනිස් සංස්කෘතියේ ගූඩාර්ධයේ හොල්මන් කරන ගණිකා සංස්තියේද ආදර අර්ධයක් තිබේ. ඒ ආදර අර්ධය ගැන බොහෝවිට අවධානය යොමුකර ඇත්තේ ලෝකයේ සම්භාව්‍ය ගනයට වැටෙන සිනමා අධ්‍යක්ෂක වරුන් සහ ප්‍රකට ප්‍රබන්ධ කලා කෘති  නිර්මාණය කළ ලේඛකයෝ පමනක් ලෙසද සිතිය හැකිය.

         ආදරයේ මහා සංස්කෘතිය වන්නේ ලිංගික ආදරයයි. මුදලට තීන්දු වුවද ගණිකා ආදරය සම්පූර්ණයෙන්ම ව්‍යාජයක් ලෙස සලකන්නේ ඒ සම්බන්ධව නිර්මාණය වී ඇති සැබෑ සිනමාව සහ කලාකෘති ඇස නොගැසුන මිනිසුන් වන්නටද පුළුවන. මෙය ලියන බ්ලොග් රචකයාට සොර්බාද ග්‍රීක් කෘතියේ සොර්බාව සිහියට නැගෙයි. සොර්බා වරක් ගණිකා ආදරයද සැබෑ මතකයක් කරමින් ගණිකාවක් වෙනුවෙන් කම්පනයට පත්වේ. ඒ සියලු ගණිකාවන්ට ආචාරයැක්දැයි සිතෙන තරමට හදවත් විනිවිද යයි. ගණිකා ආදරය සිල්ලර කතාවක් නොව ගණිකාවකගේ අසරණකම මනුෂ්‍යත්වය මිනිස්කම සමග මුසු වූ ආදර අර්ධය ලොක්කා හරහා අපට පහදා දෙන්නේද සොර්බාය. අපට සොර්බලා කවදාවත් හමුවන්නේ නැහැ කියා මේ බ්ලොග් කරුනම් කිසිදා කම්පා වන්නේ නැත. මන්ද සොර්බලා අපට ඕනෑවටත් වඩා සිටිති. නමුත් ඉන්නේ හැංගිලාය. බබුලිනාලත් සිටිති. එයාලා ඉන්නේද එසේය. ප්‍රශ්නය වන්නේ නීතියටත් වඩා සදාචාරයයි. නීතියට වඩා සදාචාරය ප්‍රාථමිකය. අද මේ ආකල්ප වෙනස් කිරීමට මූලිකත්වය ගත යුත්තේ ජනමාධ්‍යය විසින් වීම සැබෑවකි. නමුත් ගණිකාවියන්ට අපහස කරමින් උන්ගේ කුහක ජනමාධ්‍ය තුල මෙවන් ආකල්ප තහනම් කර දැමීමට වරෙක කෑගසයි. තවත් වරෙක ඒවා පවත්වාගෙන යාමට ආගමේ නාමයෙන් රජ්‍යයට අනුබල දෙනු ලබයි. උන්ට ඇත්තේ මීඩියා කඩු නොව දෙපැත්ත කැපෙන කුහක කඩු බව ජනමාධ්‍ය පාරිභෝගිකයෝ දැන ගත යුතුය.

     ආගමික තත්ත්වයන් මුල්කොට මාධ්‍ය ලෝකය විසින් මෙවැනි තත්ත්වයන් පවත්වාගෙන යන්නේ කාගේ වුවමනාවටවත් නොව උන්ගේ අතිරික්ත ලාභයේ වුවමනාවටමය. ගණිකා වෘත්තිය නීති ගත කළ රටවල පවා රතු කලාප වශයෙන් වෙන්කර ආකල්ප උස් පහත් ලෙස වෙනසක් ඇතිවී තිබෙන බව සැබෑවකි. ඒ වෙනස තුලද පංති සන්නිවේදනයක් පවතින බව වටහාගත හැක.

        පවුල පෞද්ගලික දේපල සහ රජය ඇති වූ හැටි පොත කියෙව්වා කියන කතාවෙන් මිදී පවුල සහ පෞද්ගලික දේපල සහ රාජ්‍යය ඇතිවීම තමන් ජීවිතයෙන්ම අවබෝධ කරගත්තා කියා කටක් ඇර කියන්නට හැකි කිසිවෙකුට මෙවැනි දේවල් ප්‍රශ්නයක් බවට පත්විමට පුංචි ඉඩක්වත් තිබිය නොහැක. කුළප්පු වී ළදරු වලිප්පුව හදාගෙන ලිංගික නිදහස සම්බන්ධව මයික් පුපුරන්නට කෑමොර ගසන්නවත් ඉඩක් ඉතිරි වන්නේ නැත. රාජ්‍යන් විසින් ලාභ ලබමින් පවත්වාගෙන යන එවන් සම්ප්‍රධායන් සහ නීති රීති කෙසේ වෙතුදු නිර්මිත ආකල්ප එක පෑන් පහරකින් ඉවර කර දමන්නට කිසිදා  නොහැකි බවද කවුරුත් දැනගත යුතුය. එය මිනිස් අරගලයේ ජීවමාන කොටසක් වී හමාරය. ඒ සම්බන්ධව කළ යුත්ත කර ඇත්තේ වාමවාදී දාර්ශනිකයෝ සහ සැබෑ කලාව අවබෝධ කරගත් ප්‍රබන්ධ රචකයෝ පමණක්දැයි සිතේ.

     කෙසේ වෙතුදු බ්ලොග්කරු මේ සටහන තැබුවේ රාත්‍රී වීදි ඡායාරූපකරණයේ කතිකාවකට වෙනත් ගුලකින් රිංගීමට පාරක් නිර්මානය කරගැනීම සඳහා පමණක්ද නොවන්නේය. රාත්‍රී වීදි ඡායාරූප ශිල්පීන් හෙවත් අඳුරු වීදි ඡායාරූප ශිල්පීන්ට මෙවන් කාරනා ගැනද දැන ගැනීම අඟනා බව දැනුන නිසාය. අඳුරු වීදි ඡායාරූපකරණයේදී රතු කලාපයන් ප්‍රධාන සාධකයක් වන්නේ මිනිසාට ලිංගිකත්වය ප්‍රථමක සාධකයක් වන නිසාමය. ආදරයට වඩා ලිංගික භෞතික තත්ත්වයන් ප්‍රාථමික බව ඔවුන් වටහා ගත යුතුය.      එලෙසම මිට නැති දෙපැත්ත කැපෙන කඩුවකින් කළ හැකි සටනක්ද නැත. එක පෑන් පහරකින් නැති කර දැමිය හැකි ආකල්ප වෙනසක්ද නැත. නමුදු සැබෑ සමාජ ජීවිත අරගලයකින් මිනිසා ජයගත් දේ බොහෝය. ජයගන්නවා යනු සියල්ල පරාජය කිරීමක් නොවන්නේය. අවිඤ්ඤාණය සවිඤ්ඤානය වන්නේ කොතනද තවත් අවිඤ්ඤානයක් බිහිවීම අනිවාර්යක් බව දයලෙක්තිකවද විස්තර කර තිබෙන්නේය.

        ලෝකයේ  පාලකයන්ට රාජ්‍ය පාලනයේ පහසුව සඳහා දේශපාලනිකව සදාචාර අවුලක් තවදුරටත් අවුල්කර පවත්වාගෙන යාමේ රිතියට විවිධ රැකියා පහත්කොට සැලකීම ආගමික තත්ත්වයන් දක්වා මේ වන විට ඔඩු දුවා තිබේ.

         රාත්‍රී කාලයේ වීදි ඡායාරූපකරණය වනාහී වීදි ඡායාරූප කේෂ්ත්‍රයේ ඉතා ජනප්‍රිය  පැතිකඩක් බව කලිනුත් සඳහන් කර තිබේ. එහෙත් ඒ ජනප්‍රියත්වයද වික්ටෝරියන් සදාචාරයේ උස් පහත්වීම විසින්  අඳුරින් අඳුරට තල්ලු වී තිබේ. අප රටේ පමණක් නොව සමහර දියුනු රටවලද එසේම බව සැබෑවකි. නැතිනම් රිපෝට් අනුව අන්තර්ජාලය අගුල වැටෙන්නට ව්‍යාපාරිකයෝ මෘදුකාංග නිශ්පාදනය කරන්නේ නැත. සදාචාර සමාජ තහංචි සියල්ලෝම සූත්‍ර ගතකරමින් පාලකයෝ ඒවා ආගමික කලාපයකට බද්ධ කරනු ලබයි. කලාත්මක සංකල්ප රූප ස්වභාවය ඇසුරින්ම කලාත්මකව ජයගැනීමට යන ශිල්පීන් විරල මුත් ඒ ඔස්සේ නිර්මිත කලාත්මක උපායන් නිසා ඡායාරූපකරණයේ මෙම පැතිකඩද විශ්මය දනවන අයුරින් වෙනම කලාත්මක ශානරයක් බිහිකර තිබේ.

     ලිංගික සංකල්පීය තලයන් ඔස්සේ ගලාගෙන යන රාත්‍රී වීදි ඡායාරූපකරණය නැතිනම් අඳුරු වීදි ඡායාරූපකරණය සමග යම් නිර්මාණාත්මක කටයුත්තක් කිරීම සමහර විට අති බිහිසුනුය. අභියෝගාත්මකය. දේශපාලනිකය. මායා ලිංගිකය. නමුදු අපවන් රට වල ඒ ආශ්වාදය නිසිලෙස විඳීමට ඉඩක් නැතිවීම එක ‌පැත්තකින් ශෝචනීය වුවද තවත් පැත්තකින් ඒ ජයගැනීමට කලාත්මක භාවිතාවන් වැඩි වශයෙන් මතුවීමනම් වින්දනයේ නිම්වලලු තවදුරටත් පුළුල් කරන්නේය. සියලු රස භාවයන් ජයගැනීමට ශිල්පියාද රසිකයාද නිරායාසයෙන්ම පෙළඹෙන්නේය. ලිංගික කුහකයන්ට හීන් සැරේ පසු බසින්නට මගක් විවෘත වන්නේද  ඒ ආකාරයටය.

      මේ සටහන ලියන්නට සිතුනේ යට පලකර ඇති අඳුරු වීදි ඡායාරූපය නිසාය. අන්තර්ජාල රස්තියාදුවේදී එක් මොහොතක මෙම අඳුරු වීදිඡායාරූපය ඇස වැටුනි. එහි වෙනත් භාෂාවකින් අහවල් පලාතේ ගැහැනු ළමයා කියා මේ ඡායාරූපය පල කර තිබුණි. මිනිසුන් රාත්‍රී වීදි ඡායාරූප වල සිටින කාන්තාවන් තව දුරටත් අඳුරු කරන්නේ පිරිමින්ගේ ආශාවන්ට ආලෝකය ලබා දී කාන්තාවන් සංකේතියවද අලෙවි කිරීම සඳහාය. ගණිකා වෘත්තියට නොව සංකේතීයව අඳුරු කර පහත් කර කාන්තාවන්ව පමණක් නොව සැබෑ රාත්‍රී වීදි ඡායාරූප ශිල්පීන්වද අවතක්ශේරු කිරීම සඳහා මාධ්‍ය සංස්කෘතියේ තැරැව්කාර අතරමැදියෝ මහ දවාලේ කටයුතු කරමින් සිටී. තැරැව්කාරයා යනු ධනේශ්වරයේ කොතනත් දුෂ්ටයාය. අඳුරු ලෝකයේ තැරව්කරුවන්ටද පිංපියෝ කියාද පරවාර නාමයක් යෙදෙයි.

      රාත්‍රී කාලයේ වීදියේ නිමවන අඳුරු වීදි ඡායාරූප යනු ලිංගිකත්වය සම්බන්ධ ආසාව දැනවීම මුල්කොට සිදුකරන්නක්ම නොවන්නේය. මේ තැනැත්තිය මෙහෙමය කියා නිමවන ප්‍රවෘත්ති ඡායාවක්ද නොවන්නේය. ශරීර වෙළඳාමට ලාබ ලැබිය හැකි ප්‍රචාරක ඡායාරූපයක්ද නොවන්නේය. දේශපාලනික ස්වභාවික සහ මිනිස් අරගලයේ යථාවාදි තථාවාදී ජීවන සුවඳක්ම වන්නේය.

        මෙහි දමා ඇති ඡායාරූපය අන්තර්ජාලයේ විවිධ වීදි සංස්කෘතික ගනිකාවන් ගැන ලිපිවල ප්‍රධාන ඡායාරූපය ලෙස දමා තිබේ. බ්‍රසීලයේ නොසකාදමන ලද සමාජ කණ්ඩාමක ගණිකාවන් ගැන කියන කල ඇය බ්‍රසීලයේය. ලාංකේය වීදියේ ඡායාරූප සඳහාද ඇයව වීදි ගනිකාවක් කර තිබේ. ඇය දැන් අන්තර් ජාලයේ නොසලකාහරින ලද වීදි සිහින තාරකාවක් වී හමාරය. ඇය කවුද කොහේද යන්න කෙසේ උවත් සෑම රටකම සමාජ කණ්ඩායමක් නියෝජනය වන ඡායාරූපයක් නිසා අන්තර්ජාලයේ මෙම ඡායාරූපය බොහෝ අවස්තාවලදී අප නෙත් ගැටෙයි. සමහර විට ඇය මොඩල් කෙනෙක් වීමටද බැරිකමක් නැත. ඒ කෙසේ වුවද මේ ලිවීමට මේ ඡායාරූපය වීදි ඡායාරූපකරණයේ සම්මුතින් වලින් පොහොසත්ය. 

       මේ ඡායාරූපයේ ප්‍රධාන අරමුණු චරිතය ගැහැණු ලමයෙකි. ඇය ඇඳ සිටින්නේ කලු හැට්ටයකි. ශරීරයද අඳුරුය. ඇගේ ඇඳුම පිරිමින්ගේ කිළුටු ආශාවන්ට ඇඟිල්ලෙන් අනිනවාසේය.සාමාන්‍ය පාවහන් යුගලකි. නිය පාට කර ඇත. අඳුරු කොට කලිසමේ ලිහිල් බව රසිකයාට දැනේ. ඇය සිටින්නේ අත් වාරුවක් අල්ලාගෙනය. ඇය සිටින්නේ පඩිපෙලේ පහතය. ආපසු හැරී අරමුනට නගින්නට තව පඩි ප්‍රමාණයක් තරණය කළ යුතුමය. පසුබිම් බිත්ති කිලුටුය. පඩිපෙලේ ඉහල දොර වසා තිබේ. රසිකත්වයේ කූටප්‍රාප්තිය ගිනි ගනී. ලස්සනයි මෙන් පෙනුනාට වටිනා පාවහන් යුවලකින් සැරසී නැත. රාත්‍රී කාලයේ පිටකොටුවේ නිශාචර ජීවිත ගතකර ඇති ඇත්තන්ටනම් මහා ආශාවේ මතකයන් ගොන්නක් හිස මත ගිණි ගනු ඇත.මන්ද මෙවන් දර්ශන උනට සාමාන්‍යය උවද ආශාවේ විශේෂිත නිසාය. ඇයගේ බැල්ම ආයාචනාත්මකය. බාල පාවහන් යුවලකි. අපිරිසිදු ලිංගිකත්වයටත් පිරිසිදු ලිංගිකත්වයටත් ආරාධිත සමාන්තර කාය සිතුවමකි. මහා මාලිගාවක් හෝ තරුපහේ හෝටලයක්ද නොවන වග දැනේ. ශිල්පියාගේ ශටරය සියල්ල ඩැහැගෙන ඇත. අඳුර මැදින් ආශාවේ ආලෝකය දිදුලයි. ඒත් දුප්පත්කමේ සහ වේදනාවේද පිළිකුලේද පසුබිම රසිකයාගේ සංවේදීකම නන්නත්තාර කර දමයි. ඡායාරූපය දුටු විගසම මුදල් දී පාවිච්චි කරනවාටත් වඩා ආදරය කරන්නට සිතේ. මොහොතකට සැලසුම් සහගත වුවත් තේරීම හෝ අහඹුව තේරී තිබීම අනගිය. අන්තර්ජාල රස්තියාදුවේදීද සැබෑ රස්තියාදුවේදී මෙන් මෙවන් දර්ශන ඉඳ හිට හමුවෙයි. වීදි ඡායාරූප කරණය යනු ස්වභාවයේ ආදරණීය අභිනයන් සහ යථම වන්නේය.

    විශේෂයෙන් අපවන් රටවල රාත්‍රී වීදි දුහුනු වීදි ඡායාරූප ශිල්පියන් නොදැනුවත් බාවය නිසා තැරැව්කරුවෙකු වීමේ හෝ තැරැව් කරුවන්ට අසුවීමේ ඉඩ අහුරා ගැනීමට මේ සටහන උපකාරී වේවායි පතමි. පැතුමක් කියන්නෙත් ආශාවක ආදරය කීමට කිසිදා නොහැක. මන්ද ආදරයට වඩා ආශාව ප්‍රාථමිකය. ආශාවට වඩා ලිංගිකත්වය ප්‍රාථමිකය. අරමුණු වස්තුව ගැහැනියකි. එහි ප්‍රතිලෝමය ලිවිය යුත්තේ සෑම ගැහැනියක් තුලම මිනිසෙක් හෝ සෑම මිනිසෙක් තුලම ගැහැනියක් ආත්මීයව නොදකින මිනිසුන්ටය. එහෙම මිනිසුන් පවතිනවාදැයි නොදනිමි.

Jagath Marasinghe

19 08 2022


Powered by Blogger.