( අහඹුවේ කාච කාලය- වීදි ඡායාරූපකරණය)Street photography

( අහඹුවේ කාච කාලය- වීදි ඡායාරූපකරණය)Street photography

                            සිතුවිලි චණ්ඩ වෙලා ඔලුවේ කැරලි ගහන්න ගත්තම වීදි ඡායාරූප බලන්න ගන්න. ඒ මනසේ ඇතිවන සිතිවිලි කලඹවන චණ්ඩ මාරුතය එකපාට නතර වෙනවා. මොකද අපට වඩා මිනිස්සු අවුල් වෙලා තියන ඒව ඇතුලේ අපට ආදරය පේන්න ගන්නවා. දයලෙක්තික භෞතිකවාදයේ නියමයක් තියනවා අහඹුව සහ අනිවාර්ය කියලා. ඒකත් ජීවිතය තේරුන් ගන්න මරු නියමයක්. සෑම අහම්බයක්ම අනිවාර්යක් කියන කතන්දරේ ගැන එයාලා න්‍යායිකව කතා කරනවා. ඒ වගේම තමා සෑම වීදි ඡායාරූපයකටම අහම්බයත් අනිවාර්ය වෙනවා. සැලසුම් කරන්න කාලයක් නැති හින්ද වීදි ඡායාරූප වල මේ අහම්බ සැකසුම් හරිම විශ්මිතයි. බලන්න මේ කල්කටාවේ අන්තර්ජාල රස්තියාදුවේදි කල්කටා පිටුවක තිබිල මට හමුවුන මේ වීදි ඡායාරූපය. බලපු ගමන් අපිට එකපාටම තේරෙනවා මේ බස්නැවතුමක මිනිස්සු ගමන් යන්න ඉන්න අවස්ථාවක් කියලා. ඉදිරියේ තිබෙන කඩ වලින් දැනෙනවා ජනාකීර්ණ හන්දියක් වගේ තැනක් කියලා. අරමුණ වෙලා තියෙන්නේ ආදරවන්ත ජෝඩුවක්. බලන්න වැස්ස වහිනකොට මිනිසුන් කලබලයට පත්වෙන කාරණය නියමෙට තියනවා. ආදරවන්තය බලන් ඉන්නෙත් ඈත බස්එකක් එනකන් වගේ. හැබැයි එකම ගෑනු චරිතයයි. ආදර යුවලට යම් ආරක්ෂාවක් තියනවා වැස්සෙන්. ආදර වන්තයින්ට මොන බාදක ආවත් ආදරය ආරක්ෂාව දෙනවා වගේ ඔක්කොම තෙමෙද්දි උන්දෙන්න නොතෙමි ඉන්නවා. වේගෙන් ගමන්කරන ලොරි රථයක් අරමුණ වෙලා තියන ආදර රූපයේ පසුබිම වෙනවා. වටිනාම කාරණය වන්නේ ආදරවන්තිය මේ කලබලය කිසිසේත්ම ඔලුවට දාගන්නේ නැතිව ආදරයෙන්ම ඉන්නවා වගේ පේන එකයි. වීදි ඡායාරූපකරණයේ ප්‍රධාන පාඩමක් තමා කාලය කළමනාකරනය කරන්න පුරුදු වෙන්න ඕන කියන කතන්දරය. කොහොම උනත් මේ ශිල්පිය සැලසුමක් නැතිව තිබ්බ ආලෝක වෙඩිල්ල මතුකරල තියන කතන්දර වල ලස්සන. මෙතනින් තවත් වැදගත් දෙයක් මතුවෙනවා. ඕනැම කලබල පරිසරයක් මැද ආදරයකට හැකියි කියලා කාලය නතර කරන්න. වේගෙන් යන ලොරිය, කලබලෙන් ඉන්න මිනිස්සු, වැස්ස, ජනාකීර්ණ පරිසරය, අඳුර- තම ගමන යන්න විදිහක් නැතිව බලාගෙන ඉන්න මිනිසු විපරිතවෙලා කලබල වූ මොහොතක ඒ යුවල කාලය මොහොතකට නතර කරලා. ඒ දෙන්නට විතරක් වුනත් ඒක කරල තියෙන්නේ ආදරය කියන සංකල්පය. ආදරයට පුලුවන් කාලය මොහොතකට නතර කරන්න කියන ශක්තිය ඡායාරූපයක නගල තියෙන්නේ අහඹුව මුල් කරන් ක්ෂණික ආවේශයකින් වීදි ඡායාරූප ශිල්පියෙක්. වීදි ඡායාරූප ශිල්පියෙක් කියන්නෙත් එසේ මෙසේ මිනිහෙක් විය නොහැකියි.

    වීදි ඡායාරූප කියන්නේ විශ්මිත අහම්බයක් සහ අනිවාර්යයක්. එතනිනුත් කාලය නතර කරන්න ඉදිරියෙන් ඉන්නේ කාන්තාවක්, ආදර වන්තියක්,ගැහැනු ආත්මයක්, කාලයේ නිර්මාතෘ වරියක්. වීදි ඡායාරූප වලට සැකසුමක් සංවිධානයක් තියෙන්නේ අසුරු සැනක කාලයක්. ඒක පුරුද්දෙන් ඉවෙන් වෙන දෙයක්. අහම්බයක් තප්පරයෙන් පංගුවකින් දඩයම් කරගන්න ලේසි නැහැ. ආන්න ඒ නිසා වීදි ඡායාරූපකරණය කියන්නෙ ඇත්තටම ආශ්චර්යක්. ශිල්පියගේ නම තාම හමුවුනේ නැහැ. අන්තර් ජාලය පීරන්න ගත්ත වෙලාවක හම්බවෙයි කියලා හිතෙනවා

Jagath Marasinghe

17 08 2022


Powered by Blogger.