ස්ටීව් මැකූරි දකින විශ්මිත ඇස් - Steve McCurry

                            ස්ටීව් මැකූරි දකින විශ්මිත දෑස් -  Steve McCurry

23 04 1950 දින උපන් ස්ටීව් මැකූරි (Steve McCurry) යනු ඇමරිකානු ඡායාරූප ශිල්පියෙකි. නිදහස් සේවකයෙක් සහ ඡායාරූප මාධ්යවේදියෙකි . ඇෆ්ගන් දැරිය ඔහුගේ සුුුප්‍රසිද්ධ ඡායාරූපයකි. ඇෆ්ගන් දැරිය කොළ පැහැති ඇස් ඇති ගැහැණු ළමයෙකි.
ස්ටීව් මැකූරි ජාතික පුවත්පත් ඡායාරූප ශිල්පීන්ගේ සංගමය විසින් පිරිනමන වසරේ සඟරා ඡායාරූප ශිල්පියා ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලැබූවෙකි . රාජකීය ඡායාරූප සංගමයේ ශත සංවත්සර පදක්කම ; සහ ලෝක පුවත්පත් ඡායාරූප තරඟයේ පළමු ස්ථාන ත්‍යාග දෙකක් හිමිකරගත්තෙකි. ඔහුගේ නිළ ඊ පවුරේ ඇති මේ ඡායාරූපය1984, ඉන්දියාවේ පෝර්බන්දර් හි මෝසම් ගංවතුරට හසු වූ වීදියක් හරහා සහෝදරයෙක් තම සහෝදරිය ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන අයුරු මනා සංයමයකින් යුතුව ආලෝකයෙන් දඩයම් කරගෙන තිබේ. මැකූරිගේ තනි ඇසට අදාල අරමුණේ චලලෝචනයෝ ඉලක්ක වන්නේ කොයි ආලෝකයෙන්ද අවලෝකනයෙන්දැයි යන්න ඔහුගේ බොහෝ ඡායාරූප වලින් අපට ඉතිරි කර ඇත්තේ විශ්මිත ගැටලුවක් පමණි. ඒ දෑස් සම්බන්ධ ගූඩත්වය "ඇෆ්ගන් දැරියට"ට පමණක් සීමා වී නැතිබව ඔහුගේ සැබෑ රසිකයෝ නොදන්නා රහසක් නොවේ. අන්තර් ජාලයේ රස්තියාදු කාරයන්ට හමුවෙන පොටෝ දකින පාරවල් වලදී ඔහුව නිතර හමුවන බව දනිමි. තවත් පැත්තකින් ස්ටීව් මැකූරි යනු වීදි ඡායාරූපකරණය විශ්මිත ප්‍රභේදයක් බවට පත් කළ බොහෝදෙනාගෙන් විශිෂ්ටයෙකි. මාරස මීට පෙරද ඔහු ගැන සඳහන් කර තිබේ.
බලන්න, පසුබිම දෙස. ගොඩනැගිලි සහ ගංවතුර පමණක් නොව සැඩ පහරද බොඳය. ඒවායින් අප හිතේ ඇඳ ගන්නා සියලු කතන්දර මැකූරි අපේ ඔලුවේ අංක තුනට දාලාය. අදාල අරමුණේ සහෝදර චරිතයද ඉවත බලාගෙනය. එයාව අපේ දැක්මට වැදගත් වන්නේ දෙවැන්නටය. ඔහු සීරුවෙන් ආරක්ෂක අරමුණකය. අංක එකට අරගෙන තිබෙන්නේ ඒ කෙල්ලගේ දෑස්ය. කතන්දරය විනිවිදින්නට ඒ නේත්‍රා මැකූරි අපට කමටහනකට විභවයක් සැපයූවා සේය. ඒ දෑස් වලින් කියන්නේ කුමක්ද? කිසිවෙකුට පැවසිය නොහැක. මැකූරිගේ බොහෝ ඡායාරූප වලට මෙය පොදු සාධකයකි. ඇෆ්ගන් දැරිය (Afghan Girl) නැමති ප්‍රසිද්ධ ඡායාරූපයද එසේමය. මැකූරිගේ වීදි චායාරූපකරණයේ පමණක් නොව බොහෝ නිර්මාණද දෑසක් ඉලක්ක කර ඒ ඔස්සේ අපව සමාධි ගත කරන්නේය. මුලු සමස්ථයේම පැහැදිලි එකම ඉලක්කය චලිත වන දෑසය. නිශ්චල ඡායාරූපයකින් චලලෝචනයන්ගේ චලිතය පෙන්වන්නේ කෙසේද යන්න ආලෝකයේ ප්‍රවේගයටත් වඩා වැඩි වේගයකින් අපට දනවන මැකූරිගේ දෑස් කිසිදා නොනිමේවා කියා කියන්නට සිතෙන්නේය. මුළු සිද්ධියේම පමණක් නොව ජීවිතයක ඇති සැක බිය, ආදරය, සහෝදර ප්‍රේමය, බලාපොරොත්තුව, නිස්සාරත්වය, උත්තල කාචයකින් නාභිගතවන ආලෝක තිතක් මෙන් මැකූරී ඒ දෑසේ කාච සිදුරට විතැන්කොට ඇත. අපටද වටපිටාව ගැන කිසිත් සිතෙන්නේ නැත. බිය සැක අවසානයේ කුමකින් කුමක් වේදෝවත් නොසිතේ. ඒත් අප ඉන්නේ ඒ සිද්ධියේ නාභිය වූ දෑසේය. ඒ ක්ෂණික කාලය ජීවිතයටත් වඩා දිගයි මෙන් දැනේ. මැකූරි මකා දමන්නට නොහැකි මහා ධර්මස්කන්දයක් තප්පරයෙන් පංගුවකින් ‌ දැරිවියකගේ දෑසින් අපට දෙසා වදාරා හමාරය. එය කිසිදා හමාර නොවන සූන්‍යත්වයක් වූවා සේය. මේ සංවේදනාව මිනිසාගේ දැහැනක් බවට පත්කිරීමට ‌සිනමාපට දහසකින්වත් හැකිවේදැයි සැකයක්ද මතු නොවනවා නොවේ. ස්ටීව් මැකූරිගේ ආලෝකයෙන් දෑස් ඩැහැගැනීම ගැන මෙසේ සිතේ. චලිත වන ඇසක සැබෑ සිදුරේ අරමුණට අදාල භාවමය විභවය මතුවන්නේ තප්පරයකටත් වඩා අඩු කාලයකය. ඒ අවස්ථාවේ ශටරය ඔබන්නට නොව එබෙන්නට මැකුරීගේ සතතඅභ්‍යාස පුහුණුව භාවනාවක් වූවාටත් වඩා දෙයක් මෙන් දැනේ. ‌‌ප්‍රඥාවේ ප්‍රකාශනයම මැකූරිගේ එක ඇඟිල්ලකට අවේශ වන්නට ඇත.
ආදරෙ‌යි මැකූරි-
අහසටත් වඩා.
Jagath Marasinghe
20 08 2022


Afghan Girl controversy








Powered by Blogger.