වීදිය කියන්නෙත් විශ්වයක්!...(Street Photography)

                                         වීදිය කියන්නෙත් විශ්වයක්!....

       ඇන්ඩ්‍රියාස් ඔට් (Andreas Ott) නැමති ජර්මානු වීදි ඡායාරූප ශිල්පියාගේ උපත 1979, ජර්මනියේ බොන් හි ජීවත් වෙමින් තමයි තම රාජකාරිය කරන්නේ. එයා වීදි ඡායාරූප ගැන (Street Photography) වෙබ් අඩවියකුත් නඩත්තු කරනවා. එයා කියනවා දවස පුරා අප කඩිමුඩියේ නොදැනුවත්වම පසුකර යන ලෞකික අභිනයන්, දර්ශන හෝ තත්වයන් කොච්චර සුන්දරද කියලා විතරක් නෙවේ, මොනතරම් දේවල් අපට හිතන්න හැකි ජීවිත නාටක අන්දරයක්ද කියලා. ඒ දේවල් සොයා ගැනීමට සහ ග්‍රහණය කර ගැනීමට පොදු අවකාශය නිරීක්ෂණය කිරීම නැවත නැවතත් වීදි බැසීමට එයා පොළඹලා තියනවා කියලත් කියනවා.

ඒ කතාව එයාගේ ඡායාරූපවලින් තව දුරටත් අපට සාධනය වෙනවා. මේ එයාගේ අවකාශයෙන් අහුලාගත් ඡායාරූපයක්. ජර්මනිය කියන්නේ ශක්තිය ගැන විශ්වාසය වැඩිපුර හිතන සහ එහෙම කරපු රටක් කියලා අපි දන්නවා. ඒ මිනිස්සු අතරින්ම නිර්මාණය වුන බිහිසුනු යුද්ධ ගැනත් අපි කියවලා තියනවා. මේ ඡායාරූපයේ අපට පේනවා තමන්ට අවනත නැති විශාල බර ටයරයක් තවත් තැනකට ගෙන යාමට බරක් සමග හැප්පෙන මැදිවියේ පිරිමියෙක්. එයා ඒක කරන්නේ පදික වේදිකාවක. ඊට මෙහා පැත්තේ මැදිවිය ඉක්මන්න කිට්ටු කාන්තාවක් පිරිමියාගේ ශක්තියට අඩු වෑයමිකින් සැහැල්ලු බරක් තියන කරත්තයක් තල්ලු කරන් යනවා වගේ පේනවා. නමුත් කරත්තයකට වඩා අත්වාරුවකින් යනවා කියන සංකල්පයත් නිවැරදියි. මොකද සාමාන්‍යයෙන් කරත්තයක් තල්ලු කරනවානම් බෑග් එක අමාරුවෙන් අතේ එල්ලන් ගෙනියන්න හේතුවක් නැහැ. ඇගේ මුහුනෙහිත් ශක්තිය යෙදවීමේ ප්‍රීතියකට වඩා තියෙන්නේ අපහසුතාවයක්.

   එයාගේ අතේ බෑග් කැල්ලක් පේනවා. ඒකත් රතුයි. පිරිමි චරිතයේ කමිසයත් රතුයි. පසුපසින් තියන මාර්ගබාදක කණුවත් රතුයි.  පිරිමි චරිතයේ හිසට උඩිනුත් රතු වර්ණයේ තීරු කෑලි තුනක් පේනවා. රතු කියන්නේ වේගයෙන් කඩාගෙන මනසට යන පාටක්. ඒ රතුපාටට කේන්ද්‍රවෙලා ශිල්පියාගේ ප්‍රධාන අරමුණ අපට මතුවෙලා පේනවා. පසුබිම පාරවල් සහ වෙළඳසැල් වගේ පෙනුනත් වාහනයක් හෝ මිනිසෙක් දකින්න නැහැ. ඒ කියන්නේ තවදුරටත් අරමුණ ඡායාරූපයේ ගතික කේන්ද්‍රය බවට පත්වෙලා. අහම්බෙන් වස්තු සංවිධානය උනත් මේ පුද්ගල චරිත දෙක අතර භෞතික සංනිවේදනයක් නැති බව පේනවා. නමුත් අනිවාර්යෙන්ම ශිල්පියා දැකලා තියනවා ශ්‍රමශක්තිය සම්බන්ධ විශ්වීය සන්නි වේදනයක් මේ ගැහැණු රූපය සහ පිරිමි රූපය අතර තියනවා කියලා. ක්ෂණිකවම ඔහු ක්‍රියාත්මක වෙලා තියෙන්නේ එයාගේ ලෝකය බලන පලපුරුද්ද සහ ඡායාරූපකරණ අභ්‍යාසවල පරිණත බව නිසා කියන එකත් මතුවෙනවා. 

  සමාජක්‍රමය විකාශනය වෙද්දි ගැහැනියට සැහැල්ලු බර සහ පිරිමියාට බරපතල බර කතන්දරයත් ඔළුවට එනවා. ඇත්තටම වාරුවෙන් යන කාන්තාවක් සහ ශක්තියෙන් ක්‍රියාත්මක වෙන පුරුෂයෙක් කියන පැත්තෙන් හිතීම දිග්ගැස්සෙනවා. ශ්‍රම ශක්තිය යොදා තම ගමනාන්තය ගැන කල්පනාවක් විනා කිසිදු වෙනත් අරමුණක් ඒ දෙදෙනාගෙන් මතු කරගත නොහැකියි. ඒත් ගමනාන්තයේ ඔවුන්ගේ සතුට රසිකයාගේ සතුටේ කූටප්‍රාප්තියක් බවට පත්වෙනවා. රතුපාට වර්ණ චතුරශ්‍රයෙන් පිටුපස ඈත නිල්පාට වර්ණ චතුරශ්‍රයක් දැකීමෙන් අරමුණට ඉඩ දෙමින් පසුබිම තවත් වර්ණ අන්තරයෙන් අපේ ඇස් වලින් පස්සට යනවා.

කලු සුදු වලින් වීදි ඡායාරූපයක් ගන්නකොට එළිය අඳුර ගැන සිතීම යම් විදිහකට පහසුවක් උනත් වර්ණ වලින් වීදි ඡායාරූපයක් ගැනීමේදී නිර්මාණය සාර්ථක වීමට වර්ණ සංයෝජනය සහ වර්ණ විභේදනය වර්ණ උෂ්නත්වය වැනි බරපතල කාරණා සම්බන්ධව සතත අභ්‍යාසයක ශිල්පියා යෙදී තිබිය යුතුමයි. එහෙම නොකළොත් වර්ණ සමග ක්ෂණිකව සෙල්ලම් දැමීම පහසු වෙන්නේ නැහැ. ඒ පුහුණුවට තනියම කැප කිරීම් නොකළොත් අර ආධුනික ශිල්පියෝ වගේ වීදි ඡායාරූප කියලා බාල වර්ගයේ ප්‍රවෘත්ති ඡායාරූප වගේ ඒවා විතරයි වීදි නිර්මාණ කියලා කළ හැකි වන්නේ.

වීදි ඡායාරූපකරණය කියන්නේ සිදුවීමක් වාර්තා  කිරීම නෙවේ. ඒ සිදුවීම ඇතුලේ තියන විශ්වීයත්වයෙන් යමක් අපේ මනසේ කැටයම් කරල අපේ ජීවිතයට පෙම්බන්දන වැඩක්. පෝන් කැමරාවක් හරි අතේ තියන අය මේ ගැන හිතුවොත් බස්එක නියම වෙලාවට නොඑන එකට සාප කරනවාට වඩා තව ටිකක් පරක්කු වෙලා ආවනම් මරු කියල හිතන්න ගනීවි. අහඹුව සහ අනිවාර්ය කියන නියමය සහ ශිල්පියාගේ ඡායාරූපකරණය ගැන ඇති පරිනත දැනුමත් සතත අභ්‍යාසයත් සියල්ල එකතුවෙලා තමා වීදි ඡායාරූප කළා කෘතියක් නිර්මානය වෙන්නේ. ස්වභාවයේ සැකසුමක් නිසා විශ්මිත වෙනවා විතරක් නෙවේ ශිල්පියාවද අමුතුම වීරයෙක් විදිහට පේන්න ගන්නවා. වීදි ඡායාරූප කරණය කියන්නේ වීදියේ විතරක් කරන වැඩක් නෙවේ. ඒ ඡායාරූප ශිල්පියේ එක් ශානරයකට යෙදුන නමක්.

Jagath Marasinghe

18 08 2022



Powered by Blogger.