යුගයක දේශපාලන වීදි ආලෝක සක්විති (Ajith Senevirathna)

           යුගයක දේශපාලන වීදි ආලෝක සක්විති

අජිත්ගේ මේ ඡායාරූපය දැකි විට මට සිහිවූයේ මඩවල එස් රත්නායකගේ නිල්මහනෙල් මල් පිපුණා යන ගීතයයි. අසූව දශකයේ මේ කාලයේ අපි ගැටවර කොල්ලෝය. අප සිතුවේ මේ සේකරගේ පද සංකල්පනාවක් කියාය. නමුදු ඒ මඩවල එස් රත්නායකගේය. යම් යම් දේශපාලන වියවුල් මඩවලයන් සමග තරුණ ගැටවරයන්ට ඇති නමුදු මඩවලවලයන්ව අමතක කළ නොහැකි ආදර කතා බොහෝය. අජිත් සෙනෙවිරත්න නැමති ජායාරූප ශිල්පියා ගැන කියනවානම් මේ ගීතය මා පළමුව සටහන් කළ යුතුමයි යන්න මා සිත නැමති නායකයා කියා සිටිනවාය.

නිල් මහනෙල් මල් පිපුණා

නොත් සැදුණා ඒ අනුගාමී

නළල ඇගේ අඩ සඳවාගේ

මිහිරි නොවෙද හදවත කාගේ

‍මුතු ඇට මෙන් දත් පෙළ සුදිලේ

සිනහා නැගේ දත් වල කැල්මේ

ඇයගෙ දෙපා ළඟ මහද තැවේ

එපමණි මා ලද එකම සුවේ

දිගින් දිගට කාලය ගෙවුණා

මල් වැරුණා මංගල උයනේ

ලස්සන කෝ කොයි අතද ගියේ

තනිවිය මා තරු ගිලුණු රැයේ

සතුට සැපත නැතිවී නැතිවී

අඳුරු වුණා මල් බර ජීවේ

තනිකම මා වට පැතිර සැදේ

වීණා සත්සර  මිහිර බිඳේ

පිසදාලා තනිකම ලෝකේ

ලොව නැහැවූ සුගතිය ජලයේ

බුදු හිමි මම ඔබ හමුව ලොවේ

සටනට එන්නෙමි රැයෙද දෙවේ

නිල් මහනෙල් මල් පිපුණා

මේ ගීතය ලිව්වේ මඩවල එස් රත්නායකයන්. පද තාල ලියා ගැයුවේ අමර දේවයන්. අපේ ගැටවර වියේ මේ ගීතය  දැනුණේ අපේ ආදර සම්බන්ධතාවලට පමණක් කීවොත් ඒක වැරදියි වගේ දැනෙනවා. අපේ ජීවිතයේ සකල ආදරයන්ට පපුවෙන්ම දැණුනා.

ඉතින් එවැනි පසුබිමක නිර්මාණය වූ  80 දශකයේ එක් චරිතයක් වන් මාරස අජිත්ගේ මේ ඡායාරූපය දැක්ක ගමන් වැදුනා. හරියට හදවතින් කෑල්ලක් කඩාවැටුනා වගේ. හුස්ම හිරවෙනවාද කියන කතන්දරය මඩවලයන් කියලා අමරදේවයන් ගයලා තියෙනවානේ. මේ තියෙන්නේ. අපේ ජාතික පුෂ්පය මානෙල් ද නිල් මානෙල් ද?, යන්න අජිත්ගේ ඡායාරූපයට මාරසට අදාල නැහැ. නිල් මහනෙල් මලට පසුබිමේ දැවැන්ත ඒ කාලවර්ණ ස්ත්‍රිය නිල් මහනෙල් මලක් මෙන් අපට පෙනෙන්නේ වෙනම භාව වියෝජන කෝණයකින්.

අජිත් කියන්නේ ඉහල පංතියක සිට හෝ මැද පංතියක සිට වීදි ඡායාරූප ගහන්න ආපු මිනිසෙක් නොවේ. මොකද ඒකා ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒ දිසාවේ උන්ට මැද පන්ති පහල පන්ති ඉහල පන්ති නැත්තේ අර දොම්පේ සහ අත්තනගල්ල සහ දැදිගම වලව් සංස්කෘතියේ විවිධ ගොයිගම සනුහර රාජ්‍ය බලය තහවුරු කර ගෙන ලාංකේය පාලනය කාලයක් තිස්සේ කරගෙන ගිය නිසාද තාමත් බලපෑම් කරන්න හැකි සහ එසේ කරන තත්ත්වයක් තියන නිසාද යන්න වෙනම ලියන්න වෙන කාරණයක්. කොහොම නමුත් කොළඹට වඩා න්‍යායිකව වැදගත් ලංකාවම ගමක් වූ රටක ගම්පහ. ඒකට හේතුව ගම්පහ ප්‍රධාන නගරය උනාට වැදගත් නිගම්බු හෙවත් මීගමුව. ඒ පුංචි රෝමය නිසා. ඒ කියන්නේ සුද්දා කියලා අප කියන පරංගින් නිසා. ඒක එසේ නොවුනානම් පරංගි මාක්ස්වාදීන් කියල තවත් සමාජ ප්‍රවණතා දේශපාලනික කට්ටියක්ව වර්ග කරන්නත් මාරසට ගායක් තියෙන්න විදිහක් නැහැ. අනික කොළඹ යාපනය ගාල්ල කෑගල්ල නුවර  යන පලාත් විද්වතුන් බුද්ධිමය කලාප වශයෙන් කතා කරනකොට කිසිසේත්ම ගම්පහ අමතක කළ නොහැකියි. ඒකේ ඉතිහාසය හොයන්න ගියොත් අභයගිරියේ සීමාවේ අවසානය කෑරගලට පැමිණි හංසයාද ගැන වනන්න විදිහක් නැහැ

 බුද්ධිමය දිස්ත්‍රික්කයක් කියලා  කෙලින්ම ගම්පහ බෙම්මුල්ලේ සිට වීදියෙන්ම ආපු මිනිහෙක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමා අභයගිරිය අවසාන වෙන්නේ. අභයගිරියට අප මොකක්දෝ ආදරය ගැන හොයන 80 කොල්ලන් කෙල්ලන් ආස වුනේ ඒ අපේ පපුවල තියන විප්ලවවාදී සැබෑව නිසාම මිසක් වෙන කෙහෙල් මලකට නෙවේ. නැතිනම් අපි ආස වෙන්නේ නියඟලා මලට. ඒ වගේම කළුතරින් කෑස්බෑව හරියෙන් අවසාන වෙන කොළඹ ගැන කියන්න වෙන්නෙත්. ඒ කෑරගල පිරිවෙනින් කියලත් කතා කරනු හැකියි. පසු කාලයක පරණවිතානයන් ගුරු වෘතියේ යෙදුන උඩුගම්පල මහා විද්‍යාලය වැදගත් වෙන්නේ දයානන්ද ගුණවර්ධන හැමදාම හොයපු අතුරු කතාවක උනත් කියන උඩුගම්පල සකල කලා වල්ලබගේ රාජධානියේ තිබ්බ කලාත්මක ඉව වෙන්න ඇති. අර සුජිත් අක්කරවත්ත කියනවාමෙන් අභයගිරියේ අවසාන නැවතුමක් මෙන් දැකිය හැකි කෑරගල පිරිවෙනේ සුවඳ තවමත් විහිදෙනවා ඇති. කෑරගල පිරිවෙන ගැන කියනකොට හංස සන්දේශය අමතක කළ නොහැකියි. මාරසට දැනට ජීවත්වෙන සංදේශ කාව්‍ය විද්වතා කේ තිලකසිරි ගාවට ගිහින් ඒ ගැන අහන්න හිතෙනවා. සංදේශ කාව්‍යය සහ දේශපාලනය ගැන කාරනා මතුකරපු ඒ විද්වතාව සිංහල විෂයක් විදිහට කරපු කවුරු අමතක කලත් ගණිතය විෂයක් විදිහට කරපු මාරසලටනම් අමතක නැහැ.

“කුළින් කුළම සිහිලඹ වැහෙන                කඳුරුය

දොළින් දොළම කල්යල් කරන             කුඹුරුය

පළින් පළම තල්පොල් ගෙවතු               මැදුරුය

තළින් තළම පුල් පියුමු පුල                   පඬෙරුය”

කොහොම උනත් බෙම්මුල්ලෙන් අත් දෙක වන වනා එළියට බැහැලා ඇත්තේ සැබෑ වාමාංශික හෘර්දශාක්ෂියක් සමග  කැමරාව කරට ගත්ත අජිත් සෙනෙවිරත්නයා අද මාධ්‍ය ඡායාරූප ශිල්පියෙක් වශයෙන් වෘතිය ගමනක් යනවා. නමතු ඒකා වාමාංශිකයෙක්. තමන්ගේ වෘතිය පටන් අරන් තියෙන්නේ සිරාලාගේ කාලයේ ඇත්තේ පොඩි කොල්ලෙකු විදිහට කිව්වත් වරදක් නැහැ. ඒ කාලයේ සිරාලා හෙවත් සිරිලාල් කොඩිකාරලාගේ සුවඳ දැණුන කිසිවෙකුට මාක්ස්වාදී බලකොටුවෙන් එලියට යන්න පිටවීම දොරටු නැහැ තමා. යූනුස්ලගේ කාටුන් වලින් ආ සැබෑ දේශපාලනික රූප විඳපු උන් කොහොමද දේශපාලන ඡායාරූප නොගහ වෙනත් ශානරයකට තනි බෙදුම් රේඛාවකින් මාරවෙන්නේ.

      ඊට පසු පත්තර කීපයක මාධ්‍ය ඡායාරූප ශිල්පියෙකු විදිහට වැඩ කළත් වැදගත්ම සාධකය වන්නේ ඒකාට වාමංශික අදහස් වලින් පිට පනින්න ඒකාගේ හදවතේ ඇති විලංගුවයි. අර කතාවක් තියනවා වාමාංශික බලකොටුවට තියෙන්නේ ඇතුළු වීමේ දොරටු විතරයි කියලා. පිටත් වීමේ දොරටු නැහැ කියලා. ඒ අතර සිරවෙලා සිටින නිසා මේකාගේ ඡායාරූප වර්ගීකරණය කරන්න අපහසුයි. ඒක එහෙම තමා. සමහර මහා ඡායාරූප බුදුවරුන්ගෙත් ඡායාරූප වර්ග කළ නොහැකියි. ඒ ගැන වෙනම ලියන්නම්. පුස්ථකාල පොත් වර්ගීකරණය කරන්න විවිධ වර්ගීකරන ක්‍රම තියනවා. අප ලංකේය ග්‍රන්ථ වර්ගීකරණ සම්ප්‍රධාය ඩිවි දශම වර්ගීකරණය. නමුදු ඡායාරූප ලෝකයේම වර්ගීකරණයට ලක්කිරීම අපහසුයි. නමුදු දුහුනන් දැනුම් සඳහා ඒ කළ යුතු වුවත් මාධ්‍ය ඡායාරූප ශිල්පියෙකුගේ ඡායාරූප සහ වීදි ඡායාරූප වර්ගීකරණය කිරීම ගොඩක් අපහසුයි. හරියට අර අම්මටද වැඩිය ආදරේ නැතිනම් ආදරවන්තියටද කියන කතන්දරය වගේ දෙයක්. ඒත් කුමක් හෝ වර්ගීකරණයකට ලක්කරන්නේ නැතිව අනාගතයේ තොරාගැනීම් සඳහා රාක්කයකට දමන්න බැහැ. ඒ වගේම අජිත් කියන්නේ මහපොළවේ කාචයක්. මාරස පරපුර වන 80 පරපුර ගැන දීප්තියා සර්පයා සිරිමලා වගේ  නම්වශයෙන් කියන්න අවැසි නැහැ. ඊට පසුපරපුරක් ඛණ්ඩණය වෙනවා. 1971 උපන් අජිත් ඇවිත් මංජුල සනත් බාලසූරියලගේ පරපුර විදිහට දිගට ලියන්නත් හැකියි.

උඹගේ ඡායාරූප මාරස කෙලින්ම කියනවා වර්ගීකරණය නොහැකියි කියා. නමුත් මේ ඡායාරූපය කෙලින්ම අහම්භයක්. කේන්ද්‍රීය ගැහැනු රූපය සුදුවන්. ඒ සමගම මොකද්ද බිත්ති ලිපියක්. ඒකත් සුදුයි.සම්පූර්ණ ඡායාරූපයෙන්ම තුනෙන් දෙකක්ම නිල්. මල්වට්ටිය සහ ප්‍රධාන අරමුණු කාන්තා රූපය වමේ ඈතින් පේන කඩය විතරක් නෙවේ ඒ අසල සිටින අයගේ යටි කයත් ජලාසයත් නිල් වර්ණයේ ප්‍රභේද. මල් කූඩය යට තියන හඳුන්කූරු වන් පෙට්ටි වලත් නිල් වර්ණය. නිල් කියන්නේ වේදනාවේ වර්ණයක්. ඒ වර්ණයටම අදාලව දකුණේ ඇති බේසමේ සිට පරිසරය ලා කොල වෙලා. කොළ කියන්නේ බලාපොරොත්තුවේ ජීවනයේ අරුත් පණ ගන්වන වර්ණය.  අහම්බයක අරුමය. ඒ නුඹේ ආලෝක වර්ණ සංයෝග පිහිටුමේ දෛවය වගේ දෙයක්. අනික අර ස්ට්‍රීව් මැකුරිගේ ඡායාරූප වලට පොදුවේ ඇස් තමා කේන්ද්‍රීය වෙන්නේ. ඒ වගේ මෙතන මුළු ඡායාරූපයේම බල කේන්ද්‍රය වෙලා තියෙන්නේ ඒ සතුටින සිනහවන කාන්තා අරමුණේ සිනහව. දකුනේ දතක් නැතිව රසික බැල්මට අඩුවක් තියනවා. ඉතින් මුළු ඡායාරූපයම වදින්නේ සුදුපාට කේන්ද්‍රකරගත් සීලවන්ත මානසිකත්වයකින්. නමුත් දූපත් මානසිකත්වයට හරියන්න එක දතක එලිය අඳුර අඩුව පේන්නේ අඩුව හොයනකොට. නියමයි අහඹුව අනිවාර්ය වීම. ඒක නිසා තමා මේක වීදි ගැන ලියන යුගයක වීදියට දාලා වීදියේ කැමරාකාරයා ගැන කතා කරන්න මාරසට මගක් පේන්න ගන්නේ.  ඒකට කියන්නේ කලාවේ විශ්ව ව්‍යාප්තිය කියලායි. නමුත් ට්රොස්කිවාදීන් කියන අයගෙන් ඊට ප්‍රතිවිරෝධී මත තියනවා කියලා මාරස නොදන්නවා නොවේ. ඒ පැත්තත් මේ පැත්තත් සම්බන්ධ කරන්න තරම් දිග ලිපියක් මාරස බ්ලොග් අඩවියෙන් කළ හැකි දෙයක් නොවේ. කරන්න පුලුවන් මාධ්‍යක් ප්‍රාග්ධනය සමග ලැබුන විට කරමු. නමුත් අජිත් නුඹ බොහීමියන් මගුලක් නෙවේ. නුඹ විප්ලවීය මගුලකුත් නොවේ. නුඹ කැමරාවෙන් ජීවිත ගත්ත එකෙක් විදිහට මාරස දකින්නේ නැහැ. උඹ ජීවිතයෙන් කැමරාව ගත්තේ. මම දන්නවා කෝස් බෝස් කිසිත් නැතිව අර විප්ලවීය ආවේගයෙන් පාරට පැන්නා. පස්සේ ඒකෙන්ම වෘත්තියට පාරට පැන්නා. කෙනෙකුට සල්ලාලයෙක්  පාදඩයෙක් විදිහට ඉන්නවා වගේ පෙනෙයි. නමුදු නුඹගේ ආදරියට හෝ ආදරියන්ට සහ සැබෑ සහෘදයන්ට එසේ නොපෙනෙනවානම්  ඒ ගණන් ගත යුතු දෙයක් නොවන බව ඇත්තක්. උඹට පොටෝ ගහනකොට ඒක ස්ට්‍රීට්ද අරකද මේකද කිසිත් අවැසි නැහැ. ළඟ ඉන්න එකා අඬලා ගෙදර යනවානම් උඹත් කැමරාව පසකලා ඌත් එක්ක ගෙදර යනවා. කැමරාවට හෝ කැමරාකරණයට දොස් කිව්වොත් ආදරවන්තියවත් අතහැර ෂොට් එකක් දමා ගෙදර යනවා. ඒත් කිසිදා මාක්ස්වාදය සහ විප්ලවවාදය උඹේ හදවතින් අතඅරින්න බැහැ. සමහර තැන් වලදි මාරස ඊට විරුද්ධ නමුත් මාරසට ඉන්ද්‍රඛීල වන් සැබෑ අවංක මාක්ස්වාදීන්ව වෙනස් කරන්න බැහැ කියලා දන්නවා. ඒක කරන්න පුළුවන්නම් මාරස සිරීපාදය උස්සන් ඇවිත් කොළඹින් තියනවා. ඒ වගේම තමා මචන් ගහපු ඡායාරූපයක් නැවත කිසිදා වෙනස් කළ නොහැකිය. උඹ අපේ පරපුරට කෙස්සක් තරම් පසු පරපුරක සැබෑ ඇහැක්. ඒක මට මතකයි මංජුල වෙඩිවර්ධනයා අසම්මත පද රැලකින් ලියා තිබෙනවා. අජිත්  සෙනෙවිරත්න දකින ආලෝකයේ ප්‍රභවයන් කියන්නේ මාරසට මාර විදිහට ආදරය කරන්න හිතෙන කාරණයක් නිසා අනෙකුන් සමග ඒ ආදරය බෙදා ගැනීමට මාරස මේක ලියාගෙන ලියාගෙන යන්න ඇති. බුදුනුත්, කාල් මාක්ස්ලා සහ මුළු මිනිස් පරපුරම දැකපු සූර්යාලෝකය මාරයි. නිව්ටන්ලා අයිනස්ටයන්ලා ඒවා ගැන කතාකරන අයුරුත් මාරයි. ඊට පසු දාර්ශණිකයෝත් ඒ සියල්ලන්ටම පෙර අතීත ඉර්ෂිවරුන් කියන ප්‍රාණාත්මක දැණුමක් ඇත්තා වූ අයත් දැකපු හැටි ඊටත් වඩා යුගයට සාපේක්ෂකව මාරයි. ඉතින් අජිත් සෙනෙවිරත්නගේ ආලෝක දඩයම් මිනිස්සුන්ට තමන්ටම ආදරය කරන්න ආරාධනයක් වගේ. කලාව පැත්තක තිබ්බත්  පරපුරක සහෝදරයෙකුට ආදරෙයි කියල කියන්න අවශ්‍ය වෙන වෙලාවක් මේ නිමේෂය. කැමරාව පැත්තකින් තිබ්බත් ආලෝකය අමතක කරන්න එපා මචං.

ජගත් මාරසිංහ

07 09 2022

 



Powered by Blogger.