"ආලෝක දඩයමේ ජනපද ජනපද කල්‍යාණියෝ "

                              "ආලෝක දඩයමේ ජනපද ජනපද කල්‍යාණියෝ "


වෙළඳ ඡායාරූප ඔබ දැක තිබෙනවා නියතය. නමුදු සමහර කාලන්තරයන්හි ඒවාගේද සමහර මහා චින්තන බරක් ගත් ඡායාරූප තිබේ. හරියටම අර චින්තන ධර්මදාසගේ ලිපි මෙනි. ඒකා කඩාබිඳදමා නැවත ලෝකය ගොඩ නගන්නට ලියන්නේ මාර වෙළඳ ඇහැකිනි. ඒ, ඒ පරපුරේ ඒකාලාගේ හැටිය. නමුදු ඒකලා ලිවීමටද දක්ෂය. මොකක්දෝ කියන්නට තතන්නේය. තටමනවා නොව මා කීවේ තතනවා කියාය. මේ ඡායාරූපය වර්ගීකිරීමට ඇති සරලම වචනය වෙළඳ ජායාරූපකරණයේ අරමුණක් නැති වෙනත් දෙයක් සොයන්නා සේ පේන දෙයකි. බැලූ බැල්මට සරලය. නමුදු සංඥාවාදය ගැන නොදන්නා ඇත්තෝ හිටි සැනින් කොහේදෝ හෝ අතරමං වෙනු නියතය. ඒ අතරමං වීමේ මූලික ලක්ෂයට කළනයේ මෙන් ආසන්න ලක්ෂ්ය පෙන්වන්නේ කාන්තා දෙපා වල කලවා කොටසය. වෙළඳ දැන්වීම්කරණයේ මාරම දෙයක් කළා සේ මතකයේ තිබෙන්නේ ගාමිණී සපරමාදු යන අති දක්ෂ ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද බ්රිස්ටල් සහ අනෙකුත සිගරට් ඇඩ්ය. සිගරට් නොබොන කෙල්ලන්ගේ දඟකාරත්වය සිගරට් වලට සංඥාකරණය කරන්නේ කෙසේද? සංඥා විදිවේදයන්ගෙන් විසඳා ගත යුත්තේ මේ තත්වයන් මාක්ස්වාදයෙන් සහ බෞද්ධ හෝ අන් සියල්ලෙන් වෙන් වුවද දේශපාලනිකව වෙළඳ ඡායාරූප ශිල්පීන් ජයගත් ආලෝක දඩයම මාක්ස්වාදී දේශපාලනය කරන්නා වූ අති දක්ෂ කැමරා ශිල්පීන්ගෙන් ගිලිහී ගියේ කුමන නම් අපලයක් නිසාද යන්නය. කතා දෙකක් නැත. ඒ ලිංගිකත්වයට ඇති ථේරවාදී සංස්කෘතියෙන් නැතිනම් පරංගි වික්ටෝරියා විපරිතයෙන් නිපන් බිය වීමට හැකිය. ථේරවාදී බෞද්ධ සම්ප්රධායට නැති බියක් මාක්ස්වාදී කුලකයන්ට බද්ධ වූයේ ‌කිනම් නම් ශූන්යතාවයකින්ද?
මේ ඡායාරූපය Kasun Shanaka Photography Commercial and Fashion Photographer | Sri Lanka | Colombo යන පිටුවක තිබී මට හමුවූයේ සයිබර් රස්තියාදුවක යන ගමනකදීය. ඒද ආලෝක දඩයමේ වෙනම ශානරයකි. කාන්තා කළවා සහ අඩ නිරුවත පිරිමින්ට වදිනවා සේ පෙනී ගියද වයසක ස්ත්රී උන්දලාටද වදිනා බව මාරස අත්දැකීමෙන් දන්නේය. කෙසේ හෝ අප ඔබ සැමගේ මනස විච්චේදනය කරන මාධ්ය සංස්කෘතියේ ප්රධානම බිලී කොක්ක වන්නේ වෙළඳ දැන්වීම් ආලෝක දඩයම වන්නේමය. නමුත් ඒ දේශපාලන කාරනා නිසා ඒ ආලෝක දඩයම් වල කලාව නැත්තාම නොවන්නේය. එසේනම් පන්සල් වල බිත්ති වල තිබූ පටාචාරාවන්ලාගේ නිරුවත අපේ මනසේ පැලපදියම් වීමට කිසිසේත්ම නොහැක. සීගිරියේ කාශ්යප රජුගේ ආලකමන්දාව අපට වැදගත්වන්නේ ඒ අඩනිරුවත් පියවුරුය. අර වරක් ලාංකේය විශිෂ්ට නග්න ඡායාරූප ශිල්පියෙක් වූ දොස්තර වීරකෝන් කීවාක් මෙන් සීගිරි ලලනාවන් පියවුරු එලියේ දමා ඉන්නේ ළදරුවන්ට කිරි උරා බීමේ සංඥාවෙන් නොවන්නේමය. ඡායාරූප ශානරයෝ සාහිත්යට වඩා ඉදිරියට යනවා සේය. ඒ අන්දෙයක් නිසා නොව ආලෝකයෙන් දඩයම් කර අන් මාධ්ය වලට සන්නිවේදනය වීමට වඩා කෙලින්ම කැමරාවෙන් කිරීම පහසු නිසා වන්නට පුළුවන. නමුදු ඒ සඳහා ඇවැසි ඉව හෙවත් සැබෑ මනුෂ්ය චිත්තාවට ඇස් පරයා සංවේදනා බලපානවාය. ඒ වනාහී භාවනාවක්ම වන්නේය. ඒ ආලෝක භාවනාවමය. ආලෝකය නැති තැනක අඳුර පමණක් ඉතිරි වන්නේය. අඳුරේ තරම් ආලෝකයක් අන් කිසි තැනක නැති බව විඤ්ඤාණයට වැටහෙනු ඇත. නමුදු එහි අවසන බුද්ධත්වයම වන්නා සේය. බුදුනුවන් දෙසා වදාරා ඇතැයි කියන නන්ද කුමාර කතා වස්තුව සිහිවෙනවා.
"නන්ද ස්වාමීන් වහන්සේගේ සිත ඒ දිව්ය අප්සරාවන් කෙරෙහි මුලුමනින්ම වසඟ වුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයෙමත් නන්ද ස්වාමීන් වහන්සේගේ අතින් අල්ලා ගත්තා. වේළුවනාරාමයෙහි පහළ වුනා. නන්ද ස්වාමීන් වහන්සේ දෑස් ලොකු කර ගෙන බුදුරජාණන් වහන්සේ දිහා ඇස් පිය නොහෙළා බලා සිටියා."

ඒ අතීතයක බණ කතාවක්ම කියන්න බැහැ. මොකද තාක්ෂණයෙන් මාර විදිහට දියුනු ඡායාරූප ලෝකයක විරූපී කතක් වුවත් ජනපද කල්ල්යානියක් කරන්නට යන්නේ තප්පරයෙන් පංගුවයි. ඒවා ඇඩ්වටයිසින් කල්ට් එකේ පදත් සමග සංවර්ධනව වූ විට නියඟලා අළත් අමෘතය මෙන් පේන්වන්න උන් දක්ෂයි.
www.jagathmarasinghe.com
14 09 2022


Powered by Blogger.