[සර්ප නයා සහ උපතේ හැපින්නියෝ ] Birth of the Serpent-kk SAMAN

[සර්ප නයා සහ උපතේ හැපින්නියෝ ]




මා මේ ලියන්න යන්නේ සර්පයෙකුගේ උපන්දිනය වෙනුවෙන්ය. සර්පයෙකුගේ හෘර්දශාක්ෂියත් මාරයාගේ හෘර්ද ශාක්ෂියත් අතර කිසිදු සම්බන්ධතාවක් කිසිදා ඇති නොවනු ඇත. මා මෙතන සර්පයා කීවේ කෙලින්ම කේ කේ සමන්ට නොව සර්ප ආත්මයටය. ඒ ආත්මය සැමදා සෑම මිනිසෙකු තුළම තිබෙනවා යන්නද දැණුමකි, සංකල්පයකි. මාරයාද එසේමය. මාරයා යනු ඇතිවීම නැතිවීම පවත්වාගෙන යාම සම්බන්දව වේදයේ විෂ්ණු, බ්රහ්ම, ඊශ්වර සංකල්පයේ ඇතිවීම, නැතිවීම. විනාශවීමේ සැබෑවමය. සර්ප සංකල්පය මේ තුනේම ජීවත් වන බව විමසිල්ලෙන් අතීත සංකල්පයෝ ගැන සිතන විට පෙනී යයි. ඒ ලිංගිකත්වය හෙවත් සෙක්ස්ය. ලිංගිකත්වයේ ප්රභේද ගැන වා, සෙම්, පිත් ලෙස ආසියානු කලාපයෙන් විග්රහකරන්නට ගියහොත් නැගෙනහිර දේශයේ පුටින්ගේ වා හෙවත් වාතය කැලඹීම අති සාමාන්යය. නමුදු ලෝකයම විෂම බවට පත් වී තිබේ. ඒ වෙනම ලිවිය යුතු කාරණයකි. විෂම ලිංගිකත්වය ගත්තද සම ලිංගිකත්වය ගත්තද මේ සංකල්ප මානූෂීය අර්ධයකින් තාක්ෂණික ඩිල්ඩෝ වලටද සැබෑවකි. කේ කේ සර්පයා මොකක්දෝ මලගෙදරක සිට ඇදගත් පරණ වලියක් සම්බන්ධ තර්කයක් මා ඊ පවුරේ දුටිමි. ඒ වලියේ පුද්ගලිකත්වයේ ගැටලුවක් ඇති නිසා මාරසට කියන්නට දෙයක් ඇත්තේම නැත. නමුදු සර්පයින් කීදේ කරනවා නියතය. මේ මොහොතේ ආසියාවේ ආධ්යාත්මික දේශපාලනයට පමණක් නොව යුරෝපියන් දේශපාලනයටද බලපෑමක් කරන මහා ඉර්ෂි වරයෙකු දේශනා කරන්නේ සර්පයන්ගේ ආධ්යාත්මික ශක්තිය මාර බවය. ලෝකයේ ඕනෑම තැනක සර්පයෙකුගේ අති සංවේදනය ලෝකයේ ඕනෑම තැනක සර්පයන්ට සංනිවේදනය වන වග ඔහු කියයි. සර්පයෙකු සමග සටන්වැද කියන පොත ලිවූ කාලයේ සර්පයාව උඩ දැම්මේ එදා විකොස හෙවත් විප්ලවවාදී කොමිනියුස්ට් සංගමය බව මා දන්නේ ඒ දේශපාලන කතන්දරයේ ට්රොස්කිවාදී අනුගාමියෙක් ලෙස නොවන බව දන්නෝ දනිත්. නමුදු උනගේ දේශපාලන විග්රහයන්ට මා පක්ෂපාතීය. ඉන් නිපන් කලාව සම්බන්ධ විචාරයන් අර නලින්ද සිල්වා භෞතිකවාදී දෘෂ්ටියට කී දේවල් කුඩුකර දමන්නට හදන විකාරය ලෙසම මට පෙනේ. ඒ කුඩුකර දැමීමේ මානසිකත්වය මායා කතා වැනිය. මායාකාරියගේ ඉන්ද්රඛීලය කවුරුන්හෝ භෞතිකව කුඩුකර දමයි. විරාමයකින් නැවත නව දෘෂ්ටියකින් ඒකම මතුවෙනවාය. ඒ ස්වභාවයේ හැටිය. සිද්ධාර්තයෝ මේ දේවල් එතනම තියා වෙන ඉසව්වකින් ඒ සම්බන්ධව දැනුවත් වූවා සේය. නමුදු මහාවීරයෝ ඒ මතම මිනිසුන්ගේ තලයෙන්ම පිළිතුරු දෙන්නට වී අවසානයේ සිය ඇඳුම් පැළඳුම්ද ගලවා දමාගෙන නිරුවත් විය. සර්පයා ගේ උපත ගැන ලිවීමට මේ කාල කතන්දරය ප්රමාණවත්ය.
සර්පයා ගැන මාරස ජ්යෝතිෂයෙන්ද "ස්ත්රිය ලිංගිකත්වය ග්රහචාරය" කියා පොතක් ලිව්වේය. ඒ කිසිවෙකුගේ විචාර නැති පොතකි. අවිචාරව හෝ විචාර දෙනකන් බලා සිටියේද නැත බලා සිටින්නේද නැත. මිනිසුන් අළුත් දේවල් හදාරනවා කියන්නේ අනාගතය ගැන වර්තමානයේ සිට හැදෑරීමය. ඉතිහාසයයේ තල්ලුව නිසා වර්තමානය නිර්මාණය වූ බව මිනිසා අමතක කරයි. එහෙයින් සියල්ලෝම අතීතකාමයේ බාල යුරෝපියන් කතා කියමින් ජීවත් වේ. ඒ සිතන්නේ නැති මිනිසුන්ගේ හැටිය කියා සිතාගැනීම ප්රමාණවත් බව සැබෑය. අරගලය සහ ගෝටාභයගේ පැමිණීම මාර වුවද ඒ ගැන කිසිත් කියන්නට බැරිව ගොළුවී සිටින උනට කියන්නට තිබෙන්නේ එකම එක කාරණයකි. ඒ අසූව දශකයේ ජවිපේ න්යායන් අනාගත් ආකාරය දැනගත් පශ්චාත් නූතන වාදයට මුල පුරණ ලද තරුණ පිරිසකගේ සැබෑව වරදවා වටහාගැනීමය. ඒවාට වචන දුන්නේද උනුය. ආතල්මා කිතල්වී තවත් යුගයක කේදවාචකයක් ‌දේශපාලන පිටියක් වූ ගාලුමුවදොරින්ම ඉතිහාසයට එක් විය. අපත නාමය නිසා අතහැර දමන ලද පශ්චාත් නූතන වාදී ලාංකේය මුල් යුගයේ සැබෑව දුඛාන්තයක් නොව සුඛාන්තයකි. ඒවා ප්‍රතිවිරෝධීව ජනගත කරන්නට හදන්නේ කර්මයේ ප්‍රතිපලයක් ලෙසය. ඒ සම්බන්ධව සිතන කළ සර්පයා හෙවත් කේ කේ ගේ උපන් දිනය නොව උපත මාරයා දකින්නේ අහසිනි. අහසයි පොළවයි එකක් කියා නොදකින දයලෙක්තිකයන් ගැන කියන්නට තියෙන්නේ ඒවා ඉතිහාසය විසින් නිවැරදි කරනු ඇති බවය. ඉතිහාසයටද එසේ නොකර සිටින්නට බැරි අතීතයේ එසේ වී ඇති නිසාය. ඒ වෙනස අතීතකාමය කියා පැහැර හරින්නන්ට තනිව සිතා උත්තර දීමට කිසිදා නොහැකි වනු ඇත. මන්ද සෑම ක්ෂණයක්ම අතිතයක් බව බුදුණුවන්ද ඉතිහාසයේ සිට ඇති කතන්දරය යාවත්කාලීන කර ඇති නිසාය. මහා වීරගේ භාෂාව මොඩන් කර ඕෂෝ ඒවා කියන ලද ආකාරය මාරය. ඒකා රික්තකයන් අතරින් වුවද මාක්ස්, එංගල්ස්ගේ ආධ්යාත්මික දැනුම හෙවත් ස්ප්රචුවල් රික්තකයන් ගැන සිතා ගැනීමට කිව්වා වූ දේවල් යාන්ත්රික භෞතිකවාදීන්ට කිසිදා සිතාගැනීමට නොහැකි වන බවට තවමද ලෝක දැනුමේ දුහුනකු වන මාරසටනම් දැනේ. එසේ දැනෙන්නේ ලෙනින්ගේ අනුභූතිවාදී විවේචන යන දැනුම සම්බන්ධව මාරස තවමත්වා අවධියෙන් නිසාය. සර්පයා මොක ලීවත් ඒක සෙක්ස්ය. ඒ කියන්නේ බ්රහ්මය (යමක මැවීම හෙවත් ආරම්භය) කියන කතන්දරය දැනෙන කිසිවෙක් නැත්තේ අද බුද්ධිමතුන්ගේ සිතීමේ ඒක මානයක් ලෙසද දැනේ.
කෙසේ උවද සර්පයාගේ ලියවිලි ලාංකේය ඉතිහාසයේ සාහිත්යයේ කිසිදු තැනක සිට පටන් ගත්තේ නැති බව මාරස මතයයි. කෙලින්ම ඒවා ඌටම සින්නක්කරය. ඒකා ඒකාට සිතෙන ලෝකයක එදා සිටම ජීවත් වේ. නමුදු ලෝක සාහිත්යය සහ කලාවේ නවීකරණය වූ විෂ්වකෝෂ සර්ප හදවතක් ඌ සතුය. ඌ එතන සිට නිර්මාණකරණය කරයි. බලන උන්ට හිතෙන්නේ ඒ තමන් බවය. නමුදු උනට ‌කතන්දරයක්ත් තේරෙන්නේද නැත. පාටකයා බලාපොරොත්තු වන අගක් මුලක් මෙලෝ මල දානයක් සර්ප ලියවිලි වල නැතිය. කෙලින්ම සර්පයාගේ සාහිත්යය කලාවට මාරස ආදරය කරන්නේ ඒ සිහිනකල්පිත, අභිතාත්වික වන් විචාර විකාර මගුල් හරහා නොවන්නේය. ලෝකයේ මිනිසුන් සියල්ලෝ ඔලුවේ සිට රෙදි පොරවාගෙන හැංඟී ජීවත්වේ. සර්පයාද ඒසේමය. ඒසේ වුවද සර්පයාගේ දබරඟිල සහ පෑන කිසිදා එසේ වන්නට කීකරු වන්නේ නැත. ඒ පොළව අහසේ තිබෙන නිසාය. කර්මය කියා සිතාගත්තාටද කම් නැත. සර්පයාට යතුරු ලියනයත් ඇතැඹුලකි. මා දන්නා පරිදි ඒකාගේ ඒක ක්රියාත්මක වන්නේ හැපින්නියන්ට අවවාද දෙන්නට නොව අනතුරු අඟවන්නට පමණි. නමුත් ප්රබන්ධයක් ලියන්නට ගිය කල ඒකා ඒකාගේ හදාගත් ලෝකයේ සිට නොබියව ලියන හැටි මමනම් දැක්කේ අහසින් පමණි. සියලු විචාරකයන් මේ ලෝකයේ සිට ඒකාව විග්රකරන්නට ගොස් අනාථ නාථය. ඒ හෙයින්ම ඒකාගේ විශ්වකෝෂයේ නාමයෙන් වචනයක් කතා කළ යුතුය. සර්පයන්ගෙන් කාමයේ සංකේතය නයා බව කවුරුත් දනී. උපාසක නයාගෙන් දරමිටි බඳින ලද්දේත් ගැහැණුන්ය. නාග සංකේතය සහ පුරුෂ ලිංගය ඉතිහාසයේ සරදම් කතාවක් නොවන්නේය. එය තාම නව ලිබරල් චින්තනයේද මාර කතන්දරයකි. නැතිනම් එලවා දැමන ලද නයි නැවත තම ගුහා වලට කිසිවෙකුට හොරා ලෝකයම දන්නා පරිදි ගුහා වලට ආපසු රිංගන්නට එන්නට පිළිවන් කමක්ද නැත. මින් මතු සර්ප නයාගෙන් දරමිටි බඳින්නට ගැහැනුන්ට හැකියාවක් නැත. මන්ද යුගයක් අවසාන වී සර්ප යුගයක් ‌ඇති වී ඇති බව ගාලුමුවදොරින් සන්නිවේදනය වූ නිසාය. ගාලු මුවදොර අරගලය විසින් පැරණි දේශපාලන සිතීම් නැවත කියවීම නිවැරදි බව නැවත අනුමත කළේය.
විද්යාව තරම් විද්යාත්මක දෙයක් මාරස පිළිගන්නේ නැත. විද්යාවේ බොහෝ ඉසව් තිබෙනවා කියා පිළිගන්නවා ඇත. නමුදු විද්යාත්මක චින්තනයෙන් ගේන න්යායන් නිවැරදි වන්නේ පවතින තත්ත්වයන්ගේ බලයට අනුවය. කොටින්ම මහා විද්යාත්මක චින්තනයක් වූ ජානවාදයෙන් ජාන තාත්තා සොයනවා කියන්නේ දේශපාලනික බලයකට අනුව සිය තාත්තා සෙවීමය. ඒ පවුල් කුටුම්බියේ දේශපාලන බලය අනුවය ඒ පර්යේෂණ නිර්මාණය කර ඇත්තේ. ඉතින් අර මහඉර්ෂි කියනවා මෙන් ස්වර්ගයවන් ස්ථානයක් මේ ඉන්නා තැනට වඩා මරුය කියන්නන් වහාම එහි නොයන්නේ මන්ද කියා අසනවා මෙන් ජාන තාත්තාව ජාන තාක්ෂණයෙන් පළමුව සොයා ගත්තානම් මරු නේද කියා අසන්නට මාරසට කියන්නට සිතෙන්නේය. යාන්ත්‍රික භෞතිකවාදීන්ට, අපෝහක භෞතිකවාදීන්ට සහ සැබෑ බෞද්ධයන්ට නැති අනේ පව් කියන හැඟීම ඇති නිසා මාරස නිහඬව කෑ ගසන්නේය.

සර්පයා ගැන අර මෑතක කොටුදොරගේයා ගොඩ ගෙන තිබි යටගිය පෝස්ටුවේ සර්පයෙකුගේ පෙනයට පොල්ලකින් නොව භූමිතෙල් පහරදීමකින් පසු ඇතිවූ සිද්ධියක අතීතයකි. නමුදු සර්පයන්ගේ සිරිත සර්පයා කර ඇත. විපරිත බව කවුරුන් කෙසේ විග්රහ කළද ඒවාට සර්පයන් දෙන උත්තරය දී තිබෙන බව සොයන්නට ඉතිහාසය දැන ගත යුතුය. සර්පයන්ගේ සිරිත තමන්ට එරෙහි වන්නන්ට දෂ්ට කිරීම නොව, අතහැර තමන්ගේ ගමන යාමය. එවිට අනෙකුන්ට මොනවා වූවාදැයි සර්පයන්ට කම් කිම්. නමුත් උන්ව උස්සාතැබූ තලයක්ම සර්පයා අතරමග නිහඬ කරන ලදී. විපරිතයන්ට සර්ප ආත්මයේ පිළිතුර සැබෑවක් වන්නේ එසේය. නමුත් නුඹේ එවන් කුරිරු පහරදීමයන් ගැන මාරසේ යම් විරුද්ධත්වයක් ඇතත් ගැරඬිනයෙකු නොවී නුඹේ සැබෑ නයෙකුගේ සර්ප ලක්ෂණ පෙන්වීමටත් මාරසේ මාර සංකල්පය කැමති වන්නට ඉඩ ඇත. මන්ද විනාශ කිරීම ඊශ්වර සංකල්පයට අයිතිය. මාරස යනු මාරයා නැමති සංකල්පයට මුල් තැන ‌දෙන සංනිවේදකයකි.
අකාලයේ සර්පයා නොහොත් සර්පයා ආධ්යාත්මිකව ගත් කල තනි මිනිසෙක්ත් නොවන්නේය. ඉස්ප්රිචුවල් හෙවත් ආධ්යාත්මිකව තනිව ජීවත්වන නුඹලා මෙන් නයි වන් සැබෑ සර්පයෝ තනිව ජීවත් නොවෙති. ආධ්‍යාත්මිකව සිතන්නන්ගේ ආදර නගර හැම විටම සැබෑ මිනිසුන්ගේ ආදරයෙන්ය පෝෂිතය. භෞතිකව පවතින දේවල් ස්වභාවය වස විෂ වන් දේ උන් තේරුන් ගන්නේ ඉතිහාසයේ දැනුමේ භාසයට නව අරුත් නිපදවමින්ම වන්නේය. නමුදු ඒ ආධ්‍යාත්මිකත්වය ‌පවතින නිමේෂයට සර්ප ආත්ම තේරුම් ගැනීමට හැකියාවක් තිබෙනවා මෙන්ම නැතිය. එය උනට තේරුම් ගන්නට ලැබෙන්නේ මාක්ස්වාදී කියවීමට අනුව ආසියාතික කලාපයෙන් ආධ්යාත්මිකත්වය සම්බන්ධව නව ‌භෞතික කියවීමක් නොව ඒ විභේදනයේ ඒකත්වය ගැන සැබෑව සෙවීමට හැකි දියුණු සැබෑ ප්රතිවිරෝධතාවන් සහ ඒකත්වයන් පමණක් නොව, ඉතිහාසය මෙතරම් කලක් ගෙනා සිතීම් වලට පිටින් සිතන්නට සැබෑ මිනිසුන් කැලක් නිර්මාණය වුවහොත් පමණි. විද්‍යාවේ ප්‍රගමනය සම්බන්ධවද දයලෙක්තික විද්‍යාවේ ඒංගල්ස් විසින්ද මේ සම්බන්ධව පුන පුනා කියා තිබෙන්නේය. ඒ කාලයේදීනම් සර්පයන්ට සාමාන්ය ගෙවල් වල ලැගිය හැකි වනු ඇත. සාමාන්ය අප වන් මිනිස්සුන්ටත් සර්පයන්ගේ හුඹස් තුළ ලැගිය හැකි වනු ඇත. ඉතින් සර්පයා නුඹේ උපන් දිනය ගැන කිසිවක් මම නොකියමි. හැම විටම සණ්ඩු සරුවල් කර වෙන්වෙන සර්ප මාර මිත්රත්වය දන්නේ අප දෙන්නා පමණයි කිය නුඹ දන්නවා කියා මා දන්නවා. නුඹේ සෑම දිනයක්ම සෑබෑ මිතුරාගේ උපන්දිනක් වන වග මින් කියවෙන්න ඇති. ලියපන් මචන්. උඹගේ ලෝකයේ දේවල් දිගටම ලියපන්. කියවන්න ඉන්නේ මියගිය මිනිස්සු විතරක් නෙවේ ඉපෙදෙන මිනිස්සුත් කියන කතන්දර අපි කතා කර තියනවානේ. මචන් වරක් මාරස කිව්වා මෙන් ජීවිතය කියන්නේ ජීවිතය මිසක් වයස නෙවේ. ඉතින් සදාකාලික මිනිසුන්ට මාරස කුමට දීර්ඝායුෂ පතන්නද?
Jagath Marasinghe
04 09 2022


Powered by Blogger.