දූනාගහ වැඩිහිටි නිවාසයේ වැඩිහිිටියන් සමග දිනක ආදරය

 

      මාරස පොඩිකාලේ ජීවත්වුනේ මිනුවන්ගොඩ. යාංතම් අල්ලා  හිටගන්නකොට තාත්තා මිය ගිහින්. අක්කල දෙන්නයි මායි තමා චූටිකාලේ ගෙවී ගියේ. තාත්තා  නැති පොඩිඑකා නිසා මට දැන් දැනෙන්නේ නිදහස ආදරය වැඩිවුනොදෝ යන හැඟීමක් නොවන්නේද නොවේ. කොහොම හරි අපේ අම්මටත් හරි ආශාවක් තිබ්බා දූනගහ වැඩිහිටි නිවාසයට දානයක් දෙන්න. එයාට ඒ සම්බන්ධව පුදුම ගෞරවයක් තිබ්බේ. අපිත් එක්ක වැඩිපුර කේන්තිගිය අවස්තාවල කෙලින්ම කියනවා තොපි මට සැලකුවේ නැතිනම් මම යනවා දූනගහ වැඩිහිටි නිවාසයට කියලා. ගමේ පිළිගත් පරපුරක දියනියක වුවත් ඇගේ ජීවිතයේ අසරණකමට බය නැතිව තිබුනේ දූනගහ වැඩිහිටි නිවාසය. ඒත් එයාගේ අවසාන කාලේ මේ දේ කරගන්න බැරි වුනා. අයියත් අකාලයේ හොරු අරන් ගියා වගේ ජීවිතය දාලා යන්න ගියා. මාරසට දූනගහ දේවාලය සමගත් ආධ්‍යාත්මික සම්බන්ධකම් තියනවා. ඒත් මට දේවාලය අසලම තිබෙන වැඩිහිටි නිවාසයට ටිකක් ලොකුවට දානයක් දීමේ අවශ්‍යතාවය පපුව ඇතුලේ රහසින් කියපු අවස්ථා බොහෝයි. ලොකුවට කිව්වේ භෞතිකවනම් නොවේ. ආධ්‍යාත්මිකවයි.

    පසුව මම කල්පනා කළා විවිධ වැඩ කරල බෝනස් එකට ජීවිතේ ‌බේරුණ මට මම දැනට උපදේශන කතිකාවත් කරන මොරටුව උපේකා කේන්ද්‍රයේ සේවාදායකයන් සහ චූටිම කාලේ සිට ඉතිරිවෙච්ච මිතුරන් සමග ‌දූනාගහ වැඩිහිටි නිවාසෙට මොනවා හරි කරන්න. මම දුරකතනයෙන් ඒ සියල්ලන්ටම ඇමතුම් ගත්තා. හැබැයි මම කිව්වේ අපිත් දැන් වැඩිහිටියෝ. ඒ වැඩිහිටි නිවාසේ ඉන්න වැඩිහිටියන් සමග දවසක්වත් විනෝදවෙලා යන්න යමු නේද කියලා. තහනම් වචනය වුනේ ඒ අය දිහා බලලා අනේ පවු යන්න පාවිච්චි කිරීම තහනම් කියලා. අනික උයන්නත් ඕන අපිමයි. කේට්රින් බැහැ. ඒ අපේ විනෝදයත් ඇවැසි නිසා. දිනය ‌තොර ගත්තේ මේ ගිය 15 දා. නිවාසයේ පනස් තුන්දෙනෙක් හිටියා. එතන බලාගන්න විජේරත්න මහත්තය කරන වැඩ දැක්කම පින් කඳක් කියන වචනේ තේරෙනවා. ඊගාව ප්‍රශ්නය වුනේ ගරු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ අසල පංසලක වැඩ වාසය කළත් මාරස සිතට ආවේ ඉඳුරාගාරේ ධම්මරතන ලොකු හාමුදුරුවන්ට. උන්වහන්සේට දාන සටහන් පොතේ තව වැඩක් බාරගන්න ඉඩක් තිබ්බේ නැහැ. නමුත් සියල්ල සැලසුම් කරන් පහුවෙනිදම එදාට මම කොහොමහරි වඩිනවා කිව්වා. කිව්ව විදිහටම ආවා. 

  මිනුවන්ගොඩගොඩ විජිත් සහෘදයා මාරසටත් හොරෙන් ඩජිටල් සංගීත ශබ්ද පද්ධතියක් සමග තමා ආවේ. අපි වැඩිහිටියොත් ඒ වැඩිහිටියොත් සියල්ලෝම වැඩිහිටියෝ. අපේ ඉතින් සියලු වැඩිහිටියෝ සංගීතය නැටුමෙනුත් විනෝද වුනා. ඒ අතරෙ සිදුවන දානමය කටයුත්තද ඉඳුරාගාර නායක හාමුදුරුවන් වහන්සේ සහ භාරකාර විජේරත්න මහත්තය ආගමික වශයෙන් සාම්ප්‍රධායිකව කරන්න ඇවැසි දේ සිදු කළා. කිසිදු ගැටුමකින් තොරව දවසක දිවාකාලයම අපි සතුටු වුනා. පිනා යනු  පිනායාමක්. පිනක් පිනම කියලත් විග්‍රහකරගන්නත් හැකියි.  සමහර වයසක උදවිය ලස්සනට තනුවට සින්දු කිව්ව හැටි සහ නටපු නැටිලි දකිනකොටනම් දෑස් කඳුලින් තෙත් උනේ නැහැ කිව්වොත් ඒක මුසාවාදයක් වෙනවා.

   ගොඩ දෙනෙක් මුදලින් සහ ද්‍රව්‍යයමය වශයෙන් දායක වුනා. නමුත් එක්කෙනෙක්වත්  තම නම සඳහන් කරනවාටවත් කැමති නැහැ. නමුත් ඒවා කොහොම කොහොම හරි මාරස විවිධ සටහන් වලදී ලියාවි. කාගෙන් බේරුනත් වැඩිහිටි ලියන්නන්ගෙන් බේරෙන කාරනයනම් විශේෂයිනේ. එයාලා උනුවෙන් කන විදිහත් නිමලා කන විදිහත් මනාව දන්නවා.

    කෙසේ හෝ අපි හුස්ම ගන්නකන් මේ දේවල් කළා. අදටත් කරනවා . හෙටත් එහෙම තමා. ඉතින් ඉතිරි වීඩියෝ තව ටික දවසකින් දාන්නම්. දානේ අවසන් වුන ගමන් මාරස අසනීප වුන නිසා අද තමා වැඩක් කරන්න හැකිවුනේ.

ඉතින් ඔබ සැමට දීර්ඝායුෂ පතමින් දැහැන් මිදුමට අවසරයි.

ජගත් මාරසිංහ

21 06 2023

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.