මානවේ නම් පද්‍ය දිවාකරයෝ

                                              මානවේ නම් පද්‍ය  දිවාකරයෝ






සාමාන්‍යයෙන් මාරස නිදාගන්නෙ පාන්දර. එක්කෝ ඊ පවුර බලනවා. ලියනවා. නැතිනම් පොත් කියවනවා. නැතිනම් අතීතය මෙනෙහි කරනවා. නැතිනම් ළඟම සිටින ගැහැනියකට හෝ කාට හරි මොනවා හරි කියා දෙනවා. අර සයිමන් නවගත්තේගමගේ සුභ සහ යස නාට්‍යයේ දෙබසක් තියනවා වන්දි බට්ටයන්ට කියන.

"මොන කරච්චලයක්ද යකෝ... ප්‍රසස්ති.... නවත්තපල්ලා ඕක... රජ කෙනෙකුට උනත් නිදා ගන්න ඕනා. පාන්දර තමා යකො හරියට නින්ද යන්නේ... නවත්තපියව් තොපේ ප්‍රසස්ති" කියලා.

අනේ මන්දා මාරස රජ කෙනෙක් නෙවේ පාන්දර තමා නින්ද යන්නේ. මොකද මාරස නිදාගන්නේ පාන්දර තුනට විතරනේ. මෙන්න මට කරදර කරමින් ඇහැරවනවා. තාලයකට කෑ ගහන්නේ අමරදේව. මම හීනෙන් වගේ අහන් ඉන්නවා. ඇහැරිලා පේන හීන මරු. ටිකක් තරහත් ගියා. මානවසිංහයි අමරදේවයි එකට කෑ ගහනවා. මොකක්දෝ වන්නම් තනුවකට. දැන් නින්ද ඉවරයි. ඒත් මාරස දන්නවා අද දවස මරු කියලා. මානවේ ගැන කියන්න අර සේකර කියනවා වගේ අපට වචන නැහැ. ඒ වචන කොහෙන් ගේන ඒවද මතුවෙන ඒවද කියලාවත් හිතන්න බැහැ. ප්‍රසිද්ධනම් කවියෙක් ගීත රචකයෙක් කියලා. ඒත් මිනිස්සු දන්නේ නැහැ වගතුග ලංකාදීපෙට ලියපු මානවේ ඉන්දියාවට ගිහින් වංග භාෂාවත් හැදෑරුවා කියලා.

මීගමුව අඟුරුකාරමුල්ල පන්සලේ මහන වෙලා සිටියා කියලා මතක කාරියකරවන කියන මාධ්‍යවේදියාගේ ලිපියකින්. ඒ කාලේ නීතිය කියලා පත්තරයක් කළත් කියලා ලියලා තිබ්බා. කාරිය කරනවනට කිව්වලු "යකෝ ඒක ලිව්වේ මම අඟුරුකාරමුල්ල පන්සලේ මහන වෙලා ඉන්නකොට" කියලා. හරි ප්‍රසිද්ධයි මානවේගේ මධුලෝලී ආදරය. දන්න අය දන්නවා. අනේ මාරසට ඇහැට දකින්න ලැබිලා නැහැ. නමුත් තාම ඉන්නවා. අද උදෙත් අමරදේව සමග කෑ ගහලා ටිකක් නිදාගන්න මාරසවත් ඇහැරවලා කරකවලා අත හැරියා. මට නම් හිතෙන්නේ මේ මිනිස්සු තාම ජීවතුන් අතර කියලා. නියම කලාකාරයෝ එහෙම තමා කියලා හිතුනත් ඒ මදි වගේ. සංසාරය හොයන්න හිතෙනවා.

තිහාරියේ පීටර් පෙරේරා අපේ ඥාතියෙක් වෙන කෙනෙක්. එයාගේ පුතා මානෙල් පෙරේරාවනම් මතකයි. තිහාරියේ පීටර්පෙරේරාගේ මළගෙදර තිබ්බේ ගම්පහ විද්‍යාලයක. ඒකත් යාන්තන් මතකයි. සියල්ලන්ටම වඩා පීටර් පෙරේරාගේ මුනුපුරා මා සමග ලේක්හවුසියේ වැඩකරපු කාලයක් තිබ්බා. එයා මට මරු කතාවක් කිව්වා. ඒ කාලේ තිබිලා තියෙන්නේ බාල්දි වැසිකිලි. ඒවා නගර සබාවෙන් තමා තවත් බාල්දියක් තියලා අරන් යන්නේ. ඒවල වැඩිවෙලා මිනිස්සු ඉන්නේ නැහැ. මේ පුතා මට කියනවා තාත්තගේ යාලුවෙක් සෑහෙන වෙලා ඉන්නවා ඒකේ ඇතුලේ. වැසිකිලි උඩ කවුලු වලින් දුම්දානවා. වෙන මොකුත් නොවේ සිගරට් දුම්. තවත් මොනවදෝ නොදන්න වචන වගයක් තාලෙට කියවනවාලු. ඉතින් මේ කොලු ගැටයා තාත්තගෙන් අහලා මොනවද ඒ මාමා ඒ කියවන්නේ කියලා. පුතේ ඒ මානවසිංහ කවියා. ඒ එයා කියවන්නේ ගීත ගෝවින්දය කියලා.

මේ සමගම දෙනගම සිරිවර්ධනයන් මට කියපු රසවත් කතාවක් සිහියට ආවා. මානවේ පුවක්දන්ඩේ චන්ද්‍රරතන නමින් මහනවෙලා හිටියා. සාමනේර කාලේ කතරගම මැනික් ගඟබඩ වැල්ලේ හඳපානේ කතරගම කපුමහත්මයාගේ දියනියගේ උකුලේ වැතිරිලා ඉඳගෙන ඇගේ මුවින් ගැයෙන ගීත ගෝවින්දයට සවන්දීමේ පින මට ලැබුනා කියනවාලු. ඒ වගේ භාග්‍යයක් වෙන ලැබුනේ කාටද කියලා මානවේ අහනවාලු රුහුණේ මහා කවි හක්මන බැන්ටිස් රණවීර කවියාගෙන්.

මේ ජීවිතද, කවිද කියලා කියන්න කිසිදා අපට නොහැකිවෙනවා නියතයි. එයාලා ගීත ගෝවින්දයත් ඉගෙනගෙන තියෙන්නේ ජීවිතයෙන්. ඉතින් ඒ කාව්‍යන් ගීතයන් සදාතනික වෙන්න වෙන කතන්දර කුමට කිව්වලු.

ඉස්කෝලේ යන කාලේ සිරිලාලෙක හෙල් මැලි කවියට වඩා මතක මොනවද අම්මේ අකුරු ජාතියක් මල්පෙති වල කවුදෝ ලියලා කියන පද.

නමුත් අද මාව උඩ ගීහින් ඇහැරුනේ මහබෝ වන්නමෙන්. යකෝ බෝගහකට නටන්න පද ලියන්න ලේසිද? දන්නවාද මානවේ ජ්‍යෝතිෂය විතරක් නොවේ වස්කවි සෙත් කවි හදන්නත් දන්නවා කියලා. හැම කවියකම තියන කිසිදු වචනයක් වෙන කාටවත් ගන්න බැරිවෙන්නේ වස් නිසාද කියලත් හිතෙනවා. ඒත් ඒවා ‌සෙත්ම තමා. ආදරෙයි මානවේ අමරදේව මාරසේ කෙටි නින්ද කඩලා වෙනම ලෝකෙකට අද දවස කරකවලා දැම්මට.

ආදරයට භෞතික තේරුම් නැහැනේ. ඒක නිකන් නිවන වගේ භෞතික තේරුම් නැති දැනෙන දෙයක්. ඔයාවත් දැනෙනවා විතරයි. ඔයා ගැන ලියන්න ගියොත් කෙලින්ම අපව අතරමං වෙනවා අනිවා.

මානවේ. ඔයා මළේ නැහැ. තාම අප අතර ජීවත් වෙනවා වගේ. මේ දැන් මේ මාරස ගාව ඉන්නවා වගේ දැනෙනවා.

“වැලි තල අතරේ හෙමිහිට බසිනා  
නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු වුණ දා  
තිලෝ හිමි මොක් සුව ලද මොහොතේ සමාධි භාවනා   
හිම කඳු වැටියේ සීතල සෙවණේ වන්දන තුරු පිහිරා   
හැපී එන මල් මුව රූ රසිනේ   
සුවඳ මුසු කෝමල මඳ පවනේ ගැටීලා පාවෙනා   
සත් සර නඟලා ටික ටික සෙලවී සිරිමහ බෝ හිමිගේ   
මනෝ හර පලු පත් අතු රිකිළි   
නටා ගිය තාලෙහි රස නැගුණා සරාගී ජීවනා   
සඟමිත් මෙහෙණී දකුණේ ශාඛා සිරිලක ගෙන ආදා   
සිටම තව මහමෙවුනා උයනේ   
නටයි කොළ වන්නම ලෙස මහ ​ෙබා් සුමීරී නාදෙනා”   

(මේ ගීතය ගැනද ‌ප්‍රවාද සහිත ජන කතා බොහෝ තිබේ)

https://youtu.be/vD0msGCyio0

ජගත් මාරසිංහ

https://jagathmarasinghe.wixsite.com/mare

26 06 2023


Powered by Blogger.