දයානන්ද ගුණවර්ධන අරුම පුදුම ගතිගුණ ඇති මිනිසෙකි. ඔහු කතා කරන්නට ගිය විට එක දිගට කතා කරයි. උගන්වන්නට ගිය විටත් එසේමය. පොතපත කියවන්නට සහ හදාරන්නටත්, ලියන්නටත් ගිය විට ඊටත් හපන්ය. ඔහු අපේ ජාතියේ ඉතිහාසය සොයා දුෂ්කර ගමනක නිරත විය. තමා සොයා ගත් දේ මිනිසුන්ට නොමසුරු ව බෙදා දීමට හොඳම මාධ්‍යය කලාව බව ඔහු විශ්වාස කළේය. එහෙත් ඒ දේවල් ගැන පුළුල් ව කතා කිරීමට මේ ලිපිය තරම් නොවේ යයි සිතමි.දයානන්ද කුඩා කල එක් දිනක් උඩහගෙදර තොවිලයක් නරඹමින් සිටියේ ය. තොවිලය අවසාන වීමටත් ප‍්‍රථම ඔහු කොලූ කුරුට්ටන් කීප දෙනකු සමඟ එක් වී තොවිලයේ මල් පැළක් ගලවාගෙන එපිටහ ඉඩමකට ගොස් පුංචි තොවිලයක් නැටුවේය. එදින රාත‍්‍රියේ පුංචි තොවිලයේ නඬේ ගුරා වූ දයානන්ද සිහිනෙන් හොඳටෝම බිය විය. අවසානයේ ඔහු සුව කරන්නට මහා තොවිලයක් නටන්නට සිදු වී තිබේ.මේ සිදුවීමෙන් පසු ඔහු පසු කලක කළ දැවැන්ත නාට්‍ය නිර්මාණ ගැන යම් චිත‍්‍රයක් මතු කරගත හැකි බව සැබෑවකි. එහෙත් ඔහුගේ අරුම පුදුම ගතිගුණ ගැන ද තොරතුරු ඒ සිදුවීමේ සැඟවී තිබේ.දයානන්ද ගුවන් විදුලියේ සේවය කළ අවධියේදී අතපසු වීමකින් දිනක් මැදිරියක යතුරු සාක්කුවේ දමාගෙන ගෙදර ගියේය. ඒ රටේ හදිසි අවස්ථාව පැවැති අවධියකි. ආරක්ෂක අංශයට යතුරු අත්‍යවශ්‍ය විය. ඔහුගේ මිතුරන් කීප දෙනෙකු වහාම වාහනයකින් දයානන්ද සොයා ඔහුගේම නිවසට ගියේ එබැවිනි.කලිසම සහ කමිසය හැඳ ඔප දැමූ සපත්තු පැළඳ එක්තරා ලීලාවකට ගුවන් විදුලියේ ඇවිදින ව්‍යක්ත ලෙස ඉංගී‍්‍රසියෙන් කතා කරන දයානන්ද ගුණවර්ධන නිවසේ සිටියේ බුලත්විටක් සපමින් සරමක් පමණක් ඇඳ විවේක සුවයෙන් පසු වෙමිනි. යතුරු හැඳි කලිසමේ ම ආරක්ෂා සහිතව තිබුණි. එදා ඔහු මේ අතපසුවීම සම්බන්ධව බොහෝ ලැජ්ජාවට පත් ව තිබේ. එවැනි අවස්ථාවල ඔහු කරන්නේ දෑතින් මුහුණ වසා ගෙන බිම බලාගෙන සිනහ වීමය. එහෙත් ඔහුට අනුව මෙය තවත් එක් අතපසුවීමක් පමණි. අතපසුවීම සහ අමතක වීම ඔහුගේ සාමාන්‍ය ජීවිතයට කිසිසේත්ම අලූත් දෙයක් නොවීය. ඔහු ළඟින් ඇසුරු කළ බොහෝ දෙනෙක් මේ බව ඉතා හොඳින් දැන සිටියහ.දයානන්ද ගුණවර්ධන සද්දන්ත මිනිසෙකි. ශරීරයෙන් පමණක් නොව දැනුමෙන් ද, ප‍්‍රතිභාවෙන් ද ඔහු සද්දන්තයෙක්ම විය. එහෙත් ඔහු සරල සුන්දර ගැමියකු බවත් අව්‍යාජ මිනිසකු බවත් දන්නෝ දනිති. ඔහුගේ අමතක වීම සම්බන්ධව සමහර සිදුවීම් කතාන්දර ආකාරයෙන් දැන් ජනගත වී තිබේ. එවිට ඒවා යම් යම් වෙනස්කම්වලට බඳුන් වීම නිතැතින්ම සිදුවිය හැකිය. ඔහු ගැන කතා බහ කරන හැමවිටකම පාහේ මේ සිදුවීම් ගැනත් සිහි වීම ස්වභාවයකි. එහෙත් ඒ උපහාසයට හෝ අපහාසයට නොවන වගත් සැබෑවකි. ඔහු ගැන දන්නා මිනිසුන් ඔහුට ඇත්තේ පුදුමාකාර ආදරයකි. ළෙන්ගතුකමකි.වරක් ඔහු විදේශීය මිතුරකු සමඟ ඔහුගේ වාහනයෙන් එවකට හෝමාගම පිහිටි ඔහුගේ නිවස බලා ගමන් කළේය. අතර මඟදී ඔවුහු නාට්‍ය කලාව ගැන කතාබහ කරන්නට වූහ. දැන් දයානන්දට නාට්‍ය කලාව හැර අන් සියලූ දේ අමතකය. කතාවෙන් කතාවෙන් ඔහු ඉදිරියටම රථය පැදවීය. නොදැනුවත්වම බොහෝ දුරක් ගමන් කළ රථය ඉන්ධන අවසාන වී නතර විය. අමතක වීම කොතෙක් ද යත් රිය නතර වී තිබුණේ රත්නපුරයේදීය. එදින ද ඔහු අත් දෙකෙන් මුහුණ වසාගෙන බිම බලාගෙන සිනහවන්නට ඇත.සමහර දිනවල ඔහු සිය මෝටර් රථයෙන් කොළඹ පැමිණෙයි. එහෙත් ගෙදර යන්නේ දුම්රියෙනි. සිය වාහනය මතක් වන්නේ ගෙදර ගිය පසුවය. තමන් සමඟ වාහනයේ ගිය පිරිස අතරමඟ දමා බස්රියෙන් නිවසට ගිය කතාවක් ද ජනගත වී තිබේ.තවත් දිනක් ගුවන් විදුලි සංස්ථාවට දයානන්ද හමුවීමට මිතුරෙක් පැමිණියේය. ඔහු ද ප‍්‍රකට පුද්ගලයෙකි. දෙදෙනාගේ කතාබහ දුර ගියේය. ඔවුහු දිවා ආහාරයට ආපන ශාලාවට ගියහ. තවමත් කතා බහ අවසාන වී නැත. කතාබහ මැද්දේම දයානන්ද සිය මිතුරාගේ බත්මුල ගෙන දිග හැරියේය. කාරණය මිතුරාට වැටහිණි. ඔහු ආපන ශාලාවෙන් කෑම පාර්සලයක් මිල දී ගත්තේය. දිවා ආහාරයෙන් පසු දෙදෙනාම විසිර ගියහ. පසු දින සිය මිතුරාට දයානන්දගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි.‘හරි වැඩක්නෙ වෙලා තියෙන්නෙ, කතාවෙන් කතාවෙන් ඊයේ මම දවල්ට කාල නෑනේ. මගෙ බත්මුල ගෙදර ගෙනත් තිබුණා.’ දයානන්දගේ හැටි දන්නා මිතුරා නිහඬ වී තිබේ.බොරැල්ල වයි.එම්.බී.ඒ. ශාලාවේදී ‘මරාසාද්’ නාට්‍යය රඟදැක්වූ දිනයක මොර සූරන වර්ෂාවක් වැස්සේය. දයානන්ද ගුණවර්ධන විශාල කුඩයක් ඉහලාගෙන බොරැුල්ල හන්දියේ බස් නැවතුම් පළේ සිටියේ ය. ‘මරාසාද්’ නැරඹූ ප‍්‍රසිද්ධ රංග ශිල්පියකු කඬේකට යන ගමන් දයානන්දගේ කුඩය යටට රිංගුවේ ඔහු සමඟ කතාබහ කිරීමටත්, වර්ෂාවෙන් ආරක්ෂා වීමටත් ය.මම ‘මරාසාද්’ බැලූවායි දයානන්ද පැවසුවේ ය. මමත් ‘මරාසාද්’ බැලූවායි රංග ශිල්පියා පැවසුවේ ය. ඔයාට ඒක තේරුණා දැයි යළි දයානන්ද විමසුවේ ය. එවිට තමාට එය ගැටලූ සහගත බව රංග ශිල්පියා පවසා තිබේ. මටත් එහෙම තමයි කියාගෙන දයානන්ද බස් රියක් වෙත දුව ගියේ ය. ඔහුට සිය සගයා තෙමෙන්නට ඇති බව පසුව සිහිවී පසුතැවිලි වෙන්නට ඇත.
තවත් දිනක මිතුරකු සමඟ දයානන්ද සිය වාහනයෙන් ගමනක් ගියේය. එදින ද කතාබහ දුරදිග ගියේය. දයානන්ද සිය වාහනය නවත්වා සිගරට් ගෙන ඒම පිණිස මිතුරා කඩයට යැව්වේය. ඔහු සිගරට් ගෙන ආපසු පැමිණි විට දයානන්දගේ වාහනය එහි නොවීය. කාරණය වටහා ගත් ඔහු වෙනත් වාහනයක එල්ලී ඉදිරියට ගියේය. සෑහෙන දුරක් ගොස් දයානන්ද රථය මාර්ග තදබදයක් හේතුවෙන් නවත්වාගෙන සිටියේය. මිතුරා පැමිණි විට සිගරට් ගත්තාදැයි අසමින් දයානන්ද යළි සුපුරුදු පරිදි රථය පදවන්නට විය.
|
Subscribe to:
Post Comments (Atom)
Powered by Blogger.