වම ‌නොවන වම

වම ‌නොවන වම

                       1960 දශකය මුල උපන් දරුවෝ 1977 විවෘත ආර්තිකය ආරම්භ වූ කාලයේ තරුණ ගැටවරයෝ වූහ. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභහග තුනක් එකට සෙල්ලම් දමමින් ඔවුන්ගේ ඔලු කන්නට පටන් ගත් කාලයද ඒ කාලයම විය. ඔවුන්ගේ ළමාවිය ගෙවුනේ බුද්ධිමය දශකයක් ලෙස හඳුන්වන ලද  හැටේ දශකය පසුබිම් කර ගනිමිනි. 1970 දශකය ලබන විටම තරුණ අසහනය ගැන තමන්ගේ අයියලා අක්කලා කතා බහ කරනවා ඔවුන්ට ඇසෙන්නට විය. මේ පරපුර 5-6 ශ්‍රේණි වල ඉගෙනුම ලබන විට 1971 අප්‍රියල් කැරැල්ල සිය දෑසින්ම දැකගැනීමට හැකිවිය. ඔවුන්ට ආදරය කිරීමට තෝරාගැනීමට ලැබුන ගැහැනු ළමුන් කුලකයකයද ඔවුන් මෙන්ම කුඩා කල වෙනස් අත් දැකීම් ලැබූ ගැටවරියෝ වූහ. අතීතය සහ වර්තමානයේ අතරමං වූ ඔවුහු උඩරටින් ගත් ඔසරිය නිළ ඇඳුමක් කරගනිමින් විවෘත ආර්තික කලිසම ජීවිතය සමග ගැටගසා ගත් පළමු පරපුර විය. ඔවුන්ගේ දෙපසකට විභේදනය වූ චින්තනයද ඊටම සමාගාමී ප්‍රවේශයක් ලබාගත් බව දන්නේ මෙම බ්ලොග් කරු අයත් පරපුර පමණක් වීමටද ඉඩ තිබේ. 77 විවෘත ආර්තිකයෙන් පසු මහා සංස්කෘතික වෙනසක් සිදුවීම අනිවාර්ය වූ අතර 1977 දී අපරාධ විනිශ්චය කොමිසන් සභාව අහෝසි වීමත් සමඟ රෝහණ විජේවීර  නිදහස් වූ අතර 1971 පිළිඹඳ විවේචන සහ ස්වයං විවේචන වැසි වසින්නට විය. කෙසේ හෝ ඒ කාලයේ මැකී යමින් තිබූ වාමාංශික සංවාදය නැවතත් අළුත් මුහුණුවරකින් හිස ඔසවන්නට විය.  1980 ජූලි වර්ජනය සිත් පිත් නැති ලෙස ජයවර්ධන ආණ්ඩුව විසින් මර්ධනය කළ අතර එය සමහර මාධ්‍ය වාර්තා කර තිබුනේ ජූලිය මළ ජූලියක් කළ ‘80 ජූලි
වර්ජනය’වැනි සිරස්තල යටතේය. ඉක්බිති 1983 වසරේදී අනිවාර්යයෙන්ම තැබිය යුතු ජේ ආර් ජයවර්ධනගේම වචනයෙන් කිවහොත් මහා මන්ත්‍රී තරඟයෙන් අනුපාත ක්‍රමය යටතේ මැතිසබයෙන් හයෙන් පහක තියා තුනෙන් දෙකක බලයක්‌වත් පවතින රජයට දිනාගන්නට නොහැකි බව අත්දැකීම් බහුල දේශපාලනඥයකු වූ ඡේ. ආර්. ජයවර්ධන මහතා හොඳින් දැනගෙන සිටියේය. එහෙයින් ඔහු 1977 නව ව්‍යවස්‌ථාවට එක්‌ කළ නව අංගයක්‌ වූ ජනමත විචාරණ ක්‍රමයට පණ පොවමින් 1982 දෙසැම්බර් 22 වැනි දින එය පවත්වන්නට යෙදිනි. එයින් ජයගත්  ඔවුන් 1977 ජුලි 21 වැනි දින පවත්වන ලද මහ මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයේ 5/6 ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ඇතුළුව මුළු මැතිසබයේ කාලය තවත් වසර හයක්‌ සඳහා දීර්ඝ කර ගත්තේය. පවතින ආණ්ඩුවේ ශක්තිමත් ප්‍රචාරණය හමුවේ ජනමත විචාරණයෙන් ආණ්ඩුව පැරදවීමට වමේ බලවේග වලට සහ එවකට තිබි විරුද්ධ පක්ෂයට කිසිසේත්ම හැකියාවක් තිබුණේ නැත. එහෙත් මෙම ජනමත විමසුම ප්‍රෝඩා කාරී ක්‍රියාවක් බව ජනතාවගේ ඔලු ගෙඩි වල සදාකාලික සටහන් කිරීමට වම් ඉවුරේ සියලු පක්ෂ සමත් වූ බව මෙම බ්ලොග් කරුට මතකයේ තිබේ. එතැන් සිට ජයවර්ධන ආණ්ඩුවට පමණක් නොව පොදු මහජනතාවටම නරක කාලයක් උදා වූ බව නොදන්නා අයෙක් අදට වයස අවුරුදු පනහට පසු වැඩිහිටියන් අතර සිටිය නොහැකිය. 1983 කලු ජූලිය අවස්ථාවේ මහල් නිවාසයක ජීවත් බ්ලොග් කරුට එකවර දෙමල ගෙවල් හතර පහ කුඩු කර බඩු භාන්ඩ බිමට බිමට දමා ගිණි තැබූ ආකාරය මතකයේ තිබේ. මේ
පසුබිම යටතේ 1960 දශකයේ මුල උපන් පරපුරට යම් ගැලවීමක් දකින්නට ලැබුනේ වමාංශික ව්‍යාපාරයෙන් පමණි. සකල විද කලාවන් විප්ලවයක සිහින දකිමින් වැඩ කටයුතු ආරම්බ කළ සඳ යුගයක් විසින් කලාවේ ඇම්මේ නාමයෙන් හැටේ මුල උපන් එදා නව පරපුරද කොන්දේසි විරහිතව  වාමාංශික ව්‍යාපාරය වෙතට තල්ලු කර දමන ලදී. එතැන් සිට දැනුමේ පිපාසයෙන් සතර අත දුවමින් වාමාංශික වැඩිහිටියන් සොයමින් සෑම වාමාංශික පක්ෂයකටම හොට දමමින් සංවාද සම්මන්ත්‍රන පීරමින් මොවුන්ගේ තරුණ කාලය ගෙවීගියේය. මෙම ලිපිය ලියන  බ්ලොග් කරුද හැටේ දශකයේ මුල උපන් අයෙකි. හැටේ මුල උපන් බොහෝ දෙනෙක් මරා දමන ලද අතර ඉතිරි වූ දේශපාලනික ඉවක් තිබූ  පිරිස ඉතිහාසයේ සාක්කි කාරයෝ බවට පත්වී සිටිත්. මෙම බ්ලොග් කරු විසින් කලින්ම සඳහන් කළ මේ පරපුරේ පිරිමින්ට ආදර වන්තියන් විමට සුදුසුකම් සපිරූ ස්ත්‍රීන් කණ්ඩායම භීෂණ කාලයෙන පසු වාශ්ප වූයේ කෙසේදැයි නිවැරදිව සිතීමට හැකි වූයේද ඔහුගේද මැදි විය අවසාන වූවාට පසුවය.

                  වාමාංශිකයෙකු වූ සැනින් මාක්ස් ලෙනින්ගෙන් පටන් ගෙන කියවා අවසාන කිරීමට නියමිත පොත් පත්  තොගයක් තිබේ. ඒවා ඒකල කියවීමට කාලය සොයාගත්තේ කෙසේද යන්නත් අද වන තුරු මේ බ්ලොග් කරුටද ප්‍රශ්නයක් වී තිබේ. එකල  නොමිලේ මාක්ස්වාදය ඉගැන්වීමටද විවිධ වාමාංශික පක්ෂ පිත්ත දමාගෙන බලාසිටි අයුරු  බිතිසිතුවමක හැඩයට මතකයට එකතු වී තිබේ. පත පොත කියවීමෙන් සම්පූරණ වීමට  හිතූ එදා තරුණ පරපුරේ බොහෝ පිරිසක් සංවාදයකින් තොරව එහෙයියන් ලෙස ක්‍රියාත්මක වූයේ ඉතා අඩුවෙනි. කෙසේ හෝ වාමාංශිකයෙකු වී මාක්ස්වාදය අවබෝධ කරගත් මොහොතේ සිට තමන් විසින් අතීතයේදි  පිළිගත් සියළු ප්‍රපංචයන් ගැන සැක පහල වීම සාමාන්‍ය සිදුවීමකි. මේ සැකය අළුත් සිතීමක ආරම්භයම විය හැක. සියළු ආකල්ප උඩු යටිකුරු වීමට පටන් ගත් විටම  ක්‍රමයෙන් ලෝකයේ අප දැනගෙන සිටි දැනුම් පද්දතීන් සමග විරෝධාකල්පයෝ ජීවිතය බවටම පත්වේ. එකළ සිටි වාමාංශික වැඩිහිටියෝ ඒ අවස්ථාවේදී මොවුන් දෙස බැලුවේ තමන්ගේ දේශපාලන දරුවන් දෙස බලන ආකාරයටය. මෙම බ්ලොග් කරු ඇතුලු පරපුරටද ඔවුන් සැබෑ තාත්තලාම විය. එදා වාමාංශික සංකේතීය තාත්තලා සේ පෙනී සිටි ඔවුහු එකම වාමාංශික දේශපාලන පක්ෂයක වැඩිහිටියෝ නොවූහ. එහෙත් සියල්ලෝම වම්මුන්ම වූහ. ප්‍රසිද්ධ චරිතයක් පමණක් උදාරණයකට කියන්නේ නම් වම සහ ජීවිතය ගැන කතා බහ කිරීමට සුගතපාලද සිල්වා මරේ මරුය. එකල මේ බ්ලොග් කරුද සෝවියට් සංස්කෘතික මන්දිරයේ පුෂ්කින් සමාජය මෙහෙය වූ නාට්‍ය වැඩ මුලුවකට සහභාගි වූ අයුරු මතකයේ තිබේ. එහි දේශන සඳහා පැමිනියේ එවකට නාට්‍ය කලාව සම්බන්ධව නම ගිය විද්‍යාර්තීන්ය. ඒ පැමිණි පිරිසෙන් මහාචාර්ය එදිරිවීර සරත් චන්ද්‍රයන් ඇතුලු කීප දෙනෙකු හැර අන් සියල්ලෝම
මාක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටි වාමාංශික වැඩිහිටියෝ වූහ. වාමාංශිකයන් නොවූ  සරත්චන්ද්‍රලාද මාක්ස්වාදී න්‍යායන් උඩින් පල්ලෙන් අත පත ගෑ පිරිසක් නො වූහ. විවිධ පක්ෂ සහ  කණ්ඩායම් වල පුද්ගලයන් සොයා අපි කලාව දේශපාලනය සහ දර්ශනය ඉගෙනීමට තැන් තැන් වල දිවා රෑ ඇවිදීම අවසානයේ විනෝදයක් බවට පත් විය. බොහෝ විට අප ඒ කාලයේදී නව මිතුරන් හඳුනා ගත්තේ පාර දිගේ කීවත් වරදක් නැත. අපට දැනුම බෙදා දුන් වාමාංශික වැඩිහිටියෝ අපගේ නව වාම සිතීමේ නැවුම් බව හරහා ඇති වන ළදරු වලිප්පුව ගැන පැරණි රස කතා කියා අපව සමච්චලයට ලක් කළහ. එවන් අවස්ථාවල කිසිදු විරසකයකින් තොරව අප ඔවුන්ගේ ආදරය හඳුනාගත් බවද මතකයේ තිබේ. වී.අයි ලෙනින්ගේ වාමංශික ව්‍යාපාරයේ ළදරු වලිප්පුව පිඳිඹඳ න්‍යායික තත්වයන් ගැන ගැඹුරින් සාකච්චා කිරීමටද මේ වැඩිහිටියෝ අමතක නොකළ බවද ලියා තැබිය යුතුය.  මතු පරපුරට යමක් ඉගැන්වීමට ඔවුන් කීපදෙනෙකු තුළ තිබූ ආශාවද පුදුමාකාරය. වරක් නාට්‍යක් නැටීමට සිතී කොවුර් ගේ ජීවිතය ගැන දැන ගැනීමට කාලෝ පොන්සේකාව හමුවීමට කොළඹ වෛද්‍ය විද්‍යාලයට ගිය මෙම බ්ලොග් කරුට ඇතැම් අවස්තාවක කාලෝ පොන්සේකා මහතා නාට්‍යානුසාරයෙන්ද දේවල් කියා දෙන්නට විය. ඒ සාකච්ඡාව බ්ලොග් කරුගේ මතකයට හීනයක් මෙන් එකතු වී තිබෙන්නේ කාලෝ තමා වාඩි වී සිටි අසුනින් නැගිටිමින් නැවත වාඩි වෙමින් මේසයට තට්ටු දමමින් තවත් වරෙක අසුනට ගොඩවිමට මෙන් අභිනය පාමින්  තමන්ගේ මතය අනිකාට තහවුරු කළ ආකාරයයි. නව පරපුරේ දැනුම වර්ධනය කිරීමට ඒ කාලයේ වාමංශික පරපුරේ වැඩිහිටියන්ගේ කැපවීමට හිස නමා ආචාර්ය කිරීම හැර සැමරුමක් ලියා තැබීමට සිත පිරෙන වචන මාලාවක් මෙම බ්ලොග් කරුගේ ශබ්ද කෝෂයේ නැත.
මේ අතර කාලයේ තවත් විශේෂ සිදුවීමක විශේෂ මතකයක් සිහිවේ. ඒ ගණිත විෂය දහරාවෙන්
සහ වාමාංශික බුද්ධිමතෙකු වශයෙන් සැලකිය යුතු නමක් දිනා සිටි  මහාචාර්ය නලින්ද සිල්වා මහතා සිය වමේ සම්බන්ධතා වලින් සහමුලින්ම ඉවත් වී ජාතික වාදය පිළිඹඳ නැවත කියවීම ආරම්භ කිරීමයි. ඔහුගේ නැවත කියවීම තුළ එදා ඇතිවූ සංවාදය තවමත් නිම නොවූ සංවාදයක් බවද සටහන් කළ යුතුය. සියල්ල බටහිර විද්‍යාත්මකව තේරුම් ගැනීමට වලිකන වාමාංශිකයන් අතරේ සිටම ඔහු බටහිර විද්‍යාවට ඉලක්ක කර එකල කිසිවෙක් නොසිතූ ආකාරයෙ සංවාදාත්මක වෙඩි මුරයක් තැබීම එක දිගට කරගෙන ගියේය. ප්‍රති පක්ෂයට වෙඩි වැදුනාද නැද්ද යන්න තීරනය කළ යුත්තේ ඒ කාලයේ ප්‍රතිවාදින්ගේ  විලාපයන් සහ සහ බැන වැදීම් වලිනි.  පුළුවන්නම් දැන් වෙඩි තියපන් ඩෝ වැනි කතාන්දර වලට මේ වන විට කල් ඉකුත් වී  තිබේ. එක් පැත්තකින් විවිධ මාක්ස් වාදී සංවිධානත් තවත් පැත්තකින් රසල් වාදී හේතුවාදී සංවිධානත් එක මිටකට ගෙන නලින් සිල්වාගේ ප්‍රහාරයෙන් නිදා සිටි බොහෝ ජාතික වාදීන් පවා නව පනකින් අවධි වන්නට විය. ගුණදාස අමරසේකරයන්ද “ගණඳුරු මැදියම දකිනෙමි අරුණලු” යන පොත එලි දක්වමින් ජාතික ප්‍රවනතාවය තව තවත් මුවහත් කරන ලදී. මේ සංවාදය හරහා ඇතැම් මාක්ස්වාදය අනු දැක යම් දේශපාලන වැඩපිලිවෙලකට දායක වූ පක්ෂ කණ්ඩායම් පවා සිය උපාය මාර්ගය වශයෙන් ජාතික වාදී වැඩපිළිවෙලකට සේන්දු විමද සිදුවූයේ ඉතා අනතුරු දායක න්‍යායික ගැටුම් සංවාද විසංවාද හරහාය. ඒ කාලයේ ඇතැම් අවස්ථාවල මේ ලියන බ්ලොග් කරුටද ගොඩ වැද්දෙකුගේ කාර්ය භාරය ඉටු කිරීමට බලපෑම් එල්ල වූ කාලයකි. එකම ජන සමාජයකින් විභේදනය වූ වනයේ දිවිගෙවූ වැද්දා සහ නගරයේ දිවි ගෙවූ සිවිල් පුර වැසියා අතර සම්බන්ධය රැක ගන්නා ලද්දේ සරමකින් අඹුඩයක් ගසා ගත් ගොඩ වැද්දන් විසිනි. කොටින්ම හෙළ බස සහ විවිධ නැසී යමින් තිබි සාම්ප්‍රධායන් ගොඩ වැද්දන් නිසා ආරක්ෂා වූ බවද දන්නෝ දනිති. නලීන්ද සිල්වාද මහතාද අද මෙන්ම ඒකාලයේද නව පරපුරට තමා දන්නා වූ දැනුම  බෙදා දීමට ඔ්නෑම අවස්තාවක සිය කාලය සහ ශ්‍රමය කැප කිරීමට නිර්ලෝභී අයෙකු විය. සොභාදහමේ දයලෙක්තිකයවත් නිසි ලෙස හදාරා නැති ඊනියා මාක්ස් වාදීන්ගේ සුරංගනා කතා වලින් සහ ඇකඩමියානු විද්‍යාත්මක ප්‍රවේශ වලින් ජාතික චින්තන කතිකාවට කිසිත් සිදුවූයේ නැත. නමුත් පසු කාලයක ඔවුන් ජනප්‍රිය ධනේශ්වර දේශපාලනික සම්බන්ධතා හරහා ජාතිවාදී ලේබලය යටතේ නව පරපුරෙන් ජාතික චින්තනය විතැන් කිරීමේ උත්සාහයකට සේන්දු වී තිබේ.


“අපෝහක භෞතික වාදය, බුදුදහමේ පටිච්ච සමුප්පාදය,පශ්චාත්-නූතන විසංයෝජනය ආදී සියල්ල තුළින් මේ බිමේ වර නැගෙන්නේ රසල්ගේ හේතුඵලවාදයයි. කාරණය රසල්ගේ හේතුඵලවාදය තබා බුදුන්ගේ හේතුඵලවාදයවත් මෙබිම පැල කරන්නට බැරි විමයි.  විනය වර්ධණ කරුවන් මෙන්ම කොවුර් වාදීන්ද එහිදී අසමත් වීමයි.
-         කේ කේ සමන් කුමාරගේ  “උනගේ කලාව සහ අපගේ කලාව”
               (මං කෙලින් මිනිහෙක් නිමිත්තෙන් කළ විචාරය -පිට 09)

                 1987 මැගසින් බන්ධනාගාරයේ  පැදුරු සංවාදයකදී මා ඔවුන්ගේ පක්ෂයට පිටස්තරයෙකු වුවත් ඒ මොහොතේ දේශපාලනික මිතුරෙකු වශයෙන් රංජිදම් ගුනරත්නම්ගෙන්ද, ජ.වි.පෙ හිටපු  දේශපාලන මංඩලයේ සාමාජිකයෙකු වූ බණ්ඩාර තෙන්නකෝන් සහ තවත් දැනුවත් කීප දෙනෙකුගෙන්ම   “මාක්ස් එංගල්ස්ගේ සොභාදහමේ දයලෙක්තිකයද? නැතිනම් රසල් කොවුර්ගේ දෙවියෝ සහ භූතයෝද ?” යන ප්‍රශ්නය විමසා ඇත්තෙමි.  ඔවුන් ඊට ස්වභාදහමේ දයලෙක්තිකය ලෙස පිළිතුරු දුන් නමුත් ඔවුන්ගේ විචාර කලාව තුළ එසේ සිදුවන්නේද යන ප්‍රශ්නයට අද දවසේ පිළිතුරු දීමෙන් පලක් නොවන වගද සැබෑවකි. සොභාදහමේ දයලෙක්තියකය ග්‍රන්ථය සම්බන්ධව සියුම් ඔත්තුවක් මුලින්ම සඳහන් කර තිබුනේ මාර්ටින් වික්‍රමසිංහ විසින් 1947 “බුදු සමය සහ සමාජ දර්ශනය” නැමති ග්‍රන්ථය තුළිනි. ඒබ්‍රහම් ටී කොවූර් විසින් 1959දී විශ්‍රාම ගෙන 1960 හේතුවාදී සංගමයේ සභාපති වී සමාජවාදී කාලෝ පොන්සොකා සමග එක්ව රසල් වාදය ප්‍රායෝගිකව ලාංකීය මහපොළවට සරිලන සේ හේතු වාදය ලෙස පැල කිරීම අරඹා තිබේ. දෙවියෝ සහ භූතයන්ගෙන් ආර්ම්භ වූ එම ව්‍යාපෘතියෙන් යම් වාසියක් වූ නමුත් අපෝහක භෞතික වාදය වෙනුවට මාක්ස් වාදීන්ගේ න්‍යායික තත්ත්වයන්ට හේතුවාදය පත්විමේ හේතුවෙන් සිදුවූ බරපතල හානිය සුළුකොට තැකිය නොහැකි බව මෙම බ්ලොග් කරුගේ මතය වේ. මන්ද වික්‍රසිංහගේ සොබාදහමේ දයලෙක්තිකය සම්බන්ද සුළු එලිදරව්වේ සිට අසූව දශකයේ මුල දයලෙක්තික භෞතික වාදය සිංහල මුද්‍රණය නිකුත් වන වසර තිස් තුනක් පමණ වන තෙක් මාක්ස්වාදී විචාරයට කිහිලි කරුවක් වී ඇත්තේ දයලෙක්තික භෞතික වාදය නොව රසල් වාදය සහ කොවූර් වාදයේ දැවැන්ත අවතාරම බව පෙනේ. එහෙත් විප්ලව වාදී කොමිනියුස්ට් සංගමයේ කම්කරු මාවත ප්‍රකාශන තුල රසල් වාදය සහ කොවුර් වාදය යාන්ත්‍රික භෞතික වාදය ලෙස පැහැදිලිවම වෙන් කොට ප්‍රතික්ෂේප කොට තිබුනාද මතකයේ තිබේ.  “සොබා දහමේ දයලෙක්තිකය” සිංහල පරිවර්තනය නිකුත් වී වසර 25ක් ඉක්ම ගොස් ඇතත් “ස්වභාදහමේ දයලෙක්තිකය” විවේචනාත්මකව සිංහලෙන් කියවා ඇති අය අද හමුවන්නේද කලාතුරකින් බවද සටහන් කළ යුතුය. නලින් සිල්වාගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රශ්න බවට පත්වන්නේ බටහිර විද්‍යාව පමණක් නොවන වගද අප දැනගත යුතුය. විද්‍යාව අපෝහාත්මකව විචාරය කිරීමක් වන ස්වභාදහමේ දයලෙක්තිකයේ ඇතැම් මතවාදයන්ද මේ තත්ත්වය මත දෙදරා ගොස් තිබේ. එහෙත් මේ වන තෙක් ලාංකේය මාක්ස්වාදීන්ගේ දර්ශනයට විප්ලව වාදී කොමිනියුස්ට් සංගමයේ හැර අත් පොත් වී ඇත්තේ “දෙවියෝ සහ භූතයෝ” ග්‍රන්තයේ සිට “හේතුවාදී සංදේශය” වැනි කොවූර්ගේ රසල් වාදී පොත් පත් විනා ස්වභාදහමේ දයලෙක්තිකය නොවන වග සහතිකය. තවත් පැත්තකින් මේ වන විට ලාංකේය විචාර සිද්ධාන්තයෝ යථාර්ථවාදයදය ඉක්මවා පශ්චාත් නූතන වාදී ඉසව්වකට සේන්දු වී ඇති බව සැබෑවකි. පශ්චාත් නූතන වාදය අනුදැක ලිපි ලියන සමහර නවකයන් ඇතැම් අවස්තාවල රසල් වාදී අදහස් මාක්ස් පිට පටවමින් ළදරු වලිප්පු සංවාදය පශ්චාත් නූතන වාදයටද සාධාරන බව සාධනය කරමින් සිටී. ජාතික චින්තන කතිකාවෙන් රසල්ලාගේ හේතුවාදයේ කරදර කාරී අර්ධය තරමක් හෙට්ටු වූ නමුත් ජාතික වාදීන් තේරවාදී සංස්කෘතික අවකාශයේ දක්ෂිණාංශික පක්ෂ කණ්ඩායම් වලට දැක්වූ පක්ෂපාතිත්වය හේතු කොට ගෙන මාක්ස්වාදීන්ගේ හේතුවාදී තර්කනයන්ගේ පසු ගාමිත්වය සම්පූර්ණයෙන් නැති කිරීමට ජාතික චිංතන කතිකාව බලයක් බවට පත් වූයේ නැත. මේ සඳහා වූ හේතු කාරණා සෙවීමේදී කුළවාදී පදනමෙන් පටන් ගෙන ජාතිවාදී තලයක් දක්වා විහිදී යන දේශපාලන විග්‍රහයක අවශ්‍ය තාවය මතුවී පෙනේ.
                   
                කලා විචාරයට අනුකූලව කේ කේ සමන් කුමාරට නැවත මේ ප්‍රශ්නය නගන්නට සිදුවීම ලාංකේය වාමාංශික විචාර ඉතිහාසයේ අපෝහක භෞතික වාදය සහ යාන්ත්‍රික භෞතික වාදයේ එක ගෙයි කෑමේ දුසිරිතට අතුල් පහරක් වූවා සේය. මේ වන විට අපෝහක භෞතික වාදයද විද්‍යාවේ නව බිඳ වැටීම් කරනකොට ගෙන විවිධ ප්‍රශ්න ගණනාවකට මැදිවි තිබේ. කේ කේ සමන් කුමාරගේ  ප්‍රකාශයට පිළිතුරු සෙවීමේදී ඒ තත්ත්වයන් ඉතා සරළව තමා තුළම සංවාදයක් නිර්මානය වනු ඇත. සැබෑවටම මේ නිමේශයේ නිර්මානය වී තිබෙන ගෝලීය සංකල්ප වෙළඳ ‌ අවකාශය මත මහා සංවාද කිරීමට ප්‍රාග්ධන සංචිතයන්ගේ මහා පොදු සාධකය කිසිසේත් සූදානම් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ  සංවාද නැතිව කෙලින්ම ගෙවිය යුතු මුදල ගෙවා ගෙඩිය පිටින්ම භාණ්ඩය අයිති කර ගැනීමයි. අද සංවාද අවකාශයකට නැවත පන පොවන්නේ ඒක පුද්ගල ව්‍යාපෘතියක තනි බලයක් තහවුරු කරගැනීම සඳහා බව මේ බ්ලොග් කරුද නොදන්නවා නොවේ.

                 සයිමන් නවගත්තේගමගේ තිර රචනාවක් ඇසුරින් ධර්මසිරි බණ්ඩාරණායක අධ්‍යක්ෂණය කළ “සුද්දිලාගේ කතාව” 1984 දී තිරගත විය. “සුද්දිලාගේ කතාව”  සිනමා නිර්මාණය පිළිඹඳව ප්‍රසිද්ධ සම්මන්ත්‍රනයක් එකල මහජන   පුස්තකාලයේදී පැවැත්වූ අතර එහි
හේතුවාදී විචාරකයා වූයේ හේතුවාදී සංගමයේම ප්‍රධානියෙකු වන මහාචාර්ය කාලෝ පොන්සේකාය. එදින ඔහු “සුද්දිලාගේ කතාව” චිත්‍රපටයේ සියලු චරිතයන්ගෙන් මතුවන ලිංගික ආවේගයන් ගැන වෛද්‍ය වරයකු වශයෙන් හේතුවාදී සාධක මතු කරන්නට විය. කෙසේ හෝ නිරෝගී මිනිසා සහ රෝගී මිනිසා වශයෙන් කණ්ඩනය කර ඔහුගේ වෛද්‍ය විද්‍යාත්මක හේතුවාදී මතවාදයෙන් සුද්දිලාගේ කතාව සරසන ලදී. කේ කේ සමන් කුමාර සහ සුනිලා අබේසේකර කාලෝ පොන්සේකාට එදින යම් ප්‍රතිවිරෝදයක් දැක්වූ බවද මතකයේ තිබේ. එහෙත් මෙම බ්ලොග් කරුට අනුවනම් අවසානයේදී කාලෝ පොන්සේකා විසින් හේතුවාදයෙන් සරසා තිබුනේ “සුද්දිලාගේ කතාව” සිනමා නිර්මාණය නොව වික්ටෝරියානු සදාචාරවාදී ලිංගිකත්වයේ දැරහැව බවය. ඉන් සිදුවූයේ ලිංගිකත්වය ගැන විමසිලි මත් වන්නන් රෝගීන් වශයෙන් වර්ග වූ වික්ටෝරියානු ලිංගික දැරහැවට නව හේතුවාදී අර්තකතන සැපයීමක් පමණි. කණගාටුව වන්නේ මෙවන් පසුගාමී තත්ත්වයන් 2019ටද වලංගු වී තිබීමය.
අසංක සායක්කාරගේ “මං කෙලින් මිනිහෙක්” නාටකය සහ නදීකා බණ්ඩාරගේ “තෙත් භූමි” නාටකය මේ දිනවල අමුතු සද්ද දමමින් වේදිකා ගත කිරීමට සිදුවී තිබෙන්නේද මේ තත්ත්වයන් තවමත් හොල්මන් කරන නිසාය. මේ නිර්මාන දෙකටම ප්‍රධාන කොට න්‍යෂ්ටික
බලයක් වී තිබෙන්නේ ලිංගිකත්වයේ සංකේතීය පොදු සාධකයකි‍. මේ කෘති දෙක සඳහාම විචාරාත්මකව සක්‍රීයව පෙනී සිටි කේ කේ සමන් කුමාරට මේ වන විට රසල් වාදය හරහා මතුවන වික්ටෝරියානු දැරහැව කරදරයක් වී ඇති බව පෙනේ. මේ නිර්මාණ දෙකට අමතරව මැතකදී බිහිවූ නව නිර්මාන බොහෝමයක් ලිංගිකත්වයේ දැරහවෙන් වල්මත් වීම වෙනම කතා කළ යුත්තකි. මේ නාට්‍ය දෙකම රසිකයෝ නරඹන විට අනිත් නරඹන්නන් දෙසද හොරැහින් බැලීම සාමාන්‍ය දෙයක් බව ඔබටම වටහා ගත හැක. වික්ටෝරියානු ලිංගික දැරහවේ යතුරු හිලේ සීමාවද කොතනින්හෝ  ඇඳිය යුතුව තිබෙන බව සිතෙන්නේ එවැනි අවස්තා වලදීය.  

        වාමාංශික පක්ෂ සහ සංවිධාන චන්ද ප්‍රමානයෙන් පරාජය ලැබුවාට පුංචි උප සංස්කෘතියක් ආකාරයට තිබි වාමාංශික සංස්කෘතිය මේ වන විට මහා උප සංස්කෘතියක් බවට පරිවර්තනය වී හමාරය. වම නොවන වම බවට පත්වූ නව වාම සංස්කෘතියේ දුර්වලයන් පරයා ජනතා වාදීන් ඉස්මතු වී සිටී. බීෂණයේදී කැරළි කරුවෝද කැරැල්ල මර්ධනය කිරීමට බිහිවූ කණ්ඩායම්ද වාම සංස්කෘතිය නියෝජනය කිරීම නිසා වම් ඉවුරේ හෘද ශාක්ෂියද තවමත් දෙදරමින් තිබේ. රසල්වාදී හේතුවාදය හරහා හේතුවාදී සංස්කෘතියද වැඩි වශයෙන් වමේ සංස්කෘතියට ස්වීකරනය වීමෙන් මිනිසුන්ගේ දෙබිඩි බව වාමාංශික සංස්කෘතියේ විද්‍යාත්මකවම මේ වන විට තහවුරු වී තිබේ. විශ්ව විද්‍යාල වලින් පිටවන සිසුවන්ගෙන්ද, කලා කාරයෙකු හෝ ජන මාධ්‍ය වේදියෙකු වීමට ගමෙන් නගරයට එන වැඩි පිරිසකගෙන්ද, විශ්ව විද්‍යාල වලින් සහ සියලුම උසස් අධ්‍යාපනික ආයතන වලින් පිටව යන්නන්ගෙන්ද, රාජ්‍ය නොවන සංවිධානයන්ගේ නියැලෙන්නන්ද, පැරණි වාමාංශික පක්ෂ සහ සංවිධාන වල සිට පශ්චාත් නූතන වාදී පක්ෂ සහ සංවිධාන දක්වා සම්බන්ධ වී සිටින පිරිසෙන්ද, සමාජ ජාලා හරහා බුද්ධිවාදී වීමට තැත් කරන්නන්ගෙන්ද, සියළුම බුද්ධිමය ආයතන සහ ජනමාධ්‍ය ආයතන වල සේවය කරන්නන්ගෙන්ද මොහොතින් මොහොත වාමාංශික සංස්කෘතිය ශක්තිමත් වෙමින් තිබේ.  වාම සංස්කෘතියේ විශාලම මහා සංස්කෘතික තේමාව වන්නේ සුළු ජාතික ප්‍රජාව බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. උප සංස්කෘතික උප කුලකයන් ගණනාවකින් හෙබි මෙම නව වාම සංස්කෘතියේ පුංචිම උප කුලකය වන්නේ විද්‍යාව ස්වකීය දර්ශනය කර නොගත් පිරිසේ උප සංස්කෘතික කුලකය වේ. විශාලම උප සංස්කෘතික කුලකය වන්නේ විද්‍යාව ජීවිතය කරගත් රසල්වාදීව කොවුර්ගෙන් නිර්මානය වූ උප සංස්කෘතියයි. විශාල පරස්පරයන්ගෙන් හෙබි අච්චාරුවක් වූ  මහා  වාම සංස්කෘතියක් අප කැමති වුවත්, නැති වුවත් මේ වන විට ලාංකේය පොළවේ පැලවී හමාරය. අණ්ඩු වෙනස් කිරීමේ හැකියාව ඇති පාවෙන චන්ද පදනමේ ක්‍රියා කාරිත්වයට වග කියන්නේ මේ වමේ සංස්කෘතික කුළකයේ චන්ද
දායකයන්   බව කවුරු කවුරුත් වටහා ගත යුතුය. ජ්‍යාතන්තර වාම වාදීන් ලිබරල් වාදීන් සමග දීග යාමේ ප්‍රවනතාව ගැන ජාතිකවාදි බුද්ධිමතුන් අනතුරු ඇගවූූ බවද සිහියට නැගේ.  මේ වාම ලිබරල් සංස්කෘතියට ප්‍රති විරුද්ධව ඇති එකම ජාතිකවාදී සංස්කෘතිය නිහඬ කිරීමට වාම ලිබරලුන්ගේ එකම ආයුධය වී ඇත්තේ ජාතිවාදී ලේබලය බව පෙනේ. මේ තත්ත්වය වර්ධනය වීමේදී අතීතයේ සිටම දේශපාලනික වී ඇති තේරවාදය සමග සටන් කිරීමට මතවාද නිෂ්පාදනය කිරීමට යාමේදී වාමාංශික සංස්කෘතිය තුළ නිරාගමික වශයෙන් තවත් ආගමික පෙලපතක් ඇතිවීම නිතැතින්ම සිදුවිය යුතු ක්‍රියාවකි. ආගමික ගැටුම් ඇතිවී ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්න මතුවිය හැකි බැවින්  මේවාට වම් කුලකයෙන් හැර ඉන් පිටත තැනකින් ඔ්පපාතිකව බිහිවිය නොහැක. දේශපාලනීකරණය වී ඇති තේරවාදය මහායානයට වඩා බෙහෙවින්ම ඉදිරි ගාමීය. ජනතාවගෙන් ආරක්ෂා වීමට මහායානයෙන් බුදුන්ව බේරාගෙන තේරවාදයට අමු අමුවේ පහර දීමට තේරවාදී පුතිවාදීන්ට සිදුවීම අහඹුවක් විය නොහැකිය. එහෙත් මොවුන්ගෙන් සිදුවන්නේ සත්‍ය ගවේෂණය සඳහා දායක වූ තන්ත්‍රයානික කෝ ආන් වැනි ආධ්‍යාත්මික කතන්දර සුන්දර වීර කාව්‍ය බවට පත්වීම පමණි. ඉතාමත්ම මෑත කාලයේදී මේ සලාද තත්ත්වයන් දරාගත නොහැකි පිරිසකගේ දැනටද මතුවී ඇති විරෝධය ඔවුන් වමේ සංස්කෘතියෙන් කණ්ඩනය වීමෙන් අවසන් වනු ඇත. ජාතිකවාදී කුලකයේ ඇතැම් දේශපාලනික උද්දච්ච තත්ත්වයන් කළමනාකරණය කරගන්නා මොහොත විසින් ඒ මොහොත කවදාදැයි තීරණය කරනු ඇත. වම් ඉවුරේ විසංවාද වැඩිවී ඇති වී තිබෙන අර්බුදය සමනය කර ගැනීම හිතන තරම් පහසු විය නොහැකි තත්ත්වයද යථාර්ථයක් වී තිබේ. මොවුන්ගේ විරෝධාකල්ප කළමනාකරණය කිරීම සඳහා නූතන ගෝලීය මාධ්‍ය වෙළඳ ප්‍රචාරණය පැය විසිහතරේම අවධියෙන් සිටින බව පෙනේ. සංඛ්‍යාලේඛන මත යැපෙන සමාජ ජාලා ප්‍රාග්ධනය ඉතා දක්ෂ අන්දමින් ප්‍රජාව මගින් ප්‍රජාව පාලනය කරමින් අද මිනිසුන්  සිහින ලෝකයක අතරමං කර තිබේ. අද දවස හෙට දවසේ කළල රූපයක් නොව අද දවසේ කළල රූපය හෙට දවස බවට පත්කර ගැනීමට තරම් සමාජ ජාලා ප්රාග්ධනය සූක්ෂ වී ඇත. මිත්යාව ආගමෙන් විද්යාගාරය හරහා වෙළඳ පොළ අවකාශයට මාරු කර තිබේ. ශරීරයටත් හොරා මිනිස් ඇස් තමාගෙන් වෙන් වී අනිකාගේ සිහින මගින් තමා පාලනය වෙමින් සිටී.
ජගත් මාරසිංහ
(ඉතිහාසයේ සාක්කි කාරයෝ)
2019 02 09





Powered by Blogger.