නොකියපු කතා

නොකියපු කතා 

අප රටේ පිරිසක් බුදුන් වහන්සේගේ ධර්මය පිළිගනිමින් අදහමින් ජීවත් වේ. තවත් පිරිසක් බුදුනුවන්ගේ ධර්මය පිළිගනිමින් නොඅදහමින් දිවි ගෙවයි. තවත් සමහරක් බුද්ධ දර්මට පිළිනොගනිමින් බුදුනුවන්වද නොඅදහමින් ජීවත් වේ. මේ සියල්ලන්ගේම කේන්ද්‍රීය සංකේතීය බල රූපය වන්නේ තවමත් බුදුන් වහන්සේය. එහෙයින් මේ තත්ත්වය තුළ ගෝලීය වෙළඳ සංඥාවක් වශයෙන් බුදුනුවන්ව පත්කර ගැනීමට ගෝලීය ප්‍රාග්ධන වෙළෙන්දෝ මොහොතකටවත් පසුබට වී නැති බව අදවන විට පැහැදිලි වී හමාරය. අප රටේ එදා සිටම දේශපාලන කරලියේ බලයක් වූ බෞද්ධ සංස්කෘය මේ තත්ත්වය මත නව මුහුණුවරකින් කරලියට පැමින ඇත්තේ තක්කඩි වෙළඳ දැන්වීම් මාධ්‍යවේදීන්ගේ සෙල්ලම් සංස්කෘතියද උඩ දමමින්ය. මෙම වෙළඳ දැන්වීම් මාධ්‍ය නඩය දේශපාලනය සහ දැන්වීම් කලාව පිළිඹඳව පමණක් නොව කලාවේ නිෂ්පාදන ආර්තිකය සහ දේශපාලන තක්කඩි කම් පිළිඹඳවද කාසියේ වාසියට ඩීල් දැමීම් සම්බන්ධවද සචේතනික දැනුමක් ඇති පිරිසකි. එහෙයින් ඔ්නෑම ගැටලුවකට බුදුනුවන්වද සිංහල බෞද්ධ මැක්කෙක් බවට පත්කර  තමන්ගේ ප්‍රචාරක වාසිය මතුකිරීමට ඔවුන්ට ගතවන්නේ ඉතා සුළු මොහොතකි. මේ තත්ත්වය මත එදා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂව බෞද්ධ සංස්කෘතිය සම්බන්ධව   මාක්ස්වාදී බුද්ධිමතුන් මතුකරන ලද සාධාරන විචාරාත්මක කියවීම් අද ප්‍රතිනිර්මානය වී රාව නැගෙන්නේ සුකිරිබටිල්ලන්ගේ ගීත ආකාරයෙන් බව වටහාගැනීමට අටුවා අවශ්‍යය නොවන වග පැහැදිලිය. කෙසේ හෝ මේ අතරින් ඇතැම් දුහුනන්  බුදුන්නුවන්ගේ නුගුණ විවේචනය කරමින් අයුතු ලෙස සිය බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන ආකාරයද මෝස්තරයක් බවට පත්වී තිබේ. කණගාටුවට හේතුවක් වී තිබෙන්නේ නිර්මාණාත්මක කලාත්මක ප්‍රතිභාවකින් අනූන ඉතා දක්ෂ නිර්මාණාත්මක අංකුර කළාකරුවන් පිරිසක්ද මෙම වෙළඳ ප්‍රචාරණයට නතුවී තිබීමය. වෙනදා මෙන් පාලු අම්බලමක වළං බිඳීමට මෙවර වෙළද දැන්වීම් මාධ්‍ය වේදීන්ගේ සංස්කෘතියට හැකිවයක් ඇත්තේ සිය ප්‍රාග්ධනයෙන් පමණක් බවද පැවසිය යුතුව ඇත. මන්ද දේශපාලකයන්ට පමණක් සීමා වී තිබි ප්‍රදර්ශන ජීවිතය සහ ඇත්ත ජීවිතයේ තොරතුරු හෙලිදරව් කිරීම මේ වන විට සමාජ ජාලා ලේඛකයන් දක්වා පුළුල් වීමට කොන්දේසි මෝරා ඇති නිසාය. කොටින්ම යමෙකුගේ ලිවීමේ ඇත්ත තත්ත්වය ඇත්ත ජීවිතයෙන් හෙලිදරව් කිරීමට කාලය බලකර සිටින යුගයක් උදාවී තිබේ.
ජගත් මාරසිංහ
2019 06 10


Powered by Blogger.