බලු වල්ගයකින් විශ්මිත ආලෝක නාභියක්....

                                        බලු වල්ගයකින් විශ්මිත ආලෝක නාභියක්....

     සයිබර් රස්තියාදුවේ තිබෙන්නේ අරුම පුදුම ගමනකි. හරියටම සිතේ ක්‍රියාකාරිත්වය මෙනි. ලංකාවේ සිට අභ්‍යාවකාශයටත් එතනින් ඇමරිකාවටත් කොටින්ම කොහේ හෝ තූත්තුකුඩියකට පනින්නට යන්නේ තප්පරයෙන් පංගුවකි. ගමන ඒකාකාරීනම් හෝ වෙහෙසනම් නැවත අභ්‍යාවකාශයට ගොස් සූන්‍යතාවයේ භාවනාවකට සම වැදී කැමති රටක කැමති තැනක රස්තියාදු විය හැක. අඩියකට, පුඩියකට, සිගරට්ටුවකට, විටක් හැපීමට කිසිවෙකුගෙන් තහනමක්ද නැත.

     කැනඩාවේ සිට හදිසියේ  ‍ටුවිටර් සමාජ ජාලයට පැන්නේ වෙනත් වැඩක් කරන්නටය. එහිදී බලුවලිගයක කවයක් තුළින් කාන්තාවන් දෙන්නෙක් දුටුවෙමි. කළු ඇඳගත් හැඩි දැඩි පොරක් මාදෙස බලාසිටිනවා මෙන් දැනුණි. චකිතයක් ඇතිවිය. ඒ ඡායාරූපය වටා මාරස චලලෝචනයෝ විනිවිදින්නට විය. මේ ඒ වීදිඡායාරූපයයි. මේ සඳහා කොතරම් ඉවසිල්ලක් ඡායාරූප ශිල්පියා ඉවසුවාද යන්න හිතාගන්නට අපහසුය. අහම්බයක්ම නොවන බව දකුණේ කලු කමිසකාරයාගේ මුහුණ ශාක්කි කියනවා සේය. චරිත කාණ්ඩ වශයෙන් සහ තනි වශයෙන් ප්‍රධාන වස්තු ත්‍රිකෝණයකට මැදිවී තිබේ. කොහොමත් සුලු කෝණික ලක්ෂ්‍යයේ ඇති කැරකැවී ගිය සුනක වලිගයේ මැද රවුමට ඈතින් සිටින ප්‍රධාන ස්ත්‍රී චරිත දෙක කොටු කරගෙන තිබේ. පින්තූර රාමුවේ මැද සුනක වල්ග කවය  කැපී පෙනේ. චරිත වශයෙන්ද ඒ ගැහැනු චරිත දෙකකි. ආලෝක ත්‍රිකෝණයේ අනිත් ලක්ෂ්‍යන් දෙකේම පිරිමි චරිතය. ඉදිරි ලක්ෂ්‍යන් දෙකෙහි දෙදෙනා බැගින්ය. ආලෝක ත්‍රිකෝණයේ දුර ලක්ෂ්‍යයේ පිහිටුම් චරිතය පිරිමි චරිතයකි. ඒ චරිතය තෙවැනිව වැදගත් වී තිබේ. වීදි ඡායාරූපයක් තරම් ප්‍රශ්න ඇසීමට සමත් වෙනත් රූප රාමු තියනවාදෝයි සැක සහිතය. මේ ආලෝක රාමුවෙන්ද අපෙන් අසන ප්‍රශ්න ගණනාවකි. නමුදු ස්වභාවික අභිනයන් ගණිතමය ආලෝක රාමුවක ප්‍රශස්ත අන්දමින් රඳවා තබාගත්තා සේය. උණ පුරුකේ දැම්මත් බලු වලිගය දිග හැරිය නොහැකි බව කතාවක් තිබේ. අහම්භීය රූපකායන් ප්‍රවීන වීදි ඡායාරූප ශිල්පියෙකුගෙන් ගිලිහී ගිය නොහැක. ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රිකට් බයි චාන්ස් කියා කතාවක් තිබේ. කොතරම් දක්ෂතා ඇතත් අහම්බය අනිවාර්ය වන ක්‍රිකට් ක්‍රීඩාවේද විශ්මිත අවස්ථා එමටය. වීදි ඡායාරූප වලද එසේමය. සමහර විට අහඹුව විසින් අති සාර්ථකත්වයට පත් කරයි. සමහර විට සම්ර්ණයෙන්ම ඉලක්කය වැරදී යයි. වාසනාව යන සංකල්පය යාවත්කාලීන වෙයි.

    ප්‍රවීනත්වය, ප්‍රතිභාව, සහ වාසනාව ත්‍රිත්වයම එක්ව මේ ඡායාරූපය විඳගැනීමට සිතිණි. ඉක්බිත් බෙදා ගැනීමට සිතිණි. තමන් විඳගත්තාවූ සතුටක්  අනෙකුන් සමග බෙදා ගැනීම තරම් සතුටක් මාරසට තවත් නැතුවා වන්නටද පුළුවන. කැමරාකාචය බලු වල්ග සිදුරෙන් ගොස් දඩයම් කරගන්නා ලද ඒ කාන්තාවන් දෙදෙනා මේ කතා කරමින් සිටින්නේ මොනවා ගැනද? දැන් ඔවුන් දෙදෙනාවත් ජීවතුන් අතර ඉන්නවාද දන්නේ සූර්යා පමණි. සූර්යා අතීතයේද දෙවියෙකු වශයෙන් මිනිසුන් දැක්කේ නිකම්ම නොවන වග සිතේ. ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන වාහනයක් සොයාගත්තේනම් අයින්ස්ටයින් කිව්වා සේ අතීත ආලෝක රාමු නැවත දැකිය හැකිය. එහෙත් එතරම් කල් මිනිසාට ඡීවත් විය නොහැක. වීදි ඡායාරූප අපට පවසන්නේ ඒ ආලෝක දඩයම් පියවි ඇසින් බලාගැනීමට මතු ආත්ම ගැන විශ්වාස කරපල්ලා කියාද යන සැකයද මතු වේ. කලාවේ ආනන්දය මිනිසා ජීවිතයට පමණක් නොව පැවැත්මටද පෙම්බන්දන්නේය.

www.jagathmarasinghe.com

26 09 2022 


Powered by Blogger.