මාරස උපන් දින සටහනක්

                                                මාරස උපන් දින සටහනක්           

         මට පමණක් නොව ලෝකයේ සෑම ජීවී සත්වයෙකුටම උපන් දිනයක් තිබේ. උපන් වෙලාවක්ද තිබේ. මේ මා හට වයස හැට තුනක් ලබන උපන් දිනයයි. අද මා උපන් දිනය වුවද ව්‍යාහාරික ග්‍රෙගරියන් කැලැන්ඩරයට අනුව මගේ උපන්දිනය වන්නේ හෙටය. මන්ද සිංහල හැටපැයේ සම්මුතිය අනුව දවස පටන් ගන්නේ සූර්ය උදාව සමගය. දවසකට පැය 60 කි. නමුත් දැනට ව්‍යාහාරික ලෝක ග්‍රෙගරියන් කැලැන්ඩරයේ සම්මුතියට අනුව දවස පටන් ගන්නේ රාත්‍රී දොලහටය. දවසකට පැය 24කි.

මගේ උපන් වෙලාව සඳහන් වන්නේ පෙබරවාරි 18 ශනි දා රාත්‍රී 12 පසුවී විනාඩි 48ක් ලෙසින්ය. ඒ සිංහල හැට පැයේ ක්‍රමයට අනුව රාත්‍රී 12 පැන්නද පසු දින හිරු උදාවන තෙක් 18 රාත්‍රිය ගෙවී නැති නිසාය. නමුත් 18 දා රාත්‍රී 12 පසුවී විනාඩි 48 යන්න ව්‍යාහාරික කැලැන්ඩරයට අනුව කියන්නේනම් 19 දා උදෑසන විනාඩි 48න් උපත සිදුවී ඇති බවය. තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා කියනවා මෙන් ග්‍රහචාරයට අනුව කොහෙන් ගත්තත් ලග්නයනම් ඒකක්ම වන්නේය. ගෝනුස්සා ගෝනුස්සාමය.

තවත් පැත්තකින් ගත්කළ නැවත ලබන උපන් දිනය ආසන්න වශයෙන් සැබෑ උපන් දිනයක් වීමටනම් උපන් දවසද ශනිදාම විය යුතුය යන්න තවත් සම්මුතියකි. එවන් උපන් දින ලබන්නේ පුද්ගලයෙකුට කීපයක් පමණි. එතනින් ගත්කළද මතුවන්නේ තර්කයක් පමණි. ‌‌

කෙසේ නමුත් මේ අධිරාජ්‍ය වාදීන්ගේ පහසුවට නිර්මාණය කරගත් දිනදර්ශනය. කැලැන්ඩරය. ජ්‍යෝතිෂයටනම් මේවා ප්‍රශ්නයක් වන්නේම නැත. ගෝනුස්සා ගෝනුස්සාමය. අප ගෝනුස්සා ලෙස හඳුන්වන්නේ වෘශ්චික රාශියයි.

කුමන තර්ක විතර්ක ඇතත් මා මගේ උපන් දිනයේ සැමරුම් දිනය ලෙස සලකන්නේ 18 දාය. ඒ මහා තර්කයක් නිසා නොව අපේ අම්මා තාත්තා මගේ උපන් දිනය සමරා ඇත්තේ සිංහල හැට පැයේ ක්‍රමයට 18 දා නිසාමය. ඉතින් වයස 63 ලබන විට මා ගැනද යමක් ලිවිය යුතුය. නමුදු මා කිසිත් ලියන්නේ නැත. මන්ද මා ගැන දේවල් කිව යුත්තේ තමා විසින් නොව අනෙකුන් විසින් බව අපේ අම්මලා තාත්තලා මට කියා දී ඇති නිසාය.

දන්නා පමණින් මා ඉපදී මගේ තාත්තාට සමරන්නට ලැබී තිබෙන්නේ එක් උපන් දිනයක් පමණි. තාත්තා නැති දරුවා කියා අනුකම්පාව ලබන්නට ඉඩ සලසා මගේ තාත්තා මා යාන්තන් අල්ලා හිටගන්නා විටම සිතීම සදහටම නවතා දමා තිබේ. මගේ කේන්දරයේ මෙය පැහැදිලිව දක්නට හැකි වීම මාරයා ග්‍රහතාරකා ක්‍රමවේදය නැමති සයුරේ පීන පීනා ‌සොයන්නට නොහැකි දේවල් සොයන්නට ගත්තා වීමටද පුලුවන. බාල කාලයේම තාත්තාගේ ඇසුර නැති ජීවිතය ගැන දන්නේ එසේ තාත්තා කෙනෙක් නැති දරුවන් පමණක් වන බව මාරස බොහෝවිට අත් දැක තිබේ. එසේ වන්නේ ඔවුන්ගේ තාත්තා ඔවුන් විසින්ම තර්කානුකූලව සිය මනසේ ප්‍රතිනිර්මානය කරගන්නා නිසාය.

තාත්තා නැති දරුවා කියා සමාජය කුඩාකළ අනුකම්පා කිරීම ළමා කල නම් මරේ මරුය. වැඩිවියට පත්වූ විට ඒ අනුකම්පාව ලැබෙන්නේ නැත. ඒ සම්බන්ධවනම් මාරසට සටහන් ලිවිය නොහැක. පොතක්නම් ලිවිය හැක.

කෙසේ නමුත් උපන් දිනය ලබන සැනින්ම සැමට පළමුව සිහිවන්නේ අම්මා සහ තාත්තාවය. නමුත් කුඩා කළ සිට තාත්තා කෙනෙක් නැති දරුවෙකුට හැම දිනම තාත්තා සිහිවන බැවින් අම්මාවද සිහිවන්නේමය. උපන් දිනය දවසකදී ඒ තත්ත්වය දෙගුන තෙගුණ වන්නේ අතීතකාමය නිසා නොවන්නේය කියා ලිවීම පසු ලිපියකට කල් තබමින් මාරස මෙසේ ලියමු. මේ ලෝකයේම දරුවන් අපේ දරුවන්ය. නමුත් දරුවන්ටද මේ ලෝකයේ තාත්තලා අම්මලා අපේ අම්මලා තාත්තලා වන යුගයක් උදා වන්නේ නැත. ඒ උදා කරගත යුතුය. ඒ සඳහා අනන්ත අප්‍රමාන කැපකිරීම් සිදුකිරීමට සිදුවීම අනිවාය. දැනටද එසේ සිදුවී තිබේ. අනාගතයේද එසේ සිදුවෙනවා නොඅනුමානය.

https://jagathmarasinghe.wixsite.com/mare

18 02 2024



Powered by Blogger.