නිව් යෝර්ක් නගරයේ වැසි සහිත වීදි ඡායාරූපකරණය

       නිව් යෝර්ක් නගරයේ වැසි සහිත වීදි ඡායාරූපකරණය

මාරස මේ කාලයේ ජීවත්වෙන තැනට මේ දැන් වැස්ස පටන් ගත්තේය. වැස්සෙසෙන් කරදරයක් මාරසටනම් නැත. මන්ද වැස්ස මාරසට සුන්දර නිසාය. පුරුද්දක් විදිහට කුඩ පාවිච්චියද මහා කරදර කාරී වැඩකි. ඒ අන් කරුනක් නිසා නොව කුඩ සහ පෑන පාවිච්චි කිරීම මාරසට අකැප බව දනිමි. මන්ද පෑන සහ කුඩය කොහේ හෝ අමතක වී ආපසු එන නිසාය. පිරිවෙනේ උගන්වන කාලේ නම් කුඩ නැති උනාට ගැටලුවක් නැත. එකල පන්සල්වල ඕනෑ තරම් කබල් කුඩද සුපිරි කුඩද පාවිච්චියට ඉල්ලා ගැනීමට තිබ්බා මතකය. ඒ නිසාදෝ කුඩ සහ පෑන් කොපමන ගණනක් මාරස අතින් නැති වූවාද කියා මතකයේවත් නැත. මේ වහින වැස්සත් සමග සයිබර් රස්තියාදුවේ යන මේ මොහොතේ මාද මේ මිනිසුන් සමග සිටිනවා වැනි හැඟීමක් මතුවිය. මේ වීදි ඡායාරූපයකි. ඒ තත්ත්වය තවත් සිත් ඇද ගන්නා දසුනක් විය. වහාම විපරම් කෙරුවෙමි. මේ නිව් යෝර්ක් නගරයේ වැසි සහිත වීදි ඡායාරූපකරණය නම් පිටක තිබෙන ඡායාරූපයක් බව සැබෑවකි. මේ පලකර ඇත්තේ ෂෝන් බෲෂ් නමැත්තෙක් විසිනි. මම පසුබිමින් එන වැසි හඬට කන්දෙමින් නිව්යොක් නගරයේ වැසි සහිත වීදි ඡායාරූප පිටුවේ ටික වේලාවක් ජීවත් වුනෙමි. ඒ ආශාව වැඩි වන්නට හේතුව වන්නේත් සයිබර් රස්තියාදුවට ඇළුම් කරන්නේත් මිතුරන් සහ දරුවන්ගෙන් කොතෙක් ඉල්ලීම් ලැබුනත් ගුවන්යානා වල ගමන් කිරීමට බීතිකාවක් ඇති නිසාය. ඒ බීතිකාව ආතතියක් බවද නොදන්නවා නොවේ. පාසැල් යන අවධියේනම් ඉන්දියාවට පමණක් බාලදක්ෂ ජැම්බරියකට යාමට තේරී ගොස් ආවා මතකය. ඒ ගමන ගියේද යම් බීතිකාවකිනි. එහෙත් අහසේ යන තරම් බීතිකාවක් ජලයේ යාමට නැත. ඒ මිනිසා ජලජ ජීවියෙක් නිසා කියා කියවා තිබෙන නිසා වීමටද හැකිය. නමුත් කාලයක් බාගයක් දමාගත්තේනම් ගුවන්යානයේ පාපුරුවක් තිබේනම් එහි එල්ලී යන්නටද ගට එන
බවත් දනිමි. හැබැයි ඒ ඊට වඩා ගැටලුවකි. මන්ද ඇල්කොහොල් සාන්ද්රණය වැඩි වුව හොත් කුමකින් කුමක් වේදැයි සිතෙන විටය.
කෙසේ හෝ නිව්යොක් නගරයේ වැසි සහිත වීදි ඡායාරූප කරණය නම් පිටුවේ රස්තියාදුවේ යන විට මා සිටින පලාතට වහින වැස්සද මොනවා හරි ලියපන් කියනවා සේය. කෙසේ හෝ නිදිවරන්නටනම් මාරස මාර කැමතිය. නිදිවරන්නාට රාත්රිය දිගයි කියා කතාවක්ද තිබේ. නයිට් කල්ට් පිස්සුවක් තවමත් තිබෙන්නේ ඒ නිසා වීමට පුළුවන. ඒ තත්ත්වයනම් ඇති වූයේ පොත් කියවන්නට ඇති ගිජුකම නිසා වීමට හැකිය. අහසින් යාමටනම් බියවූයේ කටුනායක ඉද්දැගොඩැල්ලේ සිදුවූ ගුවන් අනතුර අහසේ ගිනිබෝලයක් සේ දැක හැබැහින් බලන්නට ගියපසු ඇතිවූ මොළයේ රසායනික වෙනසක් කියා සිතාගෙන සිටිමි. නමුත් මේවා ගැන සොයාගෙන ගියහොත් විවිධාකාර තවත් කතන්දර අසා දැනගෙන නැති කරදරයක්ද ඇති වීමට ඉඩ ඇත.
කෙසේ නමුත් නිව්යොක් නගරයේ වැස්සේ පිටුව තුල දැක්කේනම් මහා විශාල බිල්ඩින් පමණි. අර සේකර නිව්යොක් ගිහින් සඳ දැක අපේ ගමේ වෙල් එලියට පායන සඳ කියා තනිකම මකා ගත්තා සේ මේද ඉතින් අර ගුනදාස අමරසේකර කිව්වා මෙන් .......

චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන
පොද නොකැඩි තෙතබරි ව හිරිකිතෙන් කිලිපොලන
පාර තොට, ගහ කොළ ද වසාගෙන හැම අතින
වහින වැහි වහින වැහි, නොපායන මුලු දවස
වාගේ තමා කියා වීදි ඡායාරූප වටහා දුන්නා සේය.
මේ ඡායාරූප ශිල්පියා මෙසේද ලයා තිබේ.

"නිව් යෝර්ක් නගරය වීදි ඡායාරූපකරණය සඳහා බොහෝ අවස්ථාවන් ලබා දෙයි. වඩාත් ප්රසිද්ධ ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙකු රැඳී සිටින 5 වන මාවත දිගේ දීප්තිමත් හා අව්ව සහිත දින ගත කළ හැකිය. පදික වේදිකා ධාවන පථ බවට පත්වන විට ඔබට SOHO විලාසිතාවේ ඡායාරූප ගනිමින් පැය ගණනක් ගත කළ හැකිය. මට නම්, වැස්ස වැටෙන විට වෝල් වීදියේ ඇවිදිමින් දවසක් ගත කිරීමට මට අවශ්ය බව මම දැන සිටියෙමි. පසුගිය දින කිහිපය තුළ මම කළේ එයයි."
මේ වීදි චායාරූප ශිල්පියාගේ තාක්ෂණික කැපවීම මම දිගින් දිගටම විපරම් කළෙමි. හඳ ගැන දැනගන්නට හඳට යන්නට අවශ්යතාවයක් නැති බව නොදන්නවා නොවේ. එහෙත් විදෙස් ගතවූ කෙනෙකුගෙන් නිව්යොග් නගරයේ වැස්ස ගැන ඇසුවානම් ඔහු කියන වැස්ස මීට වඩා බොහෝ වැදගත් මහා උද්දච්ච වැස්සක් වීමටද හැකිය. නැතිනම් ඔහු කියන වැස්ස අප විසින් හිතන වැස්සද ලොකුවට කියනවා මෙන් සිතනවා වන්නටද හැකිය. තවත් සමහරෙක් එහෙ කොහෙද බන් වැසි තිබෙන්නේ මෙහෙතරම් කියා යුරෝපයේ වැස්සද බාල්දු කරනවා ඇත. ඒ පැත්තෙන් බලන කළ වීදි ඡායාරූප ශිල්පියන්ගේ සේවය එසේ මෙසේ නොවේය. ඔවුන් තප්පරයෙන් පංගුවකින් ආලෝක දඩයම් කරමින් අපට තප්පරයෙන් පංගුවකින්ම අපගේ ඇසද ඔවුන්ගේ ඇස බවටම පත්කරනවා සේය.
මෙම ආලෝක දඩයක්කාරයා ඡායාරූප කරණය සම්බන්ධව ඔහුගේ දැනුම සහ කැපවීම වටහා ගැනීමට හැකි තවත් දේ කියා තිබෙන්නේය.
"වැස්සේ නගරයේ ඡායාරූප ගැනීමට මම මගේ පැනසොනික් LUMIX S1R රථය වීදිවලට ​​රැගෙන ගියා. විවිධ දෘෂ්ටිකෝණ ඉදිරිපත් කිරීම සඳහා මම සෑම දිනකම විවිධ කාච රැගෙන ගියා. පළමු දිනයේ, මම මගේ LUMIX 20-60mm කැමරාව සමඟ වීදිවලට ​​බැස්සා. ඊළඟ දවසේ LUMIX 50mm f1.8 කැමරාව සමඟ එක් නාභීය දුරක් කෙරෙහි පමණක් අවධානය යොමු කළා. කැමරාව සහ කාච සියල්ලම කාලගුණයට මුද්රා තබා ඇති නිසා, නැතහොත් අවම වශයෙන් ඉසින ප්රතිරෝධී නිසා, ඡායාරූප ගැනීමට පැය කිහිපයක් ගත කළ හැකි බව මම දැන සිටියෙමි."
අපේ රටේද ඉතා දක්ෂ වීදි ඡායාරූප ශිල්පියෝ නැත්තේ නැත. නමුත් මාරසනම් ඒවා ගැන ලියන්නටද බීතිකාවක් තිබේ. අපේ ප්රසිද්ධ විද්වතුන් ගැන ලියන්නට ගොස් සිදුවෙන දේවල් ගැනද අත්දැකීම් තිබේ. සමහර විට අප ලියන කලාකරුවා මිය ගොස් සිටියත් දරුවන් පවා ඒ ලියවිල්ලට විරුද්ධ විය හැකිය. මහා ගත්කරුවෙක් ගැන පොතක් ලියූ මා මිතුරෙක් මෙවන් ගැටුමකට මැදි වී සියලු පොත් වල පිටු ගලවා ඉවත්කර මාර නෑමක් නෑව හැටි මා සමග කියා තිබේ. එනිසා අපේ රටේ වීදි ඡායාරූප ගැන ලියන්නට පෙර අවසර ගත යුතුමය. නමුත් එසේ නොවන පිරිසක්ද නොසිටිනවා නොවේ. ඒ කෙටි සටහන යෙදුවේ පිටරට වීදි ඡායාරූප ගැනම ලියන්නට හේතුව ඇතැමෙකුට කුකුසක් ඇති විය හැකි නිසාය. කොහොමත් වැස්ස කියන්නේ එකක් උනත් රටින් රටට ඒ දකින හැටි වෙනස් වීම ස්වභාවයකි. ආර්ට් කවදාවත් පරිවර්තනය කරන්න බැහැයි කිව්වාමෙන්ම වැස්ස දකින සංස්කෘතික සීමාද පරිවර්තනය කිරීමට නොහැකි වන්නටද හැකිය. නිව්යොක් නගරයේ වැස්ස යම් කාල පරාසයකට සාපේක්ෂකව හෝ පෙන්වා දුන් මේ වීදි ආලෝක දඩයක්කාරයාටද තුති පුදමින් මතකයේ තිබි කුඩලිගම කවියාගේ කවියකින් නිව්යොක් නගරයේ වැස්සේ වීදි ආලෝක දඩයම් ගැන කියවූ ඔබට දැහැන් මිදුමට අවසර දෙමි.
නිව්යොක් නුවර වැස්සේ වීදි ආලෝක දඩයම් වලින් දැහැන් මිදුමට අවසර!!!

ඇළ දොළ ගලා බස්වන්නට ඉවුරු කඩා
ගොඩබිම නිවා සනහන්නට සියලු විඩා
ගන වැහි වළා ඉගිළි එන විට දී අඩා
මට මහා සොම්නසක් ඇත මොනරෙකුට වඩා

වැස්සක් වසින විටනම් මාරසටද එන්නේ මොනර සිතුවිලි තමාය. අඩුවකට තිබෙන්නේ මොනර කොල නැති වීම පමණක් වන්නට හැක.

ජගත් මාරසිංහ
18 05 2025


Powered by Blogger.