සිහින දකින්නට සිහින කොයින්දෝ

                       සිහින දකින්නට සිහින කොයින්දෝ

අද වෙසක් දවසය. දොරට තට්ටු කරන්නේවත් නැතිව අමුත්තෙක් මා සිටින තැනට පැමිණියේය. දොරවල් වසා අගුලු දමා සිටින විට එසේ මා අසලට පැමිනණිය හැක්කේ ව්‍යාධදේවයන්ට පමණක් බව මම දැන සිටියෙමි. ඔහු බුලත් කෙල පහරක් ආගමන් මගේ අවසරයක් නැතිව මගේ පඩික්කමට ගැසීය. ඒ ඔහුගේ මිත්‍රත්වය බව දනිමි. මම නිශ්ශබ්දව ව්‍යාධ දෙස බලා සිටියෙමි. නුඹ මා හඳුනාගත්තාදැයි ඔහු මගෙන් ඇසීය. ඔබ අපේ කොදෙව්වේ සිටින ප්‍රාග් බෞද්ධ දෙවියන් වූ ව්‍යාධදේව බව මා දනිමි යැයි කීවෙමි. ව්‍යාධ මගේම වතුර බෝතලය ගෙන කටසෝදාගෙන මගේම පඩික්කමට ක්‍රිරිස් හඬින් කෙල පහරක් විද්දේය . ඉක්බිති ඔබ අද උදෑසන කැලණි ගියේ මන්දැයි ඇසීය. මට ඊට කියන්නට දෙයක් නැති බව මම තදින් කීවෙමි. ව්‍යාධ මගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට විය. සැබෑවටම මේ කාරනා ගැනම උදේ වරුවේ අප තරුණ කාලයටද වගකිව යුතු විප්ලවවාදී කියන රතු සහෝදරයෙක් මා සමග කතාබහ කළේය. ඔහු සමග ඇතිවූ දුරකතන සංවාදය මම ව්‍යාධදේවට කීවෙමි.

" අද උදේ සහෝදරයා කැලණි පංසල් ගියා නේද? සිද්ධාර්ථ සහෝදරයව දැක්කද? කොහොමද දැන් කැලණිය ?"
" ඔබ දකින දේශපාලන කණ්ණාඩියෙන් මම කැලණිය දැක්කේ නැහැ. ඒත් මගේ සමීපම මිතුරෙකුගේ ගෙදර ගියාටත් වඩා හැඟීමක් ඇති වුනා."
" උඹ එහෙනම් දැකල තියෙන්නේ හීනයක්. ?"
"එහෙනම් ඉතින් මේ දකින්නෙත් හීනයක් ත‍මා"
" උඹ හිතුවද අයියේ මමත් නයි බලන්න කැලනි ගියා කියලා. මේ වත්ත පිටිපස්සේ ඕන තරම් නයි ඉන්නවා. කැලනි ගිහින් නයි බලන්න අවශ්‍යතාවක් මට නැහැ?
නිහඬව ඇහුන් කන් දී සිටි ව්‍යාධදේවයෝ කතාව මැදට පැන්නේය.
ඒ කියන්නේ නුඹ අර බරසාර පොත් කියවමින් ඉගෙන ගන්නට උත්සහා කළ මාක්ස්වාදයත් හීනයක්දැයි ව්‍යාධ තදින් ඇසුවේ ඔලොක්කුවට මෙන්ය. මාක්ස්ගේ හීනය තවත් අය දැකලා ඒ ඔස්සේ ඒකලා දැකපු හීනය මමත් දැකලා බව දැන් දැනෙනවා කියා මා කීවෙමි. එසේනම් අනිවාර්යෙන්ම ඔහේගේ රතු සහෝදරයා තමුසෙට පිස්සු කියා කියන්න ඇතියි ව්‍යාධදේව කීවේය. පිස්සෝ විතරද හීන දකින්නේ කියා මම ව්‍යාධගෙන් ඇසුවෙමි. ඒකා උඹට සාරසංග්‍රහවාදියෙක් කියලා අපහස පාරක් පාරක් දාන්න ඇතියි කියා ව්‍යාධදේව විලිස්සුවේය. නමුත් ඒක මට අද පුරුදු වචනයක් හිස් වචනයක් වී හමාරය. වෙන්න මාක්ස්වාදීන් සමග තර්ක විතර්ක කරන්නට යන අයව අතර මග මෙල්ල කිරීමට ගන්නා ලොකුම වචනය සාරසංග්‍රහවාදය කියා මම ව්‍යාධට කීවෙමි.
ව්‍යාධ බුලත් කොලයක් අතට ගෙන අනිත් අතින් පුවක් කෑල්ලක් කටේ දමා විකන්නට වූයේ මාව විකනවා වගේයැයි කියා මට සිතිණි.
"ඉතින් උඹ අද උදේ කැලණි පංසල් ගිය කතාවත් හීනයක්ද?
" දෙයක් වෙලා අවසාන වූ හැම දෙයක්ම හීන නොවන්නේද? කියා මමද සැරෙන් ව්‍යාධගෙන් ඇසුවෙමි.
ව්‍යාධ මා දෙස එක එල්ලේ තියුණු බැල්මෙන් බලා සිටින බව මට පෙනේ.
මට මහාවීරගේ ඉගැන්වීමක කොටසක් සිහිපත් විය. මහාවීරගේ කියමනක් තියනවා දෙයක් වෙන්න පටන් ගත්තා කියන්නේ ඒක වෙලා ඉවරයි කියලා. කොටින්ම මහා වීර කියලා තියනවා මලක් පිපෙන්න පටන් ගත්තා කියන්නේ මල පිපිලා ඉවරයි කියලා.
ව්‍යාධ කෙලින්ම මටද තේරෙන අයුරින් මෙසේ කීවේය. ඔව් මලක් පිපෙන්න පටන් ගත්ත ගමන් ඒ මල පරවෙන්න පටන් ගන්නවා. උපතක් උන වෙලේ සිට මැරෙන්න පටන් ගන්නවා තමා. කියමින් ව්‍යාධ සිනාසෙන්නට විය.
"උපන්දිනේ සිට නැත අත් අරින්නේ, හිමින් හිමින් පස්සෙන් ලුහු බඳින්නේ" කියන සේකරගේ සින්දුව වගේ බව මම කීවෙමි. ව්‍යාධ මහ හඬින් මෙසේ කියන්නට වන.
නැහැ ඒකෙන් මහාවීරව මතුවෙන්නේ නැහැ. ඒක නිකන් පස්සෙන් ලුහු බැඳලා එක මොහොතක මැරෙනව වගේ කතාවක්. ක්ෂණයක් ක්ෂණයක් පාසා මරලා දානවා කියන කතාව ගැන හොඳින් හිතන්න කියමින් ව්‍යාධයෝ මගේ ඔලුව අවුල් කර දැම්මේය. කොටින්ම මම මහාවීර බුදුණුවන්ටත් වඩා ලොක්කෙක්ද යන තර්කයේ පැටලීනි. ගත් කටටම ව්‍යාධයෝ මට මෙසේ අවලාද නගන්නට විය. ආ අර කාලයක් මාක්ස්ද ලොක්කා නැත්නම් එංගල්ස්ද ලොක්කා කියලා හිතුවා වගේ තර්කයක පැටලුනා වගේ නේද? කියවෙන දේ තේරෙන් නැතිව කවුද ලොක්කා කියා හොය හොයා ඉන්න කතාවේ තේරුම තමුන් ලොක්කෙක් වෙන්න යන එකයි කියමින් ව්‍යාධදේවයෝ නැවත මට අවලාද නැගීය.
මේ මොහොතේද සිදුවන්නේ හීනයක් විය යුතුය. රතු සහෝදරයා මෙතන හිටියානම් කියයි නුඹට නීට්ෂේගේ පිස්සුව හැදිලා කියලා. උන්ට තේරුන් ගන්න බැහැ නීට්ෂේ දැක්කෙත් හීන කියලා. එහෙනම් උන් හිතන්නේත් නීට්ෂේද ලොක්කා මාක්ස්ද ලොක්කා කියලා විය යුතුය. ඒ නයින් බලන කළ ව්‍යාධයෝ නිවැරදිය. දෙයක් තේරුම් ගැනීමට වඩා අප සොයන්නේ වැඩිය දන්නේ කවුද, මා අනුගමනය කළ යුතු නායකයා කවුරුන් විය යුතුද යන්නය. කොටින්ම අපි ඔක්කොම බුදුවීමට සිතන අපටද කවුද අපේ නායකයා විය යුතු ලොක්කා කියා අප සිතන්නේය. ඒ කියන්නේ අපි පොර කවුද කියා සොයනතාක් කල් අපද වෙන්න පොර තමාය. ව්‍යාධයෝ හරි නමුත් නොකියා ඉන්නේද ඒ කාරණයේම මාද වෙන්න පොරක් වීමට හදන බැවින් විය යුතුය. මා තුළ ව්‍යාධයෝ ගැන ඊර්ෂියාවක් ඇති විය. නැත මා තුල ඇති වූයේ මා පහත් යැයි සිතනා හීනමානයම වන්නේය. නැතිනම් මා ව්‍යාධට සමයි කියන සෙයිසා මානයම විය යුතුය. එසේ නොවේනම් මහා මානයෙන් මා පෙලෙනවා විය හැක. එවිට කොයි මානයක් වත් මා දෙසූ ධර්මයට අදාල නැහැ යැයි දෙසන බුදුණුවන්ගේ දේශනාව නිවැරදිය. ඒ කියන්නේ ව්‍යාධයන් කියන දේ නිවැරදිය. අපි වනාහී පොරවල් සේ සිතා ඉන්නේ ලොක්කා වීමේ තණ්හාව තමාය. කොටින්ම අපි හිස්ටීරියා ලෙඩුන් කියා තර්කයක් මතුවන්නේය. ඉන් පසු හොයන්නේ සායනික තත්ත්වයකට යා යුතු තරම් රෝගියෙක්ද කියාය. මම කතාව වෙන පැත්තකට දැමීමට උත්සාහ කළෙමි. කවුරුත් නින්දේදිත් අවධියෙනුත් දකින්නේ සිහින නොවන්නේදැයි මම ව්‍යාධගෙන් ඇසුවෙමි. පසුව මරණයත් හීනක්දැයි මම ව්‍යාධගෙන් නැවත ප්‍රශ්න කළෙමි.
ව්‍යාධ දුරගමන් සේවා දුම්රියක ගමන ආරම්භ කරන හඬකින් සහ තාලයකින් කතා කරන්නට පටන් ගත්විටම මට ව්‍යාධගේ සිහිනයට ඇහුන් කන් දීමට සිත් ඇති විය. ව්‍යාධගේ ගැඹුරු කතා විලාශයට මා ආසා කරන්නේ ඇයි දැයි මම සිතුවෙමි. ඕනෑම ජගතෙක් කියන්නේ සිහිනයක් සිහිනයක් නොවන්නේ කෙසේද කියලාය. යම් සිහිනයක් රසවත්ව කීව්වොත් ඒ කලාවකි. සිහින ගැඹුරු හඬකින් සිතන්නට දී කියාගෙන ගියොත් ඒ බුද්ධිමය සිතිවිල්ලකි. සිහිනයක් සූත්‍රගත ආකාරයට විග්‍රහ කරමින් කියන්නට ගියොත් ඒ වනාහී විද්‍යාවකි. නමුත් මම ව්‍යාධගෙන් ප්‍රශ්න කළෙමි. මරණය යනු සිහිනයක් බව ඔබ කියන්නෙහිද කියා නැවත ඇසුවෙමි. ව්‍යාධ දේවයෝ ආරම්භ කළ දුම්රිය ගමන ඉදිරියට ඇදෙන්නට පටන්ගන්නට මෙන් මෙසේ උත්තර දුන්නේය.
මරණය සිහිනයක්ද කියලා කියන්නත් මිනිහෙක් මැරිලම බලන්න වෙනවා කියන කතාවේ ඇත්තක් තියනවා තමා. නමුත් ඒ සිත කියන දේ ඔය විද්‍යාත්මකව කියන පරිදි ශරීරයේම පිහිටලා තියනවා කියන තර්කයට අනුව. ඒකත් සිහිනයක් තමා. ඔව් සිත කියන්නේ මොළයේ චලිතයේ ගුණය කියන දයලෙක්තික තර්කයන් සිහින බොඳකරනවාද කියන කතාව උඹම සොයා ගනින් කියා ව්‍යාධයෝ මට විලිස්සන්නට වී‍.
නමුත් මරණයෙන් පසුත් සිත අපගාව තියනවා කියන මහා ත්‍රාන්තිකයන් ගන්නා තර්කත් අද යූ ටියුබ් බුද්ධාගමට අයිති වෙළෙඳ සිහින නොවන්නේදැයි අසමින් ව්‍යාධයෝ මා බිඳ දමන්නට වී.
මේ වෙසක් දවසේ ඕව කතාකරන්න උඹ කැමති උනත් මම කැමති නැහැ. මොකද නුඹේ වචනයෙන්ම සිහින දකින්න කාලය නාස්ති කරන එක කාලයේ ගලා යාමට තර්ජනයක්. ඔහොම ඔහොම හිතාගෙන යනකොට වෙන්නේ අන්තිමට කාලය ගලාගෙන යනවා කියන්නෙත් හීනයක් වෙන හීන කතන්දරයක්ම තමා. මේ හීන කියන කතාව නුඹට එන්නෙත් සිත තියෙන්නේ නුඹ ගාව කියලා කියන කතන්දරයෙන්ම තමා. හීන කියන කතාවත් හීනයක් වෙලා ගොඩක් කල්. දැන් ගොඩක් රෑ බෝ වෙලා. දැන් වෙසක්. උඹට කියන්න හැකිද උඹ වෙසක් දවසක දැකපු සුන්දර හීනයක් මට කියන්න.
නුඹේ වයසේ ප්‍රමාණයටම දැන් හීන ගොඩක් දැකලා ඇති. මතක හිටපු වෙසක් හීනයක් නුඹට කියන්න හැකිදැයි ව්‍යාධ එක දිගට අසයි. සිහි කරන්නට දෙයක් මටද ඇත්තේ නැත‍. 1988 වෙසක් දිනක අසරණ වූ සිහිනයක් මා කියන්නට පටන් ගතිමි. නමුත් මේ කියන්නේ මා මහා හීනයැයි සිතා සිටින සිහිනම තමාය. මම කියාගෙන කියාගෙන යන්නට වී.
අපි පොඩි කාලේ තරඟෙට වෙසක් කූඩු හැදුවා. පහන් වැටවල් ගැහැව්වා, කැරකෙන කූඩු හැදුවා, තොරන් ගැහැව්වා, දන්සැල් දුන්නා, කටගොන්නක් බීගෙන වෙසක් නරඹන්න ගියා, ඒ කාලෙනම් පෙරහැරවල් බලන්න ගියේ හිතට වදින කෙල්ලෙක් තෝරගන්න කියලත් හිතෙනවා. නමුත් තෝර ගත්තත් නොලැබෙන කල අපි ඒකිව අපගේ ආශාවන්ට අවනත කරගන්න අවස්ථාවක් පාදා ගත්තද දන්නෙත් නැහැ. ඒ විතරක් නෙවේ ඉස්කෝලේ දහම් පාසැලේ බලපෑම මත සිල් සමාදන් වුනා. ඒ සිල් සමාදන් වීමෙදි අපි බුදුන්ට යාච්ඤාඤාකිරීමෙන් පලක් නැති බව සිහින බිඳ හෙලන නිසා බුදු සරණින් දෙවි දේවතාවුන්ට යාච්ඤා කළා. හැබැයි ඒ යාච්ඤා කිරීමෙන් පලක් නොවන තැන බුදුනුවන් ගැන කතා කරල තියෙන්නේ උන්වහන්සේගේ ධර්මය හීනයක් නොවන බව දැනන් හිටියත් ඒ ගැන හිතන්න කැමති වුනේ නැහැ. නොයෙක් තර්ක විතර්ක කරමින් ඒ ගැටලුවෙන් පැනලා ගිහිල්ලා හීනම දකින්න කැමති වුනා. නමුත් වයසට යනකොට පරිනත වෙනවා කියනවා වගේ තේරෙන්න ගන්තා මේ හීන කතන්දරයේ විහිළුව. ඒත් අපි අපේ අම්මලා කරපු විදිහට වෙසක් උත්සවයනම් අත් හරින්න කැමති උනේම නැහැ බෙග්ගේ භක්ති සින්දු ඇහෙනකොට අපි අපේ පොඩි උන්වත් ඇහැරගෙන කූඩු හදන්න පටන් ගත්තා. අපි අපේ අම්මලා කියපු කරපුවා කළානම් ඔයාලත් එසේ විය යුතුයි කියන මතය තමා අපි ගාවත් තිබ්බේ. නැතිනම් උන් ලොකුවෙද්දි හිරේ විලංගුවේ වැටෙනවා අනිවා කියන කතන්දරෙත් අපේ මොළ ලොඳ තුළ නොතිබ්බා නොවේ. ඒකත් හීනයක් උනත් හීනයක් නෙවේ වගේ අපි පොඩි උන්ටත් අපේ සම්ප්‍රධාය රකින්න පුරුදු කළා තමා.
මේ වගේ වෙසක් කතා තව බොහෝ තියනවා. මගේ අසරණම වෙසක් මතකය වෙන්නේ ඉන්දු ලංකා ගිවිසුමට මැගසින් බන්ධනාගාරේ ඉන්නකොට උදා වූ වෙසක් දවස. ඒ හිරගෙදර ඉන්නකොට වෙසක් කරන්න හිතක් නැහැ. මරණ බයේ හිටියේ. නමුත් ඒ හිරගෙදර සහෝදරවරු විප්ලවීය ජීවගුණය කියන කතාව හිතට අරන් ිරගෙදරත් වෙසක් උත්සවයක් සංවිධානය කළා. ඒක හරිම ලස්සනයි. අවශ්‍ය සම්පත් නැති තැනක සම්පත් අපි විසින්ම අහක දමන දේ තුලින්ම නිර්මාණය කර ගත්තා. නමුත් හිතේ කිසිම විටක සතුටක් තිබ්බේ නැහැ. ඉන්දියන් හමුදාව අපිව ආක්‍රමණය කලොත් ඉස්සරලම මරන්නේ දේශපාලන හිරකාරයන්ව බව අපි දැනගෙන හිටියා. නමුත් ඒ අතීතය මතක් වෙද්දි ආයෙමත් ඒ හිරගෙදරට යන්න හිතෙනවා. මිනිසාට සම්ප්‍රධායක් යටතේ රංචු ගැහී ජීවත්වෙන්න තියන ආසාව සංස්කෘතියකටම බද්ද කරන්න බැහැ. මොකද අර සත්තුන්ට ශ්‍රමයක් තියනවානම් හරක් වැඩ වර්ජනය නොකරන්නේ ඇයි වගේ ගැටලුවක් තිබ්බා. ඒ සත්තු ජෝඩු වෙන්නේ රංචු ගැහෙන්නේ උන්ට සංකෘතියක් තිබිලද කියන ගැටලුවට උත්තර නැති බව අපේ පොඩි මොලේ හිතමින් හිටි හින්දා තමා. කොහොම නමුත් අපි බොරු ලෙඩ හදාගෙන කහපාට, නිල් පාට, රතුපාට බේත් බන්ධනාගාර රෝහලට වංචා කරලා හංග ගත්තා තමා. ඒවාත්
කුඩු කරලා නැති පාටත් හැදුවා. ගහ කොළ‍, මැටි, පස් , සිග්නල් දත් බෙහෙත් සහ බිත්ති හූරගෙන චිත්‍ර අඳිනවා වගේම වෙසක් කාඩ් නිර්මාණය කරල විසිට් එකට එන අම්මලා අතේ කාට නැති වුනත් තමන්ගේ ආදර වන්තියන්ට වෙසක් කාඩ් පවා ඇරියා. මම මගේ පෙම්වතියට යවපු වෙසක් කාඩ් එකේ ලියපු කවියක් මට තාම මතකයි.

ඔහෙට වගේ හිරගෙදරට වෙසක් සඳත් පායලාය
නුඹ බලපන් එ සඳ දිහා මගේ දෙනෙත් ඒ සඳේය
නුඹ මට ආදරය බවක් හඳ අනිවා කියනවාය
හිරකරුවෙකුගේ ලව් එක වෙසක් සඳින් දැනෙනවාය
මේ ඒ කවියේ අදහස විතරයි. නියම කවිය ඇඳපු කාඩ් එක පිටින්ම ඒකි ගාව ඇති. නිදහස් වෙලා වසර දෙකකින් හමුවුනාම ඒකි වෙනස් වෙන්නේ නැහැ කියලා මට තිබ්බ සිතුවිල්ල නිකන්ම නිකන් හීනයක් උනා. ඒ කාඩ් ඒ මොහොතෙම ලිපට දාන්න ඇති අනිවා. කවුරුත් දන්නේ නැතිව ඇති ඒ හීන සමහරුන්ට තැබෑරුමට මග පෙන්නුව කියලා. තවත් සමහරුන්ට මරාගෙන මැරෙන්නත් වීරයෝ වෙන්නත් මග පෙන්නුව කියලා. නමුත් කල් පසුවුනාට පස්සේ තමා දැනගත්තේ ආදරයෙන් එකියක් ගැලවෙද්දි තව දහසක් පෝලිමට ආදරය හොයන් එනවා කියලා. ආදරයේ සියලු සතුට බුක්ති විඳින්න පුරස්ති ග්‍රණ්ථියත් වයසට ගියත් සැදී පැහැදී ඉන්නවා කියලා. සියල්ල හීන කියන කතාව නැති අය මොරාල් ගැන කතා කරල ඒකට මිමි තියනවා. නමුත් ඒ හීන අස්සේ තව දෙයක් වුනා. එදා එලිවෙන ජාමේ ඇහැරිලා අපි ජනේලයෙන් වෙසක් බැලුවා. අපි හිටපු මැගසින් බන්ධනාගාරයේ වාට්ටුවේ උඩ තට්ටුවට පෙනුනේ වනාතමුල්ල නාගරික වීදියයි පුධාන පාරේ ඈත කොටසකුයි, ඒ කාලේ අර හූ කියමින් පට්ටිපොළ රේල් පාරේ යන පුංචි කෝච්චියයි විතරයි. එදා රෑ ඒ අපට පේනතෙක් මානයේ ගෙවල් සහ කඩ වල ආලෝකය දැක්කේ පපුවේ පත්තුවෙන ගිනිබෝල වගේ. නමුත් අපි හිටියේ අපි මර්ධනය මැද්දෙත් දේශපාලනිකව වෙසක් සමරනවා කියන මානසිකත්වයක. ඒක රටේ ජනතාව ආදරෙන් බාරගනී කියන මානසිකත්වයක ඉතින් දැන් කොටසක් විරුද්ධ උනත් තියෙන්නේ ඒ කොල්ල එදා පතපු රජයක් නෙවේ ආණ්ඩුවක්. ඒ වෙසක් දවසේ සමහරු නිදි. නමුත් මේ සියල්ලන්ටම ඉහලින් හරිම ලස්සන වෙසක් සඳක් තිබුනා. අපිට මේ ටික හිත හදාගන්න ප්‍රමාණවත් වුනේ වෙන කරන්න දෙයක් නැති නිසා. නමුත් තාප්පෙන් පිට උසම උස හමුදා මුර කුටියක හිටපු ආරක්ෂකයන්ට අපිට තරම්වත් වට පිට දෙයක් පේන්න නැහැ. මොකද ඒකලගේ රාජකාරිය වුනේ අප දිහාම බලා සිටීම. අපිට ඒ රාජකාරියේ යෙදෙන ආරක්ෂකයො විතරක් වුනේ නැත්තේ ඒ අයට අපිව රාජකාරි සතුරන් වුන නිසාද දන්නේ නැහැ. නමුත් දවසක් මිස් පයර් එකක් ගිය අවස්තාවක අපේ දේශපාලන හිරකාරයෝ මහ හයියෙන් කෑ ගහලා ඒ බව අනිත් සෙබලුන්ට දැනුම් දුන්නේ කොතනින් හරි මනුස්සකම මතුවෙනවා කියන කාරණය සාධනය කරමින්. මෙන්න මේ වෙසක් දවසේ ඇත්තටම මැගසිමේ හිටපු දේශපාලන හිරකාරයොත් සමග සඳ ඇසුරින් බුදුන් වහන්සේත් ජීවමාන වෙන්න ඇති කියලත් හිතුනේ හීනයක් වුනත් ඒ හීනයක්ම කියලා හිතන්නත් තවමත් අමාරුයි. මොකද ඒක දැන් වෙලා ඉවරයි. ඇත්තටම අද බලපුවාම එදා දේශපාලනයම හීනයක් තමා. මම අතීතයේ දැකපු වෙසක් හීනයක් කතාව ඉවර කරපු ගමන් ව්‍යාධදේවයෝ කෑගහලා කිව්වා විපස්සනා භාවනාව කියලා. කියලා මෙන්න මෙහෙම වචන කැටි කළා‍,
විපස්සනාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙවේ අනත්ත කියලා කිව්වා. ඒ කියන්නේ තමන්ට මනාප පරීදි පවත්තන්න නවත්තන්න නොහැකි බවකියන ත්‍රිලක්ෂණය සිහි නුවණින් (සතිසම්පජන්න) මෙනෙහි කිරීමයි කියලා‍ මගේ වෙසක් හීනය ගැන සතුටු වුණා. ඔහුගේ කතා වේගය වැඩි කරමින් අඩු කරමින් නිදසුන් සමගම ව්‍යාධ කියාගෙන කියාගෙන ගියා. විපස්සනා භාවනාව ඉන්දියාවේ පැරණිතම භාවනා ක්‍රමයක් වුනත් ඒක ලෝකයාට හඳුන්වා දෙන ලද්දේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් මීට අවු. 2568කට වඩා පෙර අතීතයේදී කියලත් කිව්වා.
මම ඇහැව්වා අනාත්ම කියන වචනෙට අනත්ත කියන කතාව කිව්වේ ඇයි කියලා. ඒක බුද්ධගෝෂ හාමුදුරුවන් කරපු අවුලක් තමා‍ අනාත්ම නෙවේ අනත්ත ගැන හිතපන් කිව්වා. වැඩි විස්තර හෙට උදේ තේරවාදී මහ හිමිනමක් මෙන්ම තන්ත්‍ර යානයටද පෑයූ සූර්යන් සිව්දෙනාගෙන් ප්‍රධානයි කියන අරිය දේව නාහිමියන්ගෙන් තවත් විස්තර දැනගෙන කියන්නම් කිව්වා. පස්සේ ව්‍යාධදේවයෝ හෙට උදේ ගිහින් නුවර දලදා වහන්සේත් වැඳලා අනුරාධ පුරයටත් බරනැසටත් සකල ලෝකයේම කරක් ගසන්නට පෙර කොළඹ තියන මහ දන්සැලට උදව් විය යුතුයි කියලා අතුරුදහන් වුනා. ව්‍යාධගේ අතුරු දහන් වීමෙන් බියට පත් මා මිදුලට ගිහින් බැලුවා ව්‍යාධ කොහෙද කියලා. අදත් වෙසක් සඳම පේන්න තියනවා. ඒත් අනත්තයි අනත්තයි කියන අදහසේ පැටලුම ලෙහා ගන්නැතිව හීනයක්වත් දකින්න බැරි බව මට තේරුනා. ආත්මයක් නැහැ කියනතැනක අනාත්මයක් තිබෙන්න බැහැ තමා. දැන්නම් ටික ටික තේරෙන්න ගත්තා. ඒක හීනයක් නෙවේකියලා තේරුන් ගැනීමට පොටක් පෑදුනා. මම එළියට ගිහින් සඳ එලියෙන් පේන තෙක් මානයේ නැවත විපරම් කළා. හිටපු ගමන් මතුවී අතුරු දහන් වන ව්‍යාධයන්ගේ හෙවනැල්ලක්වත් හමුවුනේ නැහැ. නමුත් මා දැක්කේ හීනයක් විය නොහැකියි. හීනයක්ද සැබෑවක්ද විය නොහැකියි. හීනයක් නොවන්නේද නොවේ. හැබෑවක් නොවන්නේද නොවේ යන තර්කය මතුවුනාට සඳ දෙස බැලූ සැනින් මහා හිස්කමක් මතුවුනා. ඒක සතුටක්. ඒ සතුට විඳින්නට පින නැති නිසාද මන්දා බුලත් විටක් පදමට හදාගෙන කාලා පොඩි එකාගේ අටපට්ටමේ ඉතිරි හිස්රාමුවලට කොළ අලවන්න පටන් ගත්තා. සඳ එක දිගට මෙසේ කියන්න ගත්තා වගේ ඇහුනා.
සෑම විටම මතක තබා ගන්න, සියල්ල යම් සන්දර්භයක් සමඟ සම්බන්ධ වී, රඳා පවතී කියලා. ඒ සඳනෙවේ කතාකරන්නේ ව්‍යාධදේවම තමා. අනිවාර්යෙන් අභයගිරියේ වැඩ වාසය කළ අරියදේව ලොකු හාමුදුරුවන්ගෙන් විස්තර අහගෙන ව්‍යාධනම් මනුෂ්‍ය ස්වරූපයෙන් ඇවිත් යන එකත් පිනක්. මොකද යූ ටියුබ් බුද්ධාගම හැම යානයකම සමාජ වෙළඳ හීන අද බලය අල්ලන්න හදනවා. මතක තියාගත යුත්තේ අනිච්චන් දුක්කන් කියලම නෙවේ අනාත්ම නොවේ අනත්ත කියලම තමා.
***********
ජගත් මාරසිංහ
2025 මැයි 12
බු.ව-2569


Powered by Blogger.