සෙනසුරාගේ ආදරය

 

සෙනසුරාගේ ආදරය

     සෙනසුරු කියන්නේ අරගලකාරී ග්‍රහයෙක්. අපේ බලාපොරොත්තුව කුමක් වුවත් සෙනසුරු අරමුණු කොට කාලය ගැන හිතනකොට ඒකගේ අරගලය තියෙන්නේ අපේ ජයග්‍රහණ වලට නෙවේ‍, ජීවිතය දුක මුල්කොට ඇති පැත්ත ගැන හිතන්න. කොටින්ම ලෞකික පැත්තෙන් යහපත් වෙනකොට සෙනසුරු දුර්වලයි වගේ. නමුත් ලෝකෝත්තර පැත්තෙන් යහපතක් කරන්නේ සෙනසුරු. එතකොට ලෞකික පැත්ත අප්සෙට්. ඉතින් අපි කියනවා සෙනසුරු අධිනිශ්චය වෙන කාල වකවානුවල දුකම තමයි කියලා. ඒත් ඒක ගැඹුරින් බලපුවාම මාර කතාවක් කියවෙනවා. ලෞකික පැත්ත අප්සෙට් කියන්නේ ආධ්‍යාත්මික පැත්ත යහපත් කියන කතාව. දුක කියන්නේ මොකක්ද කියල තේරුම් කරල ආධ්‍යාත්මිකත්වයට නිස්සාරත්වය මතුකරන කාල ලෙස තමා සෙනසුරුගේ කාල වකවානු විග්‍රහකරගන්න හැකි. බුදු බවට පත්වූ සිද්ධාර්ථ සාක්‍යසිංහගේත් ඒ කියන්නේ  බුදුන් වහන්සේගේත් කේන්දරය මේ සම්බන්ධව මාර දේවල් කියනවා. සමහරු කියන්න පුළුවන් බුදුන්ගේ කේන්දරේ වැරදි කියලා. නැහැ අද දිනේ ඉදන් ආපස්සට ගැනගන්න පුලුවන් විදිහටයි මිනිස්සු ගණිතය විෂයක් වශයෙන් නිර්මාණය කරන් තියෙන්නේ. කොටින්ම ජ්‍යෝතිෂය කියන්නේ මිනිස්සුන්ගේ නිර්මාණයක්. ගණිතය යනු විශාලත්වයන්ගේ විද්‍යාව කියලා දයලෙක්තිකයේදිත් විග්‍රහ කරගන්න කතන්දරෙත් මාරයි. ඒත් මිනිස්සු ගොඩක් දයලෙක්තිකය කියල අල්ලන් තියෙන්නේ යාන්ත්‍රික භෞතිකවාදය. හේතු වාදී ව්‍යාපෘතිය මේකෙ අතුරු පලයක් ලෙස දකින්නත් පුළුවන්.

    පොදුවේ ලෝකයම සූර්යා කේන්ද්‍රකරන් වෙනස් වීමේ මිම්මක් ලෙස කාලය ගැන හිතුවට සියලු සත්වයෝ සූර්යා මුල් කරගෙන තමා වැඩකටයුතු කරන්නේ. ඔරලෝසුවක් නැති සත්තු සර්පයි, කුරුල්ලෝ වගේ සත්තු ඔරලෝසු නැතිව මේ වැඩේ කරගන්නකොට මිනිස්සු අපි සත්තු නොවේ අමුතු ජාතියක් කියල හිතාගෙන පුදුම වෙනවා. දිග දුර හදාරණකොට සෙනසුරු කේන්ද්‍රකරන් කාලය බලන විදිහ සත්තු විතරක් නෙවේ ගස්කොළන් පවා සංවේදී බව ඇත්තක්. ඉතින් 2020 ආරම්භයේදීම සෙනසුරු කේන්ද්‍ර කරගෙන මාරස ලිව්ව දේවල් ගැන සංවේදි උන පිරිසක් හිටිය නිසයි මේ සටහනත් ලියන්න මාරස අදහස් කළේ. ගොඩක් අය සංවේදී උනාට ඒ ගැන කතා කරන්නේ නැහැ. මොකද හේතුවාදී ව්‍යාපෘතියෙන් පස්සේ ජ්‍යෝතිෂය ගැන විශ්වාස කරනවා කියන කතාව තමන්ගේ සිවිල් පොරත්වයට අඩුවක් වෙනවා කියන මානසිකත්වය මිනිස්සුන්ට බලපෑම් කරනවා. ඉතින් ඒව තාම පිළිගන්නේ හොරෙන්. හරියට අර වැදගත් සම්භාව්‍ය කියා හිතන පිරිසක් ඉදිරිපිට ආසම ගායකයා අමරදේව කියලා ගෙදර ගිහින් බයිල අහන තත්ත්වයට ස්වභාවයට සංවේදි විය හැකි දැනුමත් පත්වෙලා. හැබැයි ඒ තත්ත්වය අපේ කොදෙව්වට බලයක් වුනේ කොහොමද කියන කතන්දරේ ලියන්න මේ ලිපිය ඉඩ මදි කියන සටහනත් ලියන්නම්. ඉතින් 2020 ජනවාරි 24 සිට සෙනසුරු කියන වියලි ග්‍රහයා මකර රාශියට මාරුවුනා.

“ගජේන්ද්‍ර හස්තං

ධෘත සිංහ පාදං

කරාල දන්තං

හනුම ද්වී නේත්‍රං

වරාහ කර්ණං

හර්දිං මත්ස්‍ය දේහං

විචිත්‍ර පත්‍රං

මකර ස්භාවං”..... කියන පැරණි පද වැලකුත් දාලා මාරස මේ තත්ත්වය කතා කළා. ඒ සටහන් වල සබැඳි පහත ඇති. නමුත් ඒ තත්ත්වයේ ස්වභාවය මෙහෙමයි කියලා දැන් කියන්න අවශ්‍ය නැහැ. ඒවා දැන් තම තමුන්ටම පොදුවේ මොකද වෙන්නේ තමුන්ට මොකද වෙන්නේ කියනඑක කවුරු කවුරුත් අත් දකිනවා. ඒකට සූර්යා සහ ගුරුත්වය කේන්ද්‍රකරන් ජනප්‍රිය අවකාශයේ සිතුවිලි වලින් මිනිස්සු මහපාරේ පීඩා විඳිනවා. මීට අවුරුදු 29-1/2කට පෙරත් මේ දේ සිද්ධ වුනානේ ඇයි මේ පාර විශේෂයක් කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඒකට උත්තර තියෙනවා. කොටසක් කියන්න හැකියි. අනිත්වා කියන්නේ නැහැ තමා. ඒකට තමා ගුරු මුෂ්ටි කියන්නේ. ගුරු මුෂ්ටි මේ නව ධනේශ්වර ක්‍රමයේදී වැදගත් වෙන්නේ දැනුම වෙළඳ භාණ්ඩයක් වෙලා නිසයි. ජීවත් වීම සඳහා මාලුවෙකු විකුණනවා විනා මාලු බාන්න උගන්වන්න විදිහක් අද නැහැ. දැනුමට වඩා වැදගත් ඒ ඒ අයගේ විශේෂිත සැබෑ අත්දැකීම්. අත්දැකීම් වැඩිවෙනකොට මිනිහෙක් පරිනත වෙනවා. ඒ පරිණත දැනුම කොයි විද්වතාත් දෙන්නේ දැනුමකට ආදරේ මිනිස්සුන්ට පමණයි. නැතිනම් දැනුම ජෝක් ඒකක් වෙනවා. තමන්ට ජීවත්වෙන්න තියන ක්‍රමයත් අවුල් වෙනවා. මේ හේතුව නිසා නවීන ගුරු මුෂ්ටි කියන්නේ පශ්චාත් නූතන සමාජයේ සැබෑ හැදෑරීම් වල පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙසත් විග්‍රහ කළ හැකියි. ඒක ඒ කාලෙත් එහෙමයි. මා වරක් ජ්‍යෝතිෂය සැබෑ විද්වතෙක් ගාවට ගොස් මටත් උගන්වන්න කියලා කිව්වා. එයා කිව්වා මේක උගන්වන්න පුළුවන් විෂයක් නොවේ. මේක අයිති වෙදකමට කියලා. පුලුවන්නම් තනියම හදාරන්න කිව්වා. මම ඇහැව්ව හොරකම් කරන්නද කියන්නේ කියලා. ඒක තමා වෙදකමේ පරිපූර්ණ දැනුම ගන්න ක්‍රමය කියල එයා කිව්වා. පැරණි දැනුම හොයන්න තරම් පාලි, සංස්කෘත දැනුමක් මට නැහැ කියලා මම කිව්වා. එයා කිව්වා හොඳින් සිංහල අවබෝධ කරගන්න කියලා. එතකොට පාලි, සංස්කෘත විතරක් නෙවේ හැම භාෂාවක්ම අවබෝධ වෙන්න පටන් ගනී කියලා. දැන් මම ඒ කෙනාගේ නම කිව්වොත් එයාගේ නමින් එයා දැකපුවත් නැති ගෝලයෝ මතුවෙනවා නියතයි. එහෙම වෙලා තියනවා. ඒ ඉතින් නව වෙළඳ සමාජයේ හැටි. ඒවා වෙනම ලිවිය යුතු දේවල්. හැබැයි එයා හොයාගත් දැනුම දැනුමට සැබෑ උනන්දුවක් නැති තමන්ගේ දරුවෙකුටවත් දෙන්නේ නැහැ කියලා කිව්වා. මේක මටත් ගලේ කෙටූ අකුරක් මෙන් වුනා වෙන්න පුළුවන්.

     කොහොම උනත් 2020 ජනවාරි 24දා සම්මුති නිරයන ක්‍රමයට සෙනසුරා මකරයට ඇවිත් 2023 ජනවාරි 17 දක්වා එහි ගමන් කිරීමට නියත බව කියා මාරස ඒ කාලයේ හැඩය ගැන සෙනසුරු කේන්ද්‍ර කාලයෙන් එහි  ව්‍යාහාරික රිද්මය සුසර වන ආකාරය ගැන ලිව්වා. ඒවා ලියනකොටත් පරිස්සමින් ලියන්න වෙනවා. මොකද වෙළඳ සමාජයක තක්කඩි වෙළෙන්දන්ට අනුරූපව දැනුමට හුවමාරු වටිනාකම් ජාතක වුන පශ්චාත් නූතන සමාජයේ දැනුම විකුණන තක්කඩියන් බිහිවීම ස්වභාවයක් වෙලා අවසාන නිසා. වැඩි දුර යන්න ඇවැසි නැහැ. යූ ටියුබ් ගියාම ප්‍රමාණවත්. ගොඩක් වෙලාවට ඒවයින් දැනුම ගන්න හැකි දන්න අයට පමණයි. මොකද ගොඩක් අය තක්කඩි කමට බොරු කියනවා. තවත් සමහරු නොදන්නා කමට බොරු කියනවා. තමන්ගේ කල්ලියේ කට්ටියව ආරක්ෂා කරගන්න සමහර වාමංශිකයොත් බොරු වැල් කියනවා. ඒ අයගේ වැඩ නිසා කුරාණය, බයිබලය, ත්‍රීපිටකය වන් පොත් තියන පුස්තකාල රාක්ක වලට කාල් මාක්ස්ගේ දාස්කපිටාල් පොතත් මාරුවෙන කාලය මේකද කියලත් සමහර අවස්ථාවල හිතෙනවා.

    2023 ජනවාරි 17 සෙනසුරා මකරයට යාමට නියමිතව තිබුනත් මිනිසාගේ දැක්මේ සම්මුතියට අනුව 2022 අප්‍රියල් 29 සෙනසුරා කුම්භයට මාරු වුනා. ඉතා  ටික කාලයකට. ඒක හරියට 2023 ජනවාරි 17න් පසු අවුරුදු දෙකහමාර ගැන හිතාගන්න දීපු ඉඟියක් වගේ කියලත් ගන්න හැකියි. එයා ජූලි 12 ආයෙත් මකර රාශියට ආපසු එනවා කියන්නෙත් අපි අහසේ දකින සම්මුතියක්. අහස තියෙන්නෙත් ත්‍රාන්තිකව වෙනින් කොහේවත් නොවේ. අපේ ඔළුවේම තමා. තර්ක විතර්ක පැත්තකින් තියලා සෙනසුරු ක්‍රේන්ද්‍රීයව මේ දවස් කීපයට අපගේ දේශපාලන ඉතිහාසයට සිදුවූ වෙනස්කම් සහ ඛේදවාචක පමණක් නොවේ පරිපාලන වෙනස් කම් ගැනද හිතන්න. ඒ පරිපාලන වෙනස්කම් වලට මුහුන දුන් පුද්ගලයන්ගේ අහස් සිතියම් ගැනත් හදාරන්න. ඔබට සැබෑ සන්තෘෂ්ටියක් ලබා ගැනීමට මාර්ගයක් හමුවෙයි. මා මෙතන කෙස් පැලෙන දරුණු තර්ක විතර්ක භාවිතා කර නැහැ. මොකද කෙස්පැලෙන දැනුමෙන් තර්ක විතර්ක අවශ්‍ය වෙන්නේ සරළ අනාවැකියක් බොරු වුනාම ඒක උන හැටි සාධනය කරන්න. මේ සිරිත ආගමික පැත්තෙත් විශේෂයෙන්ම වාමාංශික දේශපානයේත් තක්කඩි ජ්‍යෝතිෂයේත් සිදුවෙන දෙයක්. ඇත්තටම සැබෑ අනාවැකියක් කියන්න චන්ද්‍රයා සහ ජීවිත දැනුම ප්‍රමාණවත්. මා බේබදු  යුගයේ හඳ දැක්කම මට මතක් වෙන්නේ බාර්වහන්න නියමිත දිනය ළඟයි කියලා. හඳේ බාර් කීපර්ලා නැහැ. ඒ උනාට පෝයට බාර් වහනවා කියන්නේ සම්මුතියක්. පෝය උදාව සිදුවෙන්නේ හඳත් සමග විමත් සම්මුතියක්. හඳ පායනවා බහිනවා අත්දකින බේබදු මිනිහෙකුට බාර් වහන නියමිත දිනය පුන්සඳින් මතුකරගන්න පුලුවන්. ඒක සිල් ගන්න මිනිහටත් පුළුවන්. මෙතනින් ජ්‍යෝතිශ්ශාස්ත්‍රීය ගැඹුරු යෝග සහ සම්මුති සම්බන්ධව හෑල්ලුවක් ඇතිවෙන්නේ නැහැ. තවත් තහවුරු වීමකුයි සිදුවන්නේ.

    කොටින්ම සම්මුති කාලයෙන් බලපුවාම විජේවීර සහෝදරයාගේ මරණය අකල් මරණයක්. නමුත් කර්මපල වාදයෙන් ජ්‍යෝතිෂයෙන් ගණනය කලාම විජේවීර ගෙනාපු කාලය එච්චරයි. ඒක නියත මරණයක්. විජේවීර වෘශ්චික උනා කියලා එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ගෝටාභය ජනාධිපතිගෙත් ලග්නය වෘශ්චිකලු. ඒත් ඒදෙන්නගේ දේශපාලන මත වාද දෙකක් වුනාට සමානකම් නැත්තාද නොවේ. මේ ලිපිය ඒ සම්බන්ධ ලිපියක් නොවන නිසා ඒ ඇති.

     සෙනසුරු මකරයේ යනවා කියන්නේ වෘශ්චික ලග්නයට තුන්වැන්නේ යනවා කියන කාරණයමයි. යමෙකුගේ තුන්වැන්නේ ගෝචර වශයෙන් සෙනසුරු ගමන් කරන කාලය බලවත් බවයි කියවෙන්නේ. අපේ ජනාධිපතිගේත් ලග්නය වෘශ්චික කියලයි ජනමාධ්‍ය වල සඳහන් වෙන්නේ. එතකොට සරලව ගත්තම ඒක හරිද වැරදිද කියලා හිතා ගන්න කාරණය ඔබට දැනිය යුතුයි. මේ මොහොතේ ඒක වෙනස් වෙලා. නැවත ජූලි 12 සිට පෙර තත්ත්වයමයි. එතනින් පස්සේ නැවත මකරයෙන් කූම්භ රාශියට යන්නේ 2023 ජනවාරි 17 අඟහරුවාදාටයි. රටක කේන්දරය  සෙවීම වෙනම අංශයක්. ලෝකායත ජ්‍යෝතිෂය කියලා කියන්නේ ඒකට. නමුත් දේශපාලන අනාවැකි සොයන පරණ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥ්ඥයෝ කියන්නේ ගල් ආඳෝ කියලයි ඉස්සර අපේ මලවැන්නේ ඥානාලෝක හාමුදුරුවෝ මට කියන්නේ. ඒ වගේම තමා මාත් කාලයක් පිරිවෙන් ගුරුවරයෙක් විදිහට සේවය කරමින් පන්සල් වල භූගත දේශපාලනය ගැන ගොඩක් දේවල් ආශාවෙන් හැදෑරුවා නොවේ හැදෑරුනා. ඒක නිසා මම දන්න දෙයක් තියනවා. පන්සල ගැන ව්‍යුහවාදයෙන් බලපුවාම ඒක ලාංකේය දේශපාලන අරටුවක්. ඒ ගැන සොයා බැලීමෙන් තොරව සිංහල බෞද්ධ මතවාදය පරාජය කරන්න පුළුවන්ද කියන කතන්දරය නැවත ඒ අයට කිව යුතු නැහැ. වාමාංශිකයෝ මේවා ගනන් ගන්නේ නැත්තේ එලිපිට. ඒ ගැනත් නම් වශයෙන් කතා කළ හැකියි. මිනිස්සු තරහ කරගැනීමට අකමැති නිසා මාරස ඒ පැත්තට අත තියන්නේ බැරිම තැනකදි පමණයි. කොටින්ම කාට හැංගුවත් රාජ්‍ය නායකයන්ගේ උපන් වේලාවත් කුලයත් පංසල කියන ව්‍යුහයට හංගන්න බැහැ.

     ඉතින් 2023 ජනවාරි 17 පැය 18 විනාඩි 03ට සෙනසුරු කුම්භ රාශියට නිරයන සම්මුතියෙන් මාරු වෙනවා.ඊට පස්සේ එයා 2027ඔක්තෝම්බර් 05 පමණවෙන තෙක් කුම්භ රාශියේ සැරි සරනවා. අතර මැද වාරයකදි කෙටි කාලීනව මීන රාශියටත් ගිහින් එනවා. හැම දේකටම කෘතුහලයක් තියන කතන්දරය මිනිස්සුන්ගේ ස්වභාවයක්. දැන් ඉතින් හිතෙනවා නියතයි 2023 ජනවාරි 23න් පස්සේ කුම්භයට ගියාම මක්වෙයිද කියන කතාව. ඉතින් 2022 අප්‍රියල් 29 සිට 2022 ජූලි 12 දක්වා මේ යන්නෙත් කුම්භයේ තමා. හිතන්න දක්ෂනම් සෙනසුරු කේන්ද්‍රීයව සරල හැඩයක් හිතා ගන්න පුළුවන්. ආර්ථික විශ්ලේෂකයෝ කියන කතාවල තියන කාලයනම් ඊට වඩා ගොඩක් දිගයි. සම්මුති වශයෙන් ලයිප් කියන වචනාර්ත වල සිරවෙලා සිටින කට්ටියට මේව ප්‍රශ්න වුනාට පැවැත්ම කියන ත්‍රාන්තික සිතීම් වල සිටින්නන්ට මේව නිකන්ම නිකන් සිතිවිලි පමණක් බවත් ඇත්තක්. ඒත් මෙතන භයානක රටක් කඩා වැටුන කතාව නෙවේ. නූතන පරපුරේ නව ලිබරල් සිහින කඩාවැටීම භයානයකයි. ඒවා ගැනත් සූර්ය කේන්ද්‍රීය ඔරලෝසු කාලය පැත්තකින් තියලා අඩුම වශයෙන් සෙනසුරා ක්‍රේන්ද්‍ර කරගෙනවත් හොයා බැලුවනම් තමා හොඳ. ඒත් පඩි නැතිව වැඩ කරන්න මාරස කැමති උනත් මේ ක්‍රමයේ එහෙම කරන්න බැරිබව ඇත්තක්. අහස තියෙන්නේ තවත් අහසක නොවේ. තමන්ගේම ඔලුගෙඩියේමයි. අපිත් ජීවත් වෙන්නේ අහසේම තමා. මේ ලිපිය ලිව්වේ ඒ ගැන හොඳින් වටහාගෙන. ජ්‍යෝතිෂය මිනිසාගේ නිර්මාණයක් නොවී ස්වභාවයාගේ නිර්මාණයක් කිව්වොත් ඒකත් දෙවියන්ගේ නිර්මාණයක් වෙනවා. මතක තියා ගත යුතු තවත් කරුණක් තියනවා. වේදයේ කියන්නාක් මෙන් දෙවියන් සිටින්නේ වෙන කොහේවත් නොවේ. අපේ හදවත් තුලමයි. දවසක් සයිමන් නවගත්තේගම මගෙන් අහනවා ප්‍රඥ්ඥාව තියෙන්නේ කොහේද කියලා.අවසානයේදි මිනිස් ශරීරයෙන් පිටතටත් ප්‍රඥ්ඥාව අයිතියි කියලා දැනෙන්න පටන් ගන්නවා.

…‘කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ’ – ‘ මල් වරා නොවෙද කිරි වැද පැසෙන්නේ ‘

…‘සෙනසුරා නොවේද වැසි පල නොදුන්නේ ‘ – ‘ලොව්තුරා බුදුන් කවදද අපි දකින්නේ ‘  

(ජන කවි)

ජගත් මාරසිංහ

23 05 2022

http://jmaraya.blogspot.com/2020/01/blog-post.html

http://jmaraya.blogspot.com/2020/03/2020.html

 


Powered by Blogger.