ඊයේ රාත්‍රියේ සයිබර් රස්තියාදුවේ යද්දි මාරස ලෝකයේ විදිවල අතරමංවුනා. සැරසිලි නැති වීදි වලත් ඒ පාලුවත් නිකන් ජේසුස් වහන්සේ ආලෝකමත් කරල වගේ හැඟීමක් එනවා. මොකද අපේ කොදව්වටත් නත්තල කියන කතන්දරයේ තියන ආධ්‍යාත්මික පැත්තට වඩා ඒ අස්සේ වෙළෙඳපල ප්‍රචාරණ කටයුතු වලින් මතුකරල තිබෙන සතුට බුක්ති විඳීමේ ලෝක සමාජ සංස්කෘතියෙන් මිදෙන්න බැහැ. ජේසුස් වහන්සෙගේ බැතිමතුන්නම් පූජාවට ගිහින් ආධ්‍යාත්මිකත්වයේ බලය සම්බන්ධව මෙනෙහි කරන් තමා සතුටේ සංස්කෘතියට ගොඩවෙන්නේ. තවම මේ සංස්කෘතිය අපට ගොඩක් උරුම වුනේ පරංගින්ගෙන් තමා. ඒත් දැන් ඒක අපේ කොදෙව් සංස්කෘතියෙත් කෑල්ලක් වෙලා අවසානයි. ගොඩක් බෞද්ධ ගෙවල් වලත් දරුවන් වෙනුවෙන් නත්තල් ගස් හදනවා. නත්තල් සීයා ආවා කියලා පොඩි දරුවන්ගේ කොට්ටේ යට සෙල්ලම් බඩු සඟවලා දරුවන්ව සතුටු කරන සංස්කෘතියත් තාම ජීවමානයි. අදනම් ඒක නඩත්තු කරන්නේ වෙළඳ ප්‍රචාරණ ආයතන විසින් ප්ලාස්ටික් විදිහකටයි. සංස්කෘතික ප්රවනතා දෙකක් එකට පෑස්සෙන්නත් ලේසි නැහැ. නමුත් අපේ කොදෙව්වේ ආගමික සමාජයේ එක්තරා කාලෙක සිටි සම්භාව්‍ය හාමුදුරුවන් වහන්සේලා සහසම්භාව්ය ක්‍රිස්තියානි සංස්කෘතියේ පූජක තුමන්ලා විසිනුත් මේ දේ ලාංකේය සමාජයට සාමයේ නාමයෙන්ම කිඳා බස්සන්නට සමත් වෙලා තියනවා. ඒ තත්වය මැයි පළවෙනිදා ලෝක කම්කරු දිනයටත් පොදුයි වගේ. හැම පක්ෂයක්ම වාසියට හරි මැයි දිනයත් සැමරුවට විප්ලවවාදී ජීව ගුණය කියන කතන්දරය අඩු වැඩි වශයෙන් එතනත් තියනවා. මේ තමා සම්භාව්‍ය ප්රභූප්රවනතාවයන් යටින් මතුවන ශක්තිය සහ බලයේ සැබෑව කිව්වොත් වරදක් වෙන එකක් නැහැ.
ඉතින් කොහොම හරි මේ ජේසුගේ රූපය මාරසට ඇස ගැසුනේ සිනමා වීදියක තිබිලයි. දැක්ක ගමන් මාරසට හිතුනේ ජේසු ජීවමානයි වගේ හැඟීමක්. මේක රූපවාහිණී චිත්‍රපටයක ප්රචාරක පින්තූරයක්. චිත්‍රපටය තමා "Jesus of Nazareth" අධ්‍යක්ෂක තමා Franco Zeffirelli. ඔහු විසින් 1977 දී ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය පිළිබඳ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක් කිව්වට රූපවාහිනි කතා මාලාවක්. ජේසුස් ඔෆ් නාසරෙත් යනු 1977 බ්‍රිතාන්‍ය-ඉතාලි රූපවාහිනී කතාමාලාවක්. ඒ රූපවාහිණී චිත්රපයේ දැන්විමක් තමා මාරස අද සැමට සුභ නත්තලක් කියන්න ඊයෙ සයිබර් රස්තියාදුවෙන් ඇහිඳ ගත්තේ.
ජේසු ගැනත් විවිධ කලාත්මක චිත්‍රපට චිත්‍රපට පිස්සුව තිබ්බ කාලේ හොය හොයා බලපු නිසාත් වෙන්න ඇති මේ පුවරුව දැක්ක ගමන් ජේසු ජීවමානයි කියලා හැඟී ගියේ. කොහොමත් කලා කාරයන්ට කළුගලුත් ජීවමාන කරන්න හැකි බව කවුද නොදන්නේ.
මේ චිත්‍රපටය ජිවමාන වෙන්නේ රූපයෙන් පමණක් නොවේ කියන විචාරයන් කියවනකොට දිග වැඩි උනත් බැලුවනම් හොඳයි කියලා හිතුනා. මාරසටනම් හිතෙන්නේ හැබැහින් අපි ජේසු දිහා බලන් ඉන්න කතාව තමා ඒකේ ඇත්තේ කියලා. මේරිගේ විවාහයෙන් ආරම්භ වන මෙම චිත්‍රපටය අතර කුරුසියේ ඇණ ගැසීම සහ නැවත නැඟිටීම හරහා ඉදිරියට යන විදිහට කරල තියන බවට විචාර ලියවිලා තියනවා. නාසරෙත්හි යේසුස් නැමති රූපවාහිනී චිත්‍රපටයෙන් අහුලා ගත්ත ජේසුස් වහන්සේගේ ප්‍රතිනිර්මාණය පල කරලා මාරස සකල මනුෂ්‍යන්ට මනුෂ්‍යත්වයේ නාමයෙන් සුභ නත්තලක් කියලා පතන්නම්
.
2024 12 25