ලොම් හැලුන වඳුරනේ මොකද තොපි විරවිලා !!!

     ලොම් හැලුන වඳුරනේ මොකද තොපි විරවිලා !!!

     2019 සිට 2023 අප්‍රියල් 17 දක්වා සෙනසුරාගේ චලිතයට අනුකූලව අප කොදෙව්වේ භෞතික සහ ආධ්‍යාත්මික චලිතයේ හැඩය ගැන විමසීම් සියල්ල මාරස සැබෑ පාඨකයන්ට අළුත් දෙයක් නොවන බව දැනී යම් සදය සතුටක් ඇතිවේ. සෙනසුරා සම්බන්ධ සම්මුති න්‍යායන් පමණක් අධිනිශ්චය කර ලියන්නේ බුද්ධිමය හොරුන්ගේ කැත වැඩ නිසාය. අපියි ඉස්සරලා කිව්වේ කියමින් එලිපිටම ජඩ බුද්ධිමය හොරුන් නිසා වැඩි දුර න්‍යායන් ගැන නොලියා කිව යුත්ත පමණක් කීමට මාරසට සිදුවී තිබෙන්නේ අහසේ නියාමයන් යට කරමින් දේශපාලනික ජාතික තක්කඩි කම් මෙවන් නිමේශ වල මතුවෙන්නේ කුඩු සංස්කෘතියේ පල් හොරුන්ටත් වඩා ජඩ හොරුන් වේශයෙන් බව දන්නා නිසාය.

      2019 සිට ඇතිවූ තත්වයන් ඒ ආකාරයටම සිදුවෙමින් පවතී. සෙනසුරු සම්මුතියේ  අනිත්‍යය මතුකිරීමේ ස්වභාවයත් මකර සම්මුතියේ ගින්දර සම්බන්ධ කතන්දරයත් මාරස දිගහැරියේ ගින්දර සහ ඉන්දන කතන්දරය ගැන සන්නිවේදනය කිරීමටය. කදිම ආකාරයට ස්වභාවයා විසින් ගිනිගත් ඉන්දන නැවක්ම එවා ප්‍රදර්ශනයට පත්කරන ලද ඒ තත්ත්වයන් දැන් ගෑස් පුපුරමින් ඉන්දන අහිමි තත්ත්වයක් දක්වා ඔඩු දුවා තිබේ. මේවා අහසින් ලබා ගන්නා ස්වභාවික නිවේදනයන් පමණි. ඒ සඳහා පවතින දේශපාලනය විසින් ගන්නා වූ ක්‍රියා මාර්ග මජර දේශපාලකයන් විසින් ගන්නා ආකාරය ලියන්නට මගේ අසභ්‍ය වචන ශබ්ද කෝෂය නොසෑහෙන බවද ලියා තැබිය යුතුය.

     නිරයන සම්මුති ආකාරයෙන් මකර රාශියේ ගිය සෙනසුරා 2022 අප්‍රියල් 29 දා කුම්භයට මාරු වූ පසු සිදුවූ හරිය කියන්න අවශ්‍යතාවක් නැත. මේ ඊයේ පෙරේදාය. රජ වරුන් පුටුවෙන් බස්සන්නටත් ඇසට පෙනෙන්නටම ගින්දර පෙන්වීමටත් මිනිසුන් විසින් පටන් ගැනිණ. තාම සෙනසුරා කුම්භයේය. සූර්යාගේ ගතිගුණ කියන්නට රුසියාවේ චිවිස්කි නම් විද්‍යාඥයාවද සිහි කළ බවද නැවත සිහි කළ යුතුය. මේ සෙනසුරු කුම්භයට ගොස් නැවත ආපසු මකරයට එන හෝරාවය. 2023 ජනවාරි 17 වෙනිදායින් පසුව වසර දෙකහමාරක දේශපාලනික ගමනේ දුෂ්ට හැඩය ගැන දේශපාලනික නායකයන්ට පවා වැටහීමක් ලබා ගැනීමට 2022 අප්‍රියල් 29 සිට 2022 ජූලි 12 දක්වා වූ මාස දෙකකුත් දින 13ක කාලයද මරේම මරුය. මන්ද 2023 ජනවාරි 17 දා සිට තවත් වසර දෙකහමාරක් සෙනසුරාගේම රාශියක් වූ කුම්භය නැමති කාශ්ටක වියලි රාශියක  (නොකියන න්‍යාත්මක ග්‍රහ සම්මුති න්‍යායන් තව බොහෝ තිබේ.) නිරයන සම්මුතියට අනුව සෙනසුරු ගමන් කරන නිසාය. කුම්භයට ගිය සෙනසුරා ආපසු එයාගේම රාශියක් වූ මකරයට පැමිනෙන කාලයේ සමාජ හැඩය අවබෝධ කර ගැනීමට මෙය ලියන අද ජූලි පළමුවෙනිදා සිට 12 වැනිදා දක්වා තත්ත්වය දෙස විමසිල්ලෙන් බලා සිටින ලෙස ජ්‍යෝතිෂය දුහුනන්ගෙන් ඉල්ලා සිටිය යුතුය. වඩාත් බරපතල අපලයි කියනවා වෙනුවට එවන් දෙයක් ලීවේ මිනිස් සිතීමේ භෞතික කෑල්ලට එකතු විය යුතු ආධ්‍යාත්මික කෑල්ල අපේ පොළවේ බුද්ධිමතුන් කියන බොහෝ දෙනෙකුගෙන් වියුක්ත වී ඇති නිසාය. ඒ බන අසන කියන විතරක් වූ රටකට සිදුවූ අලකලංචියක් නොව වියයුත්තක් බව දැනට වටහා ගත්තාටද කාරියක් නැත.

      මෙය ලියන්නට සිතුනේද වෛද්‍ය පරීක්ෂනයක් සඳහා කොළඹට යාමට රෝගියෙකු වාහනයක් නොමැතිව වාතවී සිටිනවා දැකය. මේ වාතය වේරම්භ වාතයක් වීමට ඇති ඉඩ කඩ වල උපරිම සන්දියට රට පැමින ඇති බව භෞතිකව කාට කාටත් වැටහී හමාරය. පාලක කාරාදීන්ට ඒ බව ඉතිහාසය පුරා වැටහී නැති බව හෝ වැටහුනත් ගනන් නොගන්නා බව හුදී ජනයා අත්දැකීමෙන් දැන ගත යුතුය. ස්වභාවයා විසින් ලාංකේය ජනතාවගේ ලිට්මස් පරීක්ෂණය කරන මේ දින දොළහ ඉතිහාසයේ කිනම් ආකාරයට ලියවෙනු ඇතිද යන්න ඉතිහාසය විසින්ම තීරණය කිරීමද නියතය.

“රජ කෙනෙකු මෙන් සිතා සිටියෙමි

මෘගයෙකු මෙන් බැඳ දමා ඇත

කිසිම වරදක් නොකෙරුවෙමු අප

ඒක හන්දම පාපයක් නොව

නියම මග වැරදිලා.....//

වැරදිලා පැටලිලා

බොරු ගොඩක් පැතිරිලා

කැරකිලා හැරවිලා

විනාශය ලං වෙලා

වරෙල්ලා වරෙල්ලා

වැරදිවත් හදල්ලා

ලොම් හැලුන වඳුරනේ

මොකද තොපි විරවිලා.//

 මෙය මා විසින් 1985 “පරවේනි” නාටකයට ලියන ලද ගීතයකි. සම්මානයක් වශයෙන් පාලකයන් විසින් වසර දෙකක් රැඳවුම් කරුවෙකු වශයෙන් මැගසින් බන්ධනාගාරයේ හිර කර තබා ගන්නා ලදී. අද ජනතාව තමන් විසින්ම තමන්ගෙන්ම ඒ ප්‍රශ්නය අසා ගැනීම දෛවයේ සරදමක් සේ සිතමි.

“ලොම් හැලුන වඳුරනේ

මොකද තොපි විරවිලා”

-ජගත් මාරසිංහ

01 07 2022





Powered by Blogger.