මොකක්ද රහසක්ක කියනවා

මොකක්ද රහසක්ක කියනවා

රාහු අසුරේන්ද්රයාගේ ආධ්යාත්මිකත්වයට එරෙහිව නෙවේ එකඟව රාහුගේ චාරිකාව පටන් ගත්තේ මොරටුවෙන්. ‌මොරටුවෙන් දෙහිඅත්තකණ්ඩියට සුළු කාලයකට. පසුව නැවත මොරටුව හරහා උපන් දිසාව වන ගම්පහ දිසාවට සේන්දු උනා. ගම්පහ දිසාවේ දැන් මිනුවන්ගොඩ ගම වටේ රාහු යනවා වගේත් දැනෙනවා. ගම්පහ දිසාවේ දූනගහ ගමින් මාබොදල හරහා දැන් කොටුගොඩ ඕපාත කියන කළණ ගමන්සගයෙකු වාසය කරන "නව සිංහ භවනේ" වාසය කරන්න වීම ලස්සනයි. අතේ සතේ නැතිවත් තෙල් ලයිට් නැතිවත් තනියමත් වෙසෙන්න හැකි ගමක නවාතැනක්. හතර අතේ පැරණි මිත්රයන්ගෙන් අඩුවකුත් නැහැ. ඒ යාලුවෝ වෙලාවකට මගේ කළණ මිත්රයෝ. තවත් වෙලාවකට මම තාත්තා වෙන්නත් ඕනා. වෙලාවකට එයාලත් තාත්තල සීයලත් වෙනවා. ඒක මරු. "මේ නව සිංහ භවන" ට යන ප්රධාන මාර්ගයෙන් හැරෙන්න තියෙන්නේ ගමක් වැඳුම් පිදුම් කරන බෝගසක් ලඟින්. පල්ලියක් අසල බෝගස් සහ බෝගස් අසල පල්ලි අධිරාජ්ය යුගයේ දේශපාලනික කතන්දර ගොඩක් මතුකරන බව දන්නවා. ඒත් ඒවා දැන් වෙනම ආදරණීය විදිහක් බවට පත්වෙමින් තිබෙනවා. ඊටත් එපිටින් ත්රාන්ත්රිකව ජීවිතේ දැනෙන්න ගන්න හඬ නව උද්ගෝෂණවල දැක්මෙන් පවා මතුවෙමින් පවතිනවා. කොහොම උනත් ඒ බෝගහ මොකක්දෝ මහා රහසක් කියනවා වගේ අර මානවසිංහයන්ගේ මහබෝ වන්නම සිහිකරනවා. ඊට පසු හමුවෙන්නේ කොටුගොඩ ඕපාත සාන්ත අන්තෝනි මුනිතුමන්ගේ ලස්සන නිදහස් කතෝලික පල්ලියක්. නිහඬ පරිසරයක ඇති ඒ පල්ලියත් තවත් මොකක්ද රහසක් කියනවා වගේ දැනෙනවා. ඒ රහස් ඔක්කොම එකද කියලා අහන ප්රතිතර්ක වලට පිළිතුරු නැහැ. ඒ තමා අපන්නක චින්තනය. ගැටුමක් නැතිව ආධ්යාත්මික රහස් ගලාගෙන ගලාගෙන යනවා. වැඩිය අහලා නැති උනත් පාදුවා පල්ලියේ රාග තාලත් සිහියට නොඑනවා නොවේ. අපේ හදවත්වල ආගම් වාද බේද නැති තැනකට තමා ඒ ශබ්දය ඇහෙන්නේ. ආධ්යාත්මිකත්වයේ භෞතිකය හෝ භෞතිකයේ ආධ්යාත්මය ගැන විමසන්න හුරුවෙච්ච අයට ඒ ශබ්දය සංගීතයක් වගේ දැනෙනවා. සමහරුන්ට ඇහෙනව උනාට දැනෙන්නේ නැතිව ඇති. ‌දැනෙනවාද නැතිද යන්න දැනෙන්නේත් තමන්ටම පමණයි. මොකද ආධ්යාත්මික ගැඹුරු සප්ත ස්වරය අහන්න දෙසවන් තියන තැනක් කියන්න කිසිවෙකුටත් බැරි නිසා. අනික කියන්න අවශ්යයත් නැහැ වගේ කිව්වත් වරදක් නැහැ.
කෙසේ නමුත් විශේෂයෙන් ශ්රී ලංකාවේද කතෝලික බැතිමතුන් අතරද ‌දේවල් දැනෙන තැනකින් ලෝකය විමසන අය අතරද හදවතේ ලැගුම් ගත්ත ඉතාමත් ජනප්රියත්වයට පත්ව ඇති සාන්තුවරයෙක් තමා ශුද්ධවූ අන්තෝනි මුනි තුමා කියන්නේ කියලා අහලා තියනවා. එතුමා කෙරෙහි ඇති භක්තිය තුළින් දෙවියන් වහන්සේ වෙතට හැරී ආ බැතිමතුන් ගණන ඉතා විශාලයි කියලයි කියන්නේ. නැතිවූ දේ සොයා දෙන්නා වූ ශාන්ත අන්තෝනි මුනිඳු ලෙස කතෝලික බැතිමතුන් පිළිගන්නා ඒ පල්ලියේ මංගල්ලයට අහම්බෙන් යන්න අපටත් පුළුවන් වුනා. අනික නිකන් දවසක නෙවේ මංගල්ලෙ දවසේ. අහම්බෙන් ගිය එක කාරි නැහැ. ජීවිතේ ආපසු හැරිල බලපුවාම හැම දෙයක්ම සිද්ධ වෙලා ති‌යෙන්නේ අහඹුව අනිවාර්ය වීමෙන් තමා. ඉතින් කැමරා පෝනයෙන් මාරස ගමන් සගයා වූ මනෝ විසින් ගත් රූප පෙලක් කෙටියෙන් අමුනන්න මාරසටත් හිතෙන්න ඇති. ඒකත් මාරසේ මනෝ භාවයක් තමා. වෙන මොකුත් නිසා නොවේ. ආධයාත්මිකව ඒ තැන්වලින් දැනෙන හඬ හොයන්න ආශාවක් තියන අය නිසා වෙන්න ඇති. සාහිත්යය කියවනකොට නම් අර්. කේ නාරායන්ගේ නිර්මාණ සාහිත්ය පුරාම එයා මේ හඬ අහන්න සලස්වල තියෙන බව දැනෙන බවත් නොකියාම බැහැ. කොහොම උනත් සතර පාදඩ චාරිකා ගොස් ඇති නිසා මේ ගමනත් සිහිවටනයක් විදිහට බ්ලොගයට ලඝු කරන්න හිතුනේ අර මම කලින් කියපු සප්ත ස්වරයන්ට පිටින් දැනෙන ජීවිතය දැනෙන රහස් ශබ්දය නිසා විය හැකියි.
ජගත් මාරසිංහ
20 06 2022


Powered by Blogger.