කොළඹ නගරයට ජයවේවා!!!

                                                 කොළඹ නගරයට ජයවේවා!!!

            මිනිස් සිතකට දරාගත නොහැකි මානසික ආතතියකින් පෙළෙමින් සිටි කාලයේ මා මධුලෝලත්වයේ සුන්දරත්වය විඳිමින් ලංකාව පුරා පිස්සෙකු සේ ඇවිදපු කාලය සිහියට නැගේ. ඒ අසූව දශකය අවසානය සහ අනූව දශකය ආරම්භ වූ කාලයයි. වීදියේ ජීවිතයේ මධුලෝලත්වයේ රහස් සුන්දරත්වය ගැන මා “කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්ථාව” නම් ග්‍රන්ථයේ “මධුලෝලත්වයේ ව්‍යාකරණ” නැමති දීර්ග ලිපියකින් රාජ්‍ය වර්ෂ 2000දී ලියා පල කරන ලදී. නමුදු ඒ කාලයේ නොලියවුන අත්දැකීම් තව බොහෝ තිබේ. කොළඹ පිටකොටුව ඇතුලු තැන් කීපයක මා අසිහියෙන් නිදාගෙන සිට අලුයම පිබීදී පිටකොටුව දුම්රිය පොළ ඉදිරියෙන් ඇති මාර්ගයක කාපිරි මුඩුක්කුව සොයා ඇවිද ගිය අවස්ථා බොහෝය. ඒ බේබද්දෙකුගේ අළුයම් කාලයට ඇතිවන පශ්චාත් සංවේදිත බේබදු මනසේ රත්පිත් උන්මාදය හෙවත් ඩිප්ප්‍රෙෂන් තත්ත්වය තාවකාලිකව සමනය කරගැනීමට ඒ කාලයේ කාපිරි මුඩුක්කුවේ පවත්වාගෙන ගිය තහනම් මත්පැන් පොළවල් සොයාගෙනය. බේබි අක්කාගේ ජැක් පොට් බත්කඩයද සිවිල් නොවන අවන්හලද තාමත් මතකයේ තිබේ. මා එතන සිටි අවස්තාවක ආර් ප්‍රෙමදාස මහතාගේ මැදකොළඹ මැතිවරණ ප්‍රතිඵලය රූපවාහිනියෙන් ප්‍රචාරය කළ අවස්තාවේ දේශපාලන සතුටේ කොළඹ මිනිසා මම දැක ගත්තෙමි. මිනිසුන් මැද මල්වෙඩි පුපුරණවා ඔබ දැක තිබේද? කමින් සිටි බත් පිඟන් උඩ දමමින් මිනිසුන් නටනවා ඔබ දැක තිබේද? නමුත් ඒ යුගයේ අවාසනාවකට මා අත කැමරායක් නොතිබුනේය. තිබුණු කැමරා මත්වතුර වෙනුවෙන් පිටකොටුවේ මල්වත්ත වීදියේ උගස් වී සින්න වෙන්නට ඇත. නමුත් ඒ මා ජීවිතයේ සුන්දරම කාලයකි. කෙසේ හෝ ඒ දිනවල සන්ද්‍යාවේ තානාපති කාර්යාල සොයා පයින්ම ගොස් විදේශ චිත්‍රපට නැරඹූ කාලයද වන්නේය. නොදැනුවත්ව නවතා ඇති බස්රථ වල නිදාගෙන එහි රියැදුරු සහ කොන්දොස්තර තැන වරක් මා අවධි කරනු ලැබූවේ කෑගල්ලේ තේ බොන්නට බස්රථය නැවැත්වූ පසුය. මා ඉදිරියට ගොස්  බසය දෙස බැලූ විට ඒ නුවර බලා ගමන්  ගන්නා බස්රථයකි. දිනවාකවානුව මතකයේ විදිහට මිනුවන්ගොඩ නාලන්දාවේ මහපොළ සැනකෙළිය තිබූ දිනට පසු දිනය. 

           ඒ කාලයේ මා මුදල් සඟවා ගන්නේ කලිසන් වාටියේය. කලිසන් වාටියේ ඇති මුදල් අවසන් වන වග දැනෙන කළ සහ බෑගයේ ඇති අතිරේක ඇඳුම් ගඳ ගසන කල මා නැවත මොරටුව සොයිසා මහල් නිවාසයේ ඇති නිවසට පැමිනේ. මේ ගමන් ගැන බොහෝ රස කතා මා නිවසට පැමිණි විට පවසන්නේ සයිමන් නවගත්තේගමයන් සමගය. ඉතා සාවදානයෙන් මට ඇහුන්කන් දෙන ඔහු අවසානයේ අපහස උපහස ඇනුම් පද සහිතව මහ හඬන් සිනාසෙන අයුරු ඇතැම් අවස්ථාවල මට තවමත් දෝංකාරදී ප්‍රතිරාව නැගෙන්නේය. ඒ  කාලයේ මා සමග මගේ හිතවත් මිතුරන්ද අමනාප වී සිටියේය. කිසිම අමනාපයක් නැතිව මා සමග ඒ කාලයේ ඇසුරු කළ දෙදෙනෙකු විය. ඒ සයිමන් නවගත්තේගම සහ සුගතපාලද සිල්වා වැනි සාහිත්‍යකාමී මිනිස්කමද ජයගත් කලාකරුවන් දෙපොළය. ඇතැම් අවස්ථාවල ඔවුන් මගේ සෞඛ්‍ය තත්වයට උපදෙස් දුන් අතර අතේ පිච්චියක් නැති අවස්ථාවල සිරිසඟබෝලා වූ බවද සිහි කළ යුතුය. ඒ විස්තර පොතකට ලිවීමට මා සිතමින් සිටියත් උපුල් ශාන්ත සන්නස්ගලයේ සංහිඳ ප්‍රකාශකයන් විසින් පලකරන ලද කැත කතුන් ග්‍රන්ථයේ පළමු මුද්‍රණය අවසන් වී වසර පහක් ගතවෙමින් තිබේ. කුමන හෝ හේතුවක් නිසා එහි දෙවන මුද්‍රණය කරගැනීමට කිසිදු ප්‍රකාශන සමාගමක් කැමති කර ගැනීමට නොහැකිවීමේ පසුතැවිල්ලට පිළියමක් ලෙස මා මාරස නැමති බ්ලොග් අඩවිය නිර්මාණය කර එය වෙබ් විරිත නැමති වෙබ් ජාලයේ කොටසක් බවට පත්කරගෙන හිතුන දෙයක් ලියන්නට පටන් ගත්තෙමි. මේ තත්ත්වය මත පොතක් ලියන්නට පෑනක් අල්ලන්නටවත් යතුරු ලියනයට අනින්නවත් දැන් මගේ මනස කීකරු කර ගැනීම බොහෝ අපහසු බවද සටහන් කළ යුතුය. ඒ රසවත් කාලයේ වීදි අත්දැකීම් තවමත් මා සමග නිරන්තරයෙන් සමගියෙන් ජීවත්වේ. ඉතින් ඉන් කොටසක් මේ මොහොතේ ලියා අත හැරීමට සිතුනේ ඊයේ රාත්‍රියේ සයිබර් වීදි ඔස්සේ ඇවිදගන යන විට ඇස ගැහැසුන එප් ඩී වෝක(ර්)   (f.d. walker) ගේ A Street Photography Guide to Colombo, Sri Lanka  සම්බන්ධව කොළඹ නගරයේ දඩයම් කරගෙන තිබූ ඡායාරූප විඳීමෙන් පසුවය. ඔහු කොළඹ වර්ණා කර තිබේ. ඔහු කියන විදිහටම කොළඹ වනාහී වීදි ඡායාරූපකරණයට තෝතැන්නක් බඳුය. මාර්කෝ පෝලෝ ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම දූපත ලෙස හැඳින්වූ අතර ශ්‍රී ලංකා සිවිල් යුද්ධයට පෙර එය ලෝකයේ ඉහළම සංචාරක ගමනාන්තයක් වූ බවද ඔහු පවසා තිබේ. සිවිල් යුද්ධය අවසාන වූ පසුව වීදි ඡායාරූපකරණයට කොළඹට ඇඟිල්ල දික්කර ජාත්‍යන්තර වීදි ඡායාරූප ශිල්පීන්ට පෙන්වීමට ඔහු උත්සාහ කරයි. අපේ කරුමයට සිවිල් යුද්ධයෙන් පසු ආර්ථික යුද්ධයක් ආරම්භ වූවාට විදේශිකයන් විසින් ඉතිරි කර ඇති කොළඹ නගරයේ වීදි ඡායාරූප දුටු මා හට මගේ හතර පාදඩ චාරිකාවේ සිහිවටන ගොන්නක් සතුට නැමති චින්තාව කොනිත්තන්නට විය. මේ සටහන එහි ප්‍රතිපලයකි.

      කාක්කන්ගේ කරච්චලයත් සමග සූර්ය උදාවටද අනුකූලව අති සන්සුන්ව කොළඹ නගරයේ නිහඬ ආරම්භය චමත්කාර ජනකය. ඉක්බිති කොළඹට පැමිනෙන මගී ප්‍රවාහන රථ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙන්නට පටන් ගනී. තප්පරයෙන් තප්පරයට හිරු උදාවට අනුගත වූවා සේ කොළඹ නගරය කලබලකාරීත්වයට පත්වේ. පසුව සවස හය හත පහුවන විට නැවතත් කොළඹ නගරය තවුස් වෙස් ගෙන නිහඬ වන්නට පටන් ගනී. ඉන්පසු කලබලය පවතින්නේ රාත්‍රී දහය වන තෙක් අවන්හල් තුල පමණි. කොළඹ නගරය හය පසුවූ පසුව ක්‍රමයෙන් පොලීසිය සහ නේක විද පාතාල සමාජ වැඩ භාරගන්නවා සේය. ඒ අතර වීදි කතුන් සිය රාජකාරිය සඳහා කඩ පිල් අසලට වාර්තා කරන්නේ කුඩයක් අතින් ගෙන අත් බෑගයක් පපුවට තුරුළු කරගෙනය. ඒ තමාගේ වෘත්තියේ සංකේතය බව මා වටහාගත්තේ කාලයකට පසුවය. ඔවුන් සමග කතා බහ කළවිට පැහැදිලි වන්නේ කොළඹ වීදි නිවාස වලටත් වඩා ගමේ සිට කොළඹට පැමිනෙන වීදි සරණ ලියන් වැඩි බවය. ඉඳ හිට ඔවුන් වේගවත් ගමනින් අතුරු වීදි වලට හැරී නොපෙනී යන්නේ පොලිස් නිළධාරීන්ගේ ක්ෂණික පැමිනීමත් සමගය. එහෙත් පොලිස් නිලධාරීන් ඉවත් වූ පසු යලිත් ඔවුන් ප්‍රධාන වීදි වලට පැමින   සොච්චම් මුදලකට සේවාදායකු ගැන බලාපොරොත්තු දල්වාගෙන ඈත මෑත බලමින් පසුවෙන අයුරු නරඹන්නාට අමුතුම අත්දැකීමකි. එහෙත් ඔවුන්ගේ හදවත කෙසේ ගිනිගනිද්දැයි සිතා ගැනීම මා විසින් පාටකයාගේ බුද්ධියට ඉඩ දී නිහඬ වෙමි.

       පැය විසිහතරක් තුළ සූර්යා සමග කොළඹ චර්යා රටාවන් දුරස්ථකරන සිද්ධාන්තයට සිදුවන ජවනිකා පෙලක්මෙන් මා සිතේ තැන්පත්ව ඇත.ඒ කාලයේ මා දිනපොතක ලියා තිබූ කවියක් මට සිහිවේ.

කළුවර පාන්දර

සීතල ඉරාගෙන

කපුටු

රෑන් රෑන් රෑන් රෑන්

කොළඹ එනව

කුණු බුදින්න.

කොළඹ කපුටො

පේන බලල

ඉඳල හිටල

ගමට යනව

හුස්ම ගන්න.

     කෙසේ උවත් මේ සටහන ලියන්නට සිතක් ඇති කළ වොකර්ගේ වෙබ් පිටුවකින් ගත් මෙම ඡායාරූපය යටින් මැනිං වෙළඳපොළ කොළඹ ශ්‍රී ලංකාව කියා ලියා තිබිණි. එහි ප්‍රධාන අරමුණු චරිතයේ හිස සම්පූර්ණයෙන්ම ඉදෙමින් පවතින කෙසෙල් කැන් වලින් වැසී ඇත. ඒ ඉදෙමින් තිබෙන කෙසෙල්ගෙඩි වෙලෙන්දාගේ බලාපොරොත්තු සේය. කොලපාට පතුරු ගිය කිලිටි බිත්තියක් මත දේවරූපයක් දිස්වේ. කෙසෙල්ගෙඩි වෙළෙන්දාගේ ආධ්‍යාත්මික බලාපොරොත්තුවේ තරම ඉන් මොනවට පැහැදිලි වේ. මොනවදෝ අඩුම කුඩම දැමූ ෂොපින් උරයක්ද පේන්නට තිබේ. සමහර විට ඒ ඔහුගේ ගමන් බෑගය විය හැක. වීදි ඡායාරූප ශිල්පියා ඉදෙමින් තිබෙන කෙසෙල්ගෙඩි ඇසුරින් කෙසෙල්ගෙඩි වෙලෙන්දාගේ හිස ආවරණය කළා නොව ඔහුගේ හිසේ ඇති බලාපොරොත්තුව මෙතෙකයැයි රසිකයාට දැනුම් දුන්නාසේය. තව මොහොතකින් මහා කලබලක් ඇතිවන කොළඹ නගරයේ මැනින් මාකට් කෙසෙල්ගෙඩි වෙලෙන්දාව ඔහු කදිමෙට ආලෝකයෙන් දඩයම් කරගෙන තිබේ. මේ ඡායාරූපයේද සැලසුමකට යටත් නැති වීදි ඡායාරූප නියමයන් මනාව සටහන් වී ඇත.

     ඔබටද ජීවිතයේ සැබෑ අර්ධය අත්දකින්නට අවැසිනම් කොළඹ නගරයේ රැයක් පහන් කරන සේ මාරස ලියා තබමි. මෙවන් රූප රාමු කප්පරක් සෑම මොහොතකම ස්වභාවික අභිනයේ නියැලෙන කොළඹ නගරය ඔබේ පෝන් කැමරාවෙන් එක් රාමුවක්වත් දඩයම් කරගෙන නැතිනම් ඒ ජීවිතයේ අඩුවක් බව ඔබට දැන් වැටහෙනු ඇත. මතක තියාගත යුත්තේ ලිංගය තිබෙන්නේ මුත්‍රා කිරීමට පමණක් නොවන්නා සේ ස්මාට් පෝනයක් තිබෙන්නේ වෙලාව බලා ගැනීමට සහ දුරකතන ඇමතුම් ලබාගැනීමටම හෝ සෙල්පි ගැසීමට පමණක් නොවන වගය. වීදි ඡායාරූපයෙන් කවුරුන් සතුටු වූවාද නැතිද යන කාරණය කම් කිම්. ඔබට විඳින්නට හැකිනම් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වන කොළඹ නගරයේ ස්වභාවික අභිනයන්ගේ චලනය මහා භාවනාවක කමටහනක් කරගැනීමට පවා පෝෂණ දැකීමකින් යුක්තය. පොත් දහසක් කියවනවාට වඩා කොළඹවන් අග නගරයක වීදියක් ඔස්සේ  මධුලෝලත්වය සමග හෝ නිරීක්ෂණ අවධියෙන් ඇවිදගෙන යන්නේනම් ඔබව වෙනත් ලෝකයකට ගෙනයනු ඇත. පිටකොටුව ප්‍රදේශයේ පමණක් අවධියෙන් රැයක් පහන් කිරීමෙන් පසු මම අපායද දුටුවෙමි. මම දිව්‍යලෝකයද දුටුවෙමි. භාවනාව මට ජීවිතයෙන්ම පසක් විය කියා කෑ ගසා කියන්නට ඔබ නිර්භය වෙනවා නොඅනුමානය. කොළඹ නගරයට ජයවේවා.

Jagath Marasinghe

27 08 2022







 

4 comments

ඔබේ වීදියේ ජිවිතේ අත්දැකීම් ලියමු අපිත් ආසාවෙන් බලා සිටිනවා කියවන්න.

ලියපං බං අපිත් ඉන්නවා බලන්න...

මේ ලිපි පෙළ දිගටම ලියපන් බොලව්....

https://komitaldrackeya.blogspot.com/2022/08/blog-post_28.html?m=1 එන්න එන්න ඇවිත් යන්න එන්න


Powered by Blogger.