සාමය නිවට නැත. සාමය යනු බලයකි!

                                    සාමය නිවට නැත. සාමය යනු බලයකි!

        
            අද ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපන්දිනයයි. ඒ සම්මුතියකි. මාරස දකින්නේ අද එයාගේ උපන් දිනය බව නිවරදි බවය. මන්ද දින දර්ශන වනාහී සම්මුතියකි. මුලු ලෝකයේ ඇති ධර්ම හැර සියලු විද්‍යා නියාමයන් සම්මුතිය. ජේසුස් වහන්සේගේ උපත ලෙස ජුලියස් සීසර්ගේ කැලැන්ඩරයෙන් අනුමත වී තිබ්බේ අදය. දෙසැබ්බර් 25ය. නමුදු ඊජිප්තු ජ්‍යෝතිෂ දැනුමට ආසියාවේ ජ්‍යෝතිෂ දැනුමද එකතුවූ පසු දින කීපයක් වෙනස් කොට ක්‍රිස්තු උපත ජනවාරි පලවනදාකොට සම්මුතියක් දේශපාලනිකව අධිරාජ්‍යවාදීන් ඇති කළ බව ඇත්තකි. නව කැලැන්ඩරයේ නාමයෙන් ක්‍රිස්තු වර්ෂ ජනවාරි පළමුවෙනිදා ජේසුස් වහන්සේගේ උපතය. නමුත් ක්‍රිස්තියානියෝ බොහෝ දෙනෙක් තවමද සම්මුති වශයෙන් පිලිගන්නේ ජේසු උපත දෙසැම්බර් 25 ලෙසය. ‌කෙලින්ම ලෝක ජනගහනයෙන් බොහෝ දෙනෙකු ජේසු උපත ‌උනගේ නව කැලැන්ඩරයට අනුව දෙසැම්බර් 25 වශයෙන්  පිළිගන්නා බව සැබෑය. අප රටේද 25 නත්තල උදාවන විට ගම්නියම් ගම් හරහා විහිද යන රතිඤ්ඥා හඬින් මේ සම්මුතියේ සැබෑව කනට දැනෙන බව කිව යුතු කාරණයක්ද නොවන්නේමය. 

       දැන් උන්වහන්සේට උපන් දින දෙකකි. නමුදු තවත් බුද්ධිමය නිකායන් කීපයක් විද්‍යාත්මකව උන්වහන්සේ උපන් දින පෑයූ වල්ගා තරුව ඇසුරු ගණිතමය පදනම ශාක්ශාත් කරගනිමින් සම්මත කැලැන්ඩරයට සාපේක්ෂකව ජනවාරි 07 උන්වහන්සේගේ උපත ලෙස සලකනු ලබයි. තවත් සබුද්ධික මතවාද බොහෝය. සැබෑව දිනදර්ශනයකට සමානුපාත කරන්නේනම් ඒ අදහසද ‌ග්‍රහතාරකාවන්ගේ සම්මුති සම්බන්ධව අවධියෙන් බැවින් කිසිසේත්ම බැහැර කළ නොහැකිය. කොහොමත් ක්‍රිස්තු වර්ෂ ජනවාරි පළවනදා කියන කැලැන්ඩරය අප බාරගත්තේද ක්‍රිස්තු වර්ෂ කියා නොවේමය. ඒ රාජ්‍ය වර්ෂ කියාය. නමුදු ක්‍රිස්තුස් වහන්සේගේ උපත නොව කාගේවත් උපත සම්මුති කැලැන්ඩරයකට ඇණ ගසා සෙවීමට නොහැක. සම්මුතියක් යනු සැබෑව නොවන්නේමය. එසේ කාට හෝ සැබෑවේ සැබෑවද දැනගැනීමට ඇවැසිනම් තමන්ගේ ජීව විද්‍යාත්මක තාත්තා පළමුව සොයා ගත යුතුය. සම්මුතිය වන්නේ අපේ අම්මා නුඹගේ තාත්තා මෙයා කියන කතන්දරයමය. දැන් විද්‍යාවේ ජාන පරීක්ෂණ කර සැබෑ තාත්තාව සොයා යන්නේ උසාවි නියෝග වලින් පමණි. එවන් ගායක් කිසිවෙකුට නැති අතර සොයා ගියහොත් සොයායන මිනිසුන්ගෙන් තුනෙන් පංගුවකට පමන පිස්සු හැදී නැවතත් පිස්සු හැදෙන බව දන්නා නිසා එසේ සොයා නොයනවා වීමටද පුළුවන. ‌

       මෙවන් කාරණා සම්බන්ධව ලයික් කොමන්ට් නැති ‌ලිපි කීපයක් සහ වැඩසටහන් කීපයක්ද මාරස කළ බව මතකයේ තිබේ. ලයික් කොමන්ට් නැති වුවද ඒවා පාටකයින් බලන හදාරන බව මාරස නොදන්නවා නොවේ. කෙසේ නමුත් මාරස ක්‍රිස්තියානි භක්තිකයන්ගේ නාමයෙන් ජුලිස් සීසර්ගේ නොව කාගේ හෝ දිනදර්ශනයකින් අදවන් දිනක සමරණ ඒ උත්සවයට ආදරය කරමි. කතෝලික පල්ලියේ දේශපාලනික සහ ද්‍රෝහී කතා මාරස නොදන්නවා නොවේ. නමුදු ආධ්‍යාත්මික ශක්තියක තවත් විභේදන ආදරයක් සේ දකිමින් සාමයේ නාමයෙන් අද දින ක්‍රිස්තු උපත ගැන ලියන්නට මාරසට සිතක් පහල වන්නට ඇත.

    මේ ඡායාරූපය චිත්‍රයකි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉදිරිපස මුහුණත ජෝර්ජ් කොහෝ නම් චිත්‍රශිල්පියා දුටු අයුරු මාරස සයිබර් රස්තියාදුවේ ඇස හිටි තැනකි. ජෝර්ජ් කොකෝ ස්ටැන්ජලෝ යනු ආර්ජන්ටිනාවේ උපත ලද දක්ෂ කලාකරුවෙකි. ඔහු මෙක්සිකෝවේද ජීවත් වී ඇත. ආර්ජෙන්ටිනාව සහ විප්ලවීය සම්භවයන් ගැන අපට ඇත්තේ මාර නෑදෑ කමකි. ඒවා මේ සටහනට අදාල නොවුනත් ක්‍රිස්තුස්වහන්සේගේ සාමයේ මුහුණටත් යටින් ඇති කිසිවෙකුට යටත් කළ නොහැකි සාමයේ අධිපතිකම කියාපානා සෙවනැල්ල දැකීමට ජෝර්ජ් කොහෝ සමත් වී තිබෙන බව මාරසට දැනෙන නිසා ඇස සිටින්නට ඇත. ඒ මතුකිරීමට යොදාගෙන ඇති චිත්‍රශිල්පයේ ශානරයටත් වඩා වර්ණ සංයෝගය විශිෂ්ටය. තද වර්ණ වලින් සාමය විනිවීදීමට ඔබ ඇඳ ඇති මේ සාමයේ බලය සම්බන්ධව මාරස කම්පනයට පත්වූ බවද කිව යුතුය. මාරස පමණක්ද? ලෝකයේම දෙයක් විඳගැනීමට දෑස් ඇති සකල දනෝ මේ සිතුවම තිබෙනතාක් කම්පනයට පත්වනු අනිවාය.

      ඉතින් කොහෝ අද වචන දෙකකින් මා ‌දැක නැති ඔබත් දැක නැති ඔබගේ චිත්‍රයක් සාමයේ දිනයක් ලෙස ලෝක ජනතාවගේ සම්මුතිය කැලැන්ඩර සම්මුතියටත් වඩා මිනිසුන්ට අගේ බැවින් ඒ ගැන වචනයක් කතා කිරීමට සිතුනි.

     ඉතින් ජෝර්ජ් කොහෝ ශිල්පියාටත් ලෝකවාසී සියලු දෙනාටත්  ඒ සම්මුති භාෂාවෙන්ම සුභ නත්තලක් වේවා කියමින් සටහන අවසාන කරමි. අප ‌‌බෞද්ධයන් සේ උපත ලැබූවද හැඳින්වූවද නත්තල් දා රෑට අපේ අම්මලාද කොට්ටය යට සෙල්ලම් බඩු තමා උදේට කියන්නේ නත්තල් සීයා රෑ ඇවිත් බවය. ඉතින් මාරසද අද රෑට හෝ සැන්ටා මොනවා හරි දෙන තුරු බලා ඉන්නවා ඇත. ආධ්‍යාත්මිකත්වයේ ආදරය භෞතිකයෙන් තේරුම් කළ නොහැක. ඒ දැනෙන දෙයකි. නමුදු ඒ නිර්මාණය කරන්නේ ද භෞතිකයම බව මාරස නොදන්නවා නොවේ. 

    සැමට ශුභ නත්තලක් වේවා. සාමය උදාවේවා මෙන්ම සාමය උදාකරගැනීමට කළ යුතු දේ කුමක්ද යන්න සම්බන්ධව සැමට දේශපාලනික සැබෑවන්ද සිතේවා.

https://jagathmarasinghe.wixsite.com/mare

25 12 2022



Powered by Blogger.