ඉතාලියට පිටුවහල් වුවත් ඔහු තවමත් කලාවේ සටන් සගයෙක්

 ඉතාලියට පිටුවහල් වුවත් ඔහු තවමත් කලාවේ සටන් සගයෙක්

     ඔහු නමින් අයි. ක්වින්ටීන් ප්‍රනාන්දු. මාරස කලක් මීගමු පුරහලේ නාට්‍ය සම්මන්ත්‍රන සාමාජිකයෙක්. තවත් තැනක් තිබ්බා. ඒ මීගමුව කාදිනල් කුරේ ධර්මෝපදේශක මධ්‍යස්තානය. ශරීරයට වඩා පුංචි බඩගෙඩියක් තියාගෙන පොත් සහ කොල මිටි අතේ තියාගෙන මීගමුවේ කලා කටයුත්තකට ගියොත් මෙයාව ඒ කාලේ නොවරදවාම මුණ ගැහෙනවා. මත් වතුර සහ දුම්වැටි සංස්කෘතියේ එයා හිටියේ නැහැ. එයා නාට්‍ය සහ වීදි නාට්‍ය වලට මුල් තැන දුන්නේ තමන්ගේ දේශපාලන මතවාදය පෙරටුකරගෙන. ඒ නිසාදෝ අප දෙදෙනාගේ මිත්‍රත්වය සීමා සහිත වුනා කිව්වොත් නිවැරදියි. නමුත් 1987 ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරන්න කලින් එවකට පැවති ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව නැත්නම් දේශපාලන කෙටි නමින් ජයවර්ධන තොන්ඩමන් ආණ්ඩුව විරෝධතාවන් වලට නායකත්වය දීමට හැකි හෝ තමන්ගේ ඒ ගිවිසුමට විරුද්ධ විය හැකි දහස් ගානක් ඊට පෙර හදිසිනීතිය 17/1 වගන්තිය යටතේ රැඳවියන් විදිහට ගාල් කරනවා. මාරස ගාල් වෙන්නේ මැගසින් බන්ධනාගාරයේ. රොතු බුරුතු පිටින් මැගසිමට විශ්ව විද්‍යාල ශිෂ්‍යන් ගෙනත් දානකොට පේරා රුහුනේ නැතිනම් නමින්ම කියමින් ඇතුලට දාපු කස්ටිය අත්පොඩි ගසා පිළිගන්නවා මතකයි. ටික වේලාවක් යනකන් මාරසට මෙලෝ නිනව්වක් තිබ්බේ නැහැ. බතික් සරමක් ගසා ගත් කුවින්ටීන් සහෝදරයාද මේ අතර ඉන්නවා. අපි ඉන්නේ මාසෙන් ගෙදර යන්න බලාගෙන. ඒත් ඊගාව මාසේ පාර්ලිමේන්තුවෙන් හදිසිනීතිය දික්කරන් තවත් කොලයක් ගෙනත් දෙනවා. තවත් මසකට. කොහොම කොහොම හරි මේක කෙටි නවාතැනක් නොවන වග තේරුන් අරන් හිරගෙදර දේශපාලන පන්ති අදාල අය කරගෙන යන නිසා ඊට පිටින් අප සංවිධානය වී ඉන්ග්‍රීසි දෙමල සිංහල පංති විතරක් නොවේ නීතිඥයොත් හිටපු නිසා නීතිය ගැනත් පංති පටන් ගන්නවා. මේ අතර නාට්‍ය පන්ති චිත්‍රපන්ති පටන් ගන්නවා. මට මතකයි එක තැනක ලොකු අකුරින් ලියලා තිබ්බා විප්ලවවාදියාගේ සරසවිය සිපිරිගෙදරයි කියන කතාව. ඒ ජීවිතය මරණ බය ඇතුලෙත් කොච්චර සුන්දර වුනාද කියනවානම් නිදහස්වෙන අය ගියේ අඬ අඬා. මාරසත් ඒ සගයන්ගෙන් වෙන්වී වසර දෙකකට පසු එලියට ආවේ අඬ අඬා. 
       අපි හිරගෙදර නාට්‍ය පංති සහ පුහුණුවීම් ආරම්භ කරලා නාට්‍ය උළෙලක් පවත්වනවා. ඒ නාට්‍ය වටයෙදි ක්වින්ටින් විසින් දැතිරෝදය කියන නාටකය 1988 මැයි 01 දා මැගසිමේ වාට්ටුවක් ඇතුලේ රඟ දක්වනවා. ගොඩක් ප්‍රතිචාර ලැබුන බවත් කිව යුතුයි. පස්සේ මාව වසර දෙකකට පසු නිදහස් වෙනවා. ඉන්පසු පන ගැහෙන කාලේ මැගසිමෙන් ආරංචියක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඒ මැගසින් බන්ධනාගාරය කඩාගෙන ජවිපේ ත්‍රස්තවාදීන් පැන ගිහින් කියලා. ඉන්පසු කස්ටියක් ඉතිරි වුන බවත් ආරංචි වෙනවා. කාට කාටත් මොනා වුනාද ඉන්නවාද මැරිලද කියලවත් මාරස දන්නේ නැහැ. මාරස දන්නේ මම ජීවත් වෙනවා කියන කාරණාව පමණයි. මාරස දිවි ගෙවන්න කසාද බැන්දට දරුවෝ හැදුවට ඒකාලේ නිදහස් තැනක් විදිහට තෝර ගත්තේ තැබෑරුම තමා. භීෂණයනම් ක්‍රමයෙන් සැඟවුනා. නමුත් මාරස තාම තැබෑරුමේ. සමාජ මාධ්‍ය කළ එලි බැස්සට පස්සේ මෙන්න යකෝ ක්වින්ටීන් සහෘදයා ඉතාලියේ ජීවත් වෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඔහුගේ ජීවිතේ වැදගත් කොටස් ක්වින්ටින්ගේ පාසැල් සමයේ සඳලංකාව මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පති වී සිටි පසුව අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් වරයෙක් වූ කේ ඒ ඩී සී නානයක්කාර මහතා පෙරවදනක් ලියා තිබෙනවා.
        2023 මැයි 09දා ක්වින්ටින්ගෙන් මාරසට කෝල් එකක් එනවා මම ලංකාවට ආවා උඹට බඩුවක් දෙන්න මොනවද ඕන කියලා. මම කියනවා ගල් බෝතලයක් තිබ්බොත් හොඳටම ප්‍රමාණවත් කියලා. අපු ගමන් අප දෙදෙනා බදාගෙන කොච්චර වෙලා හිටියද කියලා මතක නැහැ.කොච්චර ලොකු කාලයකට පස්සෙද මේ හමුවීම. මෙන්න උඹට ඕන කියපුදේ කියමින් විශ්කි බෝතලයක් මට දෙනවා. මෙන්න මගේ තෑග්ග කියලා  හිරගෙදර කළ දැතිරෝදය නාටකයේ අත්පිටපත දෙනවා මේක බලලා මොනවා හරි කරපන් කියලා. ඊට අමතරව මහා සතුටකින් අධ්‍යාපන හා යුනෙස්කෝ  සම්මාන "සුනඛයා සහ වීණාව සහ බයිබල් හා (ක්‍රිස්තියානි) සම්මාන දිනූ දේවදත්තයෝ මුද්‍රිත පිටපත් දෙක මට පිරිනමනවා. 1976 - 1977 කාලයේ නාට්‍යක් මැගසිමෙන්ඉතාලිය හරහා ඇවිත් දෙන්න ගිය කාලය අතරතුර ලොකු නවකතාවක් ලියන්න තරම් ඔහු ළඟ අත්දැකීම් මහා ගොඩක් තිබෙන බව දන්නවා.
      පැය තුනක හමුවීමෙන් පසු අප වෙන්වෙනවා. ඒ අවස්ථාවේ මාරසට අඬන වෙරි. ඒ වෙන්වීම මට මතක කඳුලු අතරින් බොඳවූ සිනමාකෘතියක විවේක කාලයට බෙල්එක ගැහැව්වා වගේ.
කොහොම නමුත් සුනඛයා සහ වීනාව ගැන ඒ යුගයේ හිටපු විද්වතුන්ගේ සටහන් පෙලක් දැමීම පොත බලනවද නැතිද කියලා තීරණය කරන්න ඔබට යහපතක්ම වේවි. 
සුනඛයා සහ වීනාව ගැන
* බොහෝ අතින් ප්‍රවීනයන්ගේ කෘති අභිබවා ඇති ආකාරය මවිතයට හේතුවේ
-ගුණසේන ගලප්පත්ති-

*මා දුටුුු නොමේරූ ප්‍රතිභාවට වඩා ප්‍රවීණයන් තුළ ඇති ශික්ෂණයය මනුෂ්‍යත්වය දයාව පිළිබඳ විදග්ධ ප්‍රයත්නයකි
-බන්දුල විතානගේ (ගුවන් විදුලියෙන්)

*ගැඹුරු දර්ශණයක් කියාපෑමේදී ඇතිවන අභියෝගයක් චාම් පරිසරයක් තුළ ඉතා සියුම්ලෙස ජයගෙන ඇත.
-බැසිල් මිහිරිපැන්න-
*මෙතෙක් නැරඹූ නාට්‍ය සියයකින් නොලත් වින්දනයකි. එම වින්දනය නොනැසී පවතිනවා ඇත.
- සු ම  හේවගේ- (හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක)

*සනාතනික මානුෂික ප්‍රශ්නයක් ඉතා ප්‍රභලව ඉදිරිපත් කරන උසස් නිර්මානයකි
- ප්‍රේම් රංජිත් තිලකරත්න-

*සමජ දේශපාලන ආර්ථික හා සංස්කෘතික අන්තර් සම්බන්ධතාවය ග්‍රහණය කොට ගත් සනාතනික වටිනාකමකින් යුත් අරුතක් කියවෙන නාට්‍යකි.
-නන්දසාර මාධව-

* සම්මාන වලින් සහ වරප්‍රසාද වලින් ලැබූ නිර්මාණාත්මක කලාකරුවන් බොහොමයකට අත්වූ ඉරණමේ කේදවාචකය පිළිබඳ සංකේතයක් වැනිය. 

-මාවත සඟරාව-

*අප අසා පුරුදු සාහිත්‍යයේ ඉතා ප්‍රභල ගුත්තිල මූසිල කතා වස්තුවට හානියක් එය උඩු යටිකුරු කර ඊට නොදෙවෙනි කතා පුවතක් සාහිත්‍යයට එක් කිරීමට තරම් සමත්කමක් මේ තුල විද්‍යාමාන වේ
-මහාචාර්ය ඒදිරිවීර සරච්චන්ද්‍ර-

*කලාකරුවන් වන අපට අප ගැන සිතීමට මෙන්ම අපේම වූ අත්දැකීම් මෙනෙහි කිරීමට මේ තරම් බලපෘමක් කළ වෙනත් නට්‍යයක් නැති තරම්ය
-පරාක්‍රම නිරිඇල්ල-

හැත්තෑවේ දශකයේ හා අසූවේ දශකයේ මුල බිහිවූ තරුණයින්ගේ විරෝදාකල්ප නට්‍ය පෙලෙහි පපඩම් නාට්‍ය කලාවකට වඩාවැඩි යමක් නැතැයි සමච්චල් කළ ප්‍රවීනයන්ට මෙන්ම විරෝදාකල්ප නට්‍යකරුවන්ටද සුනඛයා සහ විණාව තුළින් හොඳ පිළිතුරක් ලැබී තිබේ.
- සුසිල් සිරිවර්ධන- (හිටපු නිවාස කොමසාරිස්)

පාසැල් දරු දැරියන්ගේ පටන් ප්‍රවීනයන් දක්වා වන විවිධ මට්ටම් වල ප්‍රේක්ෂකයින්ගේ සිත් සතන් ඇද බැඳ තබාගෙන ඔවුන්ගේ බුද්ධි මට්ටම්මලට අනුව රස විඳිය හැකි උසස් ගුණය සුනඛයා සහ වීණාව තුළ  අඩංගු කිරීමට  එහි නිර්මාණ කරුවා සමත් වී තිබේ.
- දයානන්ද ගුණවර්ධන - (ගුවන් විදුලියෙන්)

    කොතරම් වැනුම් විද්වතුන් දෙසූවද බුදුණුවන්ගේ ප්‍රශ්නයක් මතුකළ විද්වතුන් නිසා මෙය පාසැල් පුස්ථකාල පොතක් වශයෙන් අනුමත නොකරන ලද බවට මතකයක් තිබේ. ඒ හුටපටයනම් අදටත් එසේමය. කෙසේ නමුත් කුවින්ටින් සහෘදයාගේ කලාවේ ආදරයටත් සටන්කාමිත්වයටත් මාරසට පුදුමාකාරය. ඔහුගේ ජීවිත කතාව නිර්මාණාත්මකව ‌නිමවන තුරු මාරස බලා සිටින්නේ කාරණා ගනනාවක් නිසාය. ක්වින්ටින් සහෘදයාගේ ඇති කලාවේ සටන්කාමී බවටද ගෞරව නොකර සිටියහොත් මාරසේ ගෞරවය නැතිවනු බවද සැබෑවකි. ඉතින් ක්වින්ටින්. ඊළඟ කෘතියටත් පෙර හැබැහින් මුණ ගැසෙනු ඇතැයි යන විශ්වාසයෙන් මාරස සටහන අවසන් කරමි.
ජගත් මාරසිංහ
21 09 2023
https://jagathmarasinghe.wixsite.com/mare



Powered by Blogger.