අපේ කාලයේ යක් විමනේ දැවැන්තයා...!!!

                               අපේ කාලයේ යක් විමනේ  දැවැන්තයා...!!!

(වසර තුනකට පෙර ගත් ඡායාරූපයකි.)

මේ අනිල් අරුමපුරගේ යාලත්ත නමින් පවත්වාගෙන ගිය අමුතුම පන්නයේ භෝජනාගාරයකි. තවමද වරින් වර අප දෙදෙනා හමුවෙයි. විශේෂත්වය වන්නේ සෑම හමුවීමකදීම අනිල් කතාබහ කිරීමට අළුත්ම අළුත් මාතෘකාවක් රැගෙන පැමිණීය. ඔහු චිත්රශිල්පියෙකි. කාලයක් ලේක් හවුසියේ කාටුන් ඇන්දේය. ඒකාකාරිත්වය පසක තබා ඔහු ඉන් ඉවත්විය. ඔහු හැම දෙයක් සම්බන්ධවම දවසින් දවස තමන්ටම උරුම වූ අළුත් ශානරයක් සමග ජීවත් වේ. තවත් පැත්තකින් ප්රායෝගක පරිසර වේදියෙකි. කැලෑ ගල්තලා ඒකාට පේන්නේ දිව්යලෝක බඳුය. මූර්ති සම්බන්ධවද එසේමය. අරනතලාවේ භික්ෂූ ඝාතනයද ඒකා එතනම තබා ඇඹුවේ රසික සිත් මවිත කරමිනි. ගෙවතු අලංකරණයද එසේමය. කඩා වැටුන ගස්කොළන් ඒ විදිහටම එතනම තබා නිර්මාණ කිරීම ජීවමානවම සිදුකරන බව පෙනේ. ඒකාගේ ගෙදරට ගියවිට අපව වෙනම ලෝකයකට ගෙනයනවා සේය. ගේ ඇතුලේ වහලය පලාගෙන ගිය දැවැන්ත ගස්ය. කොටින්ම කොහෙන් ගොස් කොහේ යනවාදැයි අපටද රහසකි. සමහර ලනු ඉනිමගවල් දිගේ යන විට බියටද සන්ත්රාසයටද පත්වෙනවා සේය. වරින් වර තමන්ගේම අතින් නිර්මාණය වූ චිත්රද හමුවේ. සැබෑ ස්වභාවික කලාගාරයක ජීවත් වෙන මිනිසෙකි.
සත්ව පාලයේ දැවැන්තයකි. සර්පයන් උගේ මිතුරන්ය. සර්පයන් ඇසුරු කරන්නේ අපි පූසන්ව හුරතල් කරනවා මෙනි. උගේ මේස ලාච්චුවලද කාලයක් සර්පයන් සිටියේය. ආදරය සහ මිත්රත්වයද විශිෂ්ටය. භාවනායෝගී පැත්තක්ද තිබේ. අධ්යාත්මික වූ පැත්තකින් හිතන පතන ඒකා හමුවුන හැම දවසකම අප නොදන්නා අපේම ලෝකයක අප අතරමංවනවා සේය. කොම්පියුටර් තාක්ෂණය සම්බන්ධවද එසේමය. වර්ණ සම්බන්ධව සීතීම ගැන ගත්කල ඊටත් හපන්ය. කිසිදු විචාරයක් සත පහකට මායිම් නොකරනවා සේය. කොටින්ම ඒකාගේ නිර්මාණාත්මක ස්වභාවය විමසීමට පවතින මිනුම් දඬු ප්රමානවත් නොවේ. ඒ නිසාම අනිලා දුටුවිට අපට ඇතිවන මානසිකත්වයද නැවුම්ය. ඒකා සමග දොඩමලු වන විට අප ජීවත් වන්නේ දිව්යලෝකයකදැයි සැක සිතේ. බුදුන් වහන්සේ සම්බන්ධව කියවීමද අපව සමාධි ගත කරනවා සේය. එවන් චරිතයක් සාමාන්ය ජන සමාජයේ කෙසේ ජීවත්වනවාද යන්න සැබෑවටම ගැටලුවකි. ඉතින් සොඳුරු මිතුරා එනතෙක් මාරස හැමදාම මග බලා ඉන්නවා වැනි හැඟීමක්ද තිබේ. ලෝබ නැතිව හැමදා අළුත් වෙනස් සිතීමක් ඇති අනිල් දිනේවා කියමින් සටහන අවසාන කළ යුතුව ඇත.
ජගත් මාරසිංහ
18 11 2022





Powered by Blogger.