රත්නශ්‍රී ගේ හේමමාලියන්ගේ ආදර සුවඳක් ගිය දුර.


             පූසන් දහතුන්දෙනෙකු සහ රත්නේ සහ හේමමාලියගේ ආදරය



           චින්තන ධර්මදාසගෙන් තමා මේ සටහන පටන් ගන්න වෙන්නේ. මොකද ඒකා මාරයා ගැන මාර සටහනක් ලියනවා. මාරස චින්තනගේ දේශපාලනයට කොහෙත්ම කැමති නැති උනාට ඒ අස්සේ මාර ආතල්ද නැත්තා නොවේ. කෙසේ හෝ පූසා සහ මාරේ කියලා මේකා උගේ කල්ට් එකේ සටහනක් ලියනවා. ඒ කාලේ මගේ රත්පිත් උන්මාදය හෙවත් ඩිප්ප්‍රෙෂන් හොඳටම වැඩි වුන යුගයක් කියලා රතන හාමුදුරුවන් වහන්සේට මතක ඇති. මොකද පූසෝ කියන්නේ අපි ආදරය කරන සංස්කෘතික සත්තු වර්ගයක් විනා කිසිදා උන් අපට ආදරය කරන්නේ නැති බව චින්තා ඉතා ලස්සනට ලියලා තිබ්බා. මම දන්නේ නැහැ චින්තා මාරස මග හරින්නේ ඇයිද කියන කාරණාව. නොදන්නවත් නොවේ. සමහර විට දැනගෙන නොදන්නවා වගේ ඉන්න විදිහ ඉගෙන ගන්න චින්තලාට ආපසු හැරිලා 80 ආදරය හොයන්න වෙයි. සිදුවන දේවල් හෙට ඉර පායනවා වගේම සිදුවෙයි. අපි සූර්ය වන්දනාවට විරුද්ධයි කියලා සූර්යාගේ සංකේතය යාන්ත්‍රිකව හෝ ඩිජිටල් ක්‍රමයට අතේ බැඳන් අර කුරුල්ලන් සහ සතා සීපාවා වගේම ජ්‍යෝතිෂ්‍ය ක්‍රමයම අනු දැක ඉතින් ඒකත් වෙන විදිහකට කිව්වට මොකද වෙන්නේ කිව්වලු. හෙට උදේටත් ඇටිකුකුලා බුක් ගානවා චින්තා. සයිමන් නවගත්තේගම ඉපදෙන්න කලින් සිටම ඇටි කුකුලා බුක් ගානවා බන්. කොටින්ම අර රත්නශ්‍රී  දොස්තොව්ස්කිගේ ආධයාත්මික ශක්තිය විමසන අවස්ථාවක මාරසට  කිව්වා මෙන් අර වාද මේ වාද වලට කලින් දොස්තොව්ස්කි ජීවිතේ ගැඹුර දැනගෙන ලිව්වා වගේ.

     මාරස පූසන්ට ආදරය බව කල්ට් චින්තා නොවේ ඇත්ත නොවේ සැබෑ චින්තා දන්නවා. ඒක නිසා තමා පූසා සහ මාරේ ලිව්වේ. මාරසට පූසෝ කියන්නේ ආදරේ සංවේදනාවේ කෑල්ලක් වගේ. වාස්තවික වගේ හිතන්න හැකි උනත් මිසක් ඒක ලේසි නැහැ. සියලු ලේඛකයන්ට පූසෝ වැදගත් වෙලා තියනවා. දාර්ශනික දේශපාලන ඇත්තන්ගේ ආදරයේ හෘද ශාක්ෂියක්. නමුත් ලෙනින් සහෘදයාගේ පූසන්ගේ ආදරය ගැන ලියවිලා තියන කතන්දර තාම පොඩ්ඩයි. catt , 6 වන සියවස ආරම්භයේදී ප්‍රථම වරට භාවිතා කරන ලද Late Latin වචනය cattus ලෙස සැලකේ  යන ශබ්ද කෝෂ කතාන්දර වලට පිටින් මේක ලියන්න හිතුනා නොවේ දැනුන ගමන් මාරස ලියනවා තමා.

         අපි අද ජීවත් වන සමාජයේ සාමාන්‍ය මිනිස්සුත් බළලු බැලලියන්ට ආදරෙයි තමා. නමුත් අපි ආදරෙයි විනා ඒකලා අපට ආදරේ නැහැ. මොකද සංකල්ප තියෙන්නේ හිතන ද්‍රව්‍යයේ කියනවාටත් වඩා මිනිසා ගාව තමා. සංසාර මගින් මිනිසා ගැන කතා කරන්න ගිහින් නිදැල්ලේ සිටින අර භෞතික මේ භෞතික වාදීන්ව පටලවා ගන්න අවශ්‍යතාවයක් මාරසට තිබ්බත් සැබෑ මාර සංකල්පයට අප තාම යටත්. ආතර් ශ්‍රී ක්ලාක් වගේ මිනිසාගේ අමරණීය කතා ලියන්නත් මාරස කැමති නැහැ. දන්නෙත් නැහැ කිව්වම ලේසියි. ඒ වගේම අරක අනිවා මේක අනිවා කියන්නත් කැමති නැහැ. ඇයි දන්නවාද? අනිවා කියන්නේත් මාර පටුයි වගේ කියලා හිතෙන නිසයි.

 මාරසත් කිටී, සින්දු බින්දු වන් වගේම "සකා" කියලා නම් දාගන බළලුන් හැදුවා මතකයි. තව කීප දෙනෙක් ඉන්නවා. මෙතන සින්දු කිව්වේ මනිරත්නම්ගේ චිත්‍රපටයක් බලලා ආපසු එන ගමන් ගෙනාපු පූස් පැටියට. වසර දෙකක් හිරේ ගිහින් ආයෙමත් සොයිසා මහල් නිවාස වලට එනකොට සින්දු මගේ ඇඳට පැන ‌සංවේදීව ලෙව කන්න ගත්තා. ඒ ආධ්‍යාත්මික ශක්තින්ගේ ආදරයේ තරංග හොයන්න  අපි බුදුවෙන්න වෙනව කියන කතාව හිතුනත් මාරස ඉතා හොඳින් දන්නවා මාරසට තියන තන්හාවත් සමග මේ කියන කතන්දර වලට අනුව මාරසටනම් බුදුවෙන්න කවදාවත් බැහැ කියලා. අනික ඒක උනත් නූනනත් ප්‍රදර්ශනකාමයට ඒවා යටත් නැහැ නොවැ. ඒ සින්දුට සාපේක්ෂකව ඒ කාලේ මාරස පෙම්වතියක් වූ අනවර්ථ නාමයෙන් චූටි හැදුව ඒ පූසාට මාරස නම දීලා තිබ්බෙ කෙට්ටු කියලයි. අම්බෝ ඒකිව අමතක කරන්න සිදුවුනත් කෙට්ටු පූසාව තාම අමතක කළ නොහැකියි. ඒ පූසන්ගේ පුරු පුරු කියන කපු කටින ශබ්දය කෙලින්ම ආධ්‍යාත්මික ශබ්දයක් වගේ. වෙන්කර හඳුනාගන්නත් හැකියි. මතක තබා ගන්න දෙයක් නැහැ. අපේ හදවතේ ලබ් ඩබ් ශබ්දයට ආසන්නයි වගේ. මේ ශබ්දය කසුන් කල්හාරයාට අහුවෙලා තියනවා වගේ. නමුත් ඒකා ඇත්ත විදිහට මේවා හිතන එකෙක් නොවේ. ඒ ඒ කාගේ හැටි කිව්වලු. අජිත් කුමාරසිරිටනම් දාර්ශනිකව අහුවුනත් ඒකා ගැන කතා කරන්න මාරස දැන් කැමති නැහැ. මාරස ඒකත් එක්ක කතා කරන්න ආසා පූසගේ යටිබඩට අත තියනකොට ගොරවාගෙන කට ඇරගෙන කෑගහගෙන රවාගෙන අතට පනින මොහොතේ ප්‍රචන්ඩත්වයට යටින් මතුවන ශප්ත ස්වරයේ කුජ ග්‍රහයාගේ චන්ඩිකමේ යටින් ඇති අඳෝනාත්මක වේදනාවෙන්න් නිපන් ආදරයේ ප්‍රතිවිරොධී චන්ඩ චන්ද්‍ර හෙවත් යසෝධරාවන්ගේ ආදරයෙන්ම තමා.

    සත්තු හදනවා කියන්නේ අපේ ආධ්‍යාත්මිකත්වය පිටින් තියලා අපි අපිම අතගාලා දුක්වෙනවා වගේ කියලා හිතුන අතීතයේ මොහොතක මා පුතා පූස් පැටියෙක් ගෙනාවා. ඒ අවස්ථාවේ මා කියවමින් සිටියේ කරුණාරත්න පරණ විතාන සහෘදයා ලියපු කුමාරතුංගයන්ද ගැඹුරෙන් දැන තිබි ලිපියක්. ඒ ලිපියේ කියනවා බෞද්ධ සිතුම් ඇති සමාජයක ශක්‍ර දෙවියෝ කවුද කියන කාරණාව උපහාසයෙන්. මේ ටික මතකයි. " සකා විකාරයෙන් මොකක් කළත් " කියා තියනවා. ඒ කියන්නේ ශක්‍ර දෙවියන්ට වඩා බුදුන් වටිනවා කියලා ශක්‍රයාගේ පඬුපුල් ආසනයත් හෙල හවුලේ ආරම්භය උපහාසයට ලක්කරන මොහොතකටත් වඩා මාර රමණීය ආදර බුද්ධිමය කතාවක්. මේ ලිපිය කියවන අස්සේ මා පුතු ගුරු මගෙන් එයා හදන්න හදන පූසට නමක් අහනවා. මම කියනවා සකා කියලා තියපන් බන් කියලා. සකා ආදරෙන් ජීවත්  වෙලා මා ගෙදරින් පිට වුනාට පස්සේ කාටත් උරුම ගමන ගියා. ඒක නිකන් සාමාන්‍යම සාමාන්‍ය දෙයක් නොවේ. කෙනෙක් හිතන්න හැකියි මිනිසුන් පැත්තක ජීවත්වෙනකොට මැරෙනකොට මාරස ඇයි පූසෝ ගැන ලියන්නේ කියලා. උත්තරය සරලයි. පූසෝ කියන්නේ මාරස මොහොතකට මිනිසාගේ ආධ්‍යාත්මිකත්වයේ ආදරයේ යමක් කියලා හිතාගෙන කියවන්න. මේ ‌ලිව්වා වූ කරුණාරත්න පරණවිතාන වනාහී මා සමග මාර සම්බන්ධයක් නැහැ. තිබ්බේ ලේක් හවුසියේ විධායක සම්බන්ධයක් සමග ආදරයෙන් ආදරය ගැන සහසම්බන්ධයක් පමණයි. නමුත් ඊට යටින් ඒකා ගැන මට ආදරයකටත් වඩා ඒකාගේ ලිවීම ගැන ආඩම්බරයක්ත නොතිබුනා නොවේ. ඒකත් අනිවාර්යෙන්ම පූසන්ට ආදරය කරනවා ඇති. නැතිනම් සර්පිනාවක් තියාගෙන ජීවිතය විඳින්න හැකියාවක් තිබෙන්න බැහැ වගේත් හිතෙනවා. 

          අනේ මන්දා. මම උච්චි උච්චි කියනවා. තෝන් යන හඬ පරණයාගෙන් මාරසට ඇහෙන්නේ නැහැ. චම්පිකගෙන් ඇහෙන්නෙත් නැහැ. නමුත් කොයි වෙලේ හෝ ශබ්ද උත්තර ලැබේවි. මට නොවේ සැබෑවටම සැබෑවට උත්තර නොදී බැහැ නොවැ.

   ලියන්න ගියාම ආතා බූතා නැහැ. පූසෝ කියන්නේ පූසෝම තමා. ඉතා ලස්සන කතාවක් කියන්න තියනවා. මගේ මිත්‍රයෙක් හිටියා පසුගිය කාලේ අමිල තේනුවර කියලා. දැන් ඒකාට වැඩ වැඩී නිසා මම කතා කරන්නේ නැහැ කියමුකෝ. මොකද ඇඩ්රස් නැති ගායට ලියන මාරස කතාකරන්න ගියොත් සදහටම කතා නොකර  ඉන්නත් ඉඩ ඇති නිසා කිව්වත් වරදක් නැහැ. නමුත් අමිල තේනුවරටයි මටයි යම් කලක ලේක්හවුසියේ කාඩ් ඒකක් තිබ්බා අඹුඩෙයි පුකයි කියලා. දැන් ඉතින් මාරස අඹුඩෙට කැමති උනත් ඒකා කැමතිද මම දන්නවාද? දැනගන්නවත් අහගන්න නිදහස් වෙලාවක් ඒ කාට නැහැ. 

        කෙසේ උවත් මම අද බලෙන් කතා කරලා අහනවා මටත් නැවත නැවත පූසන්ගේ කරදර එන නිසා රත්න ශ්‍රී විජේසිංහ සමග ජීවිතයේ අමිලයා පූස් පැටව් ගැන කී කතාවක්. මාරස කියන්නේ ‌රොඩ්ඩක් හමුවුනොත් ඒකේ රිද්මය දිගේ ඔහේ යන විකාරයක් තමා. විකාරයකින් තොරව ජීවිතයක් කොහේද තියෙන්නේ කියලා අහන මාරස කෙලින්ම රත්නශ්‍රීට කතා කරල අහනවා ඔයාගේ ආදරය නැතිනම් දරුවන්ගේ අම්මා හේමමාලී පූස් පැටවුන් සමග ‌ආත්මීයව ගත කළ ජීවිතය මම අහලා තියනවා ඒ ගැන චුට්ටක් ‌කතා කරමුද කියලා.  රත්නශ්‍රී සහ හේමමාලිය කියන්නේ ඒකත්වයක්ද ප්‍රතිවිරෝදයක්ද කියන කතන්දරය දොස්තොව්ස්කි ගැන කියපු කතන්දරයෙන් ඔබ්බට යන්න මාරස මනස ඉඩ දෙන්නේ නැහැ. කෙසේ උනත් හේමමාලිය ඉතිහාසයේ පුරෝකතන වචනයකට ඔබ්බෙන් දිවෙන දිග ආධ්‍යාත්මික කතන්දරයක් වගේත් දැනෙනවා. ඒ සෙස්ස පස්සට තියන්නම්. මොකද මේක බ්ලොග් සටහනක් පමණයි. බ්ලොග් සටහනක් කියන්නේ ආදරයේ කොනිති ගැසීමක් තමා. අවුල්නම් පසුව ඒක අපි විසඳ ගමු. රත්නේ කියනවා මෙහෙම

"අනේ ජගත්. හේමමාලිය වරක් ඒක බළලෙක් නොවේ ඇති කළේ. බළලුන් දහතුනක් කියලා."

       දහතුන නපුරු කතාවත් සිතට ආවත් සෙස්ස පස්සට තියන්න සිද්ධ වෙනවා. ඒ දහතුන් දෙනාටම නම් දහ තුනක් තිබ්බා කියලා රත්නේ කියාගෙන යනවා ජීවිතයේ ආදරයේ කතන්දරයක සංකේතීයව නොවේ ආත්මීය කතන්දරයක්. 

" එයා පූසන්ට මාලු කටු ඇරලා දෙන්නේ. පූසෝ කටු ඇන ගනී කියලා. එයාලට තිබ්බ නම් තාම මතකයි. එකෙක් හාල් ඇටේ ගොළුවා. තව ‌එකෙක් මාලනී, පීල්ලෙන් වැටුන නිසා පීලි කියලා එකෙකුත් හිටියා. සුනාමි ආපු වෙලාවේ උඩ තට්ටුවට ගිහින් ඒ පූසෝ දහ තුන්දෙනා බේරුනා. පස්සේ දූවිලි මඩ සමග ආපු විෂ බීජ නිසාදෝ හුඟ දෙනෙක් මැරුනා"

       රත්නේගේ මේ කෙටි පිළිසඳර වැඩිම උනොත් විනාඩි හයක් විතරයි. ඒත් ඒකේ භෞතික දිග සැතපුම් විශාල ප්‍රමාණයක්. ආධ්‍යාත්මික දිග පළල ගැන විශ්වය ‌දැනෙනවා වගේ තමා. හේමමාලිගේ බළලුන් තෙළෙස් දෙනා ගැන හිතන්න ගත්ත ගමන් මාරසට අර්නස්ට් හෙමින්වේගේ චූටි පොත් කෑල්ල ඒ කියන්නේ කියවා ඉවර කරගන්න බැරි "මහල්ලා සහ මුහුද" සිහිවුනා. මගේ අම්මේ හෙමින්වේ බළලුන් පනස් දෙනෙකු එකවර ඇති කරන්න සමත් කෙනෙක්. ඉතින් මහල්ලා සහ මුහුදේ ආදර සංකේත සමග අපි පැටලෙනවා නොවේ දේවල් දකිනවාට වඩා දැනෙන එක හිතාගන්න කියනවා වගේ. 

   ඉතින් රත්නේ. ජීවිතය කියන්නේ මහා විශාල දෙයක් නොවේ ජීවිතය තියෙන්නේ මේ මොහොතේ කියලා ඔයා සමග කතා කරන විට දැනෙනවා. ඇත්තටම අර කාලිදාස කීවා මෙන් කාව්‍ය ශාස්ත්‍රයේ රස දැක අමෘතය දිව්‍ය ලෝකයට පලා ගියා වගේම මහා රාජ බෝජන අමතක වෙලා මයියොක්කා අලයක සම්බෝලයක තියන රස ගුන ආදරය නොවේ රත්නේ ජීවිතය දැනෙනවා. පන හතක් ඇතිබළලුන්ට ආදරේ ඇති කිසිවෙක් ලේසියෙන් මරා දැමිය නොහැකි බව ග්‍රහයන්ද කියන කතාවක්. ග්‍රහචාරයට මිනිසුන් අතීත පූර්වාදර්ශ ඔස්සේ අරගෙන තියෙන්නේ තල රේඛීයව නොවේ වක්‍රව තමා. නැත්නම් සූර්යාගේ ලප්පා වීම ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඉතින් හත්පණ ඔබේ පනත් එසේ වේවි. ඔබේම කවියක් ගීතයක් නොදමා මාරස මේ සටහන සොකරි නාටක ගීතයකින්  අවසාන කරන්නම්.

     ආ රත්නේ සර්. කියන්න අමතක වුනා. මාරයෝත් පූසන්ට ආදරෙයි. වල් පූසියෙක්ව මැරිලා රාහු එතෙරක් නැති වගේ පේන සංචාරයකදී  තවත් මිතුරියක් සමග බැලලිය මැරී ගිය නිසා අම්මා නැති ලඳ කියලා කටට ආ වචනයකින් නම තැබූ පූසෙක්ට සත්කාර සප්පායම් කරනවා තමා. ඉතින් ඒ ආදර ලෝකයේ සිහිවන්නේ බළලුන්ද ආදරයද කියන කතාව කාටත් තේරෙන බව දන්නවා. ඉතින් ලියන්න හිතුනා ලිව්වා. මොකද පන හතේ ආදරය කියන්නේ ග්‍රහයෝ හත්දෙනා සමග කතා කරන ජීවිතයම තමානේ. ඒක ඇතුලේ තියන දේවලින් වැදගත්ම දේශපාලනය තමා. ඉතින් ඒක හැම ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන්න තරම් ජනතාවාදී වෙනවා ඇති මාරෙත්. නමුත් ඇත්ත නොවේ සැබෑ මාරයා වනාහී මාරස නොවේ.  ඒ අප කාටත් සමසේ ඉන්නා මාරයාම තමා. ඒකත් සමග කිසිම සාකච්චාවකට අපේ සියලු සම්මුති සමග කතන්දර නැහැ. ඇවැසිනම් මිනියක් කරේ තියන් උද්ගෝෂණය කළ හැකියි. එච්චරයි. ගිය එකා ගියා.

     සතුන් සම්බන්ධව මෙච්චර කතා කරන්නේ මිනිසුන්ගේ දේශපාලන පරාජය නිසාද කියන කතාවත් අහක දාන්න බැහැ. නමුත් දේශපාලනය මොක වුනත් මිනිසා ජය ගන්නවා නියතම තමා. පරාජය වන්නේ විකාර දේශපාලනික මහාමාන සහ සෙයිසාමාන කතන්දර පමණයි. 

    සමහර විට රත්නේ සමග අපේ විනාඩි හයේ කතා බහ තුල ඇතුලතින් ද්වනිත වූ ශබ්දය සොකරී හරහා මතුවූ ආධ්‍යාත්මික සප්ත ස්වරයද මන්දා.

සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නී පියයුරු ලැම සොල වන්නී
කැඩපත ගන්නී සුරතින් මුහුණ බල න්නී
https://youtu.be/N9Bt_xs6Wyo

                                                                                                                                            jagathmarasinghe.wixsite.com/mare

                                                                                                                                               28 03 2023





Powered by Blogger.