මාරස 62 ‌

                                                     මාරස 62 ‌       



                උපන් දිනයක් කියන්නෙත් තවත් දිනයක් කියන කතාව සරලව ගත්තත් හරිම ගැඹුරුයි. ගැඹුරුයි කියන්නේ තවත් පැත්තකින් අති සරලයි තමා. චක්‍රයක් වටා වෘත්තාකාර හෝ ඉලිප්සාකාර හෝ අණ්ඩාකාරව ගියත් ඒක දැක්කේ චක්ක්‍රාකාරව නිසා සියලු සම්මුතින් ඊට ගොනු වුනා තමා. පසුව කළ නූතන පරීක්ෂණ පවා ඒක අනුදැකයි නිර්මාණය වුනේ. ඒ දැනුම කියන මහායෝදයාගේ තෘෂ්ණාවේ හැටි වගේ. ඒ ගැන පවතින පෙරදිග නොවන දැනුමෙන් කතා කරන්න ශ්‍රිත වලට යන්න වෙනවා. ආයෙත් ශ්‍රිත ගැන කතාකරන්න පෙරදිගට එන්න වෙනවා වගේ. ඇවිත් රාමනුජන් සමග ජීවත් වෙන්න වෙනවා. ඒකා සමග ජීවත් වෙන්න ආස වුනාට ඒක සෙල්ලමක් නොවේ. ශ්‍රිත කියන්නේ හරියට අර පුණරුත්පත්තිය පුණර්භවය සමග පැටලිලා ලෙහා ගන්නවා වගේ කතන්දරයක්ද මන්දා. ඇයි රාමනුජන් භාගයක් ඉතිරිකරලා දාල ගියේ කියලා විතරයි කියන්න වෙන්නේ. මාරසට පෙරදිග සහ අපරදිග ගැටුමක් නැහැ. දේශපාලනිකවනම් නැත්තේම නැහැ නොවේ. නමුත් සම්මුති ගැන කතන්දර ගොඩක් තියනවා.

          ව්‍යාහාරික ක්‍රමයට හෙට උනත් සිංහල හැට පැයට අනුව අද මාරස මාරයාගේ උපන් දිනය. අම්මට සිරි නැන්දට කජුමද කීවා වගේ වයස හැට දෙක පුරණවා. පස්සේ 63 පුරණකන් බලන් ඉන්න වෙනවා. පුදුමයකුත් තියනවා. මාරස වයස 14දී මාර හේතුවාදියෙක් වෙනවා. කතා නැහැ ඒකෙන් පැත්තක් ජීවිතයෙන් ඉවත් වෙනවා. තාම ඒක එහෙම තමා. නමුත් කාල්මාක්ස්ව සහ රසල්ව වෙන්කොට හඳුනාගත් නිසාදෝ අර කියන පශ්චාත් නූතනවාදී දාර්ශනිකයන්ට ඒ ඉසව්වට එන්න හැකි වුනත් පැලපදියම් වෙන්න බැහැ වගේ.  මාරස උපතේ අහස් සටහනේ ඇති විදිහටත් මාරසට තිබෙන කට කටක් නොවේ වක්කඩයක්. දැන් වක්කඩට වාන් දාගෙන තියෙන්නේ වයස නිසාද මන්දා. ඒකත් අපේ පරපුරේ ඇඩ්රස් නැති වක්කඩයක් තමා. මේ නිමේශයෙත් හිතලයි පාලනය කරන්නේ. නැතිනම් ගොඩක් වාමාංශික පොරවල්ටත් ගෙදර යන්න වෙන්නේ පතෝල කරල් වගේ අත් වන වනා. ඒක ආදරණීය වචනයක්. 

           62 වයසේ තැබෑරුම් ඉවර කරන්න ගියහෝ කුමන  හෝ අල්පේක්ෂ ගමනක් නිසා බුදුනුවන්ලාටවත් කාල් මාක්ස්ලාටවත් අගෞරව කරන්න නොවේ එයාලාගේ විශ්මිත වගේ පේන කියවීම් තාම හොයනවා විනා ඒ ගැන අටුවා ලියන්නට නොහැකි බව දැනෙනවා. නිකන් නොවේ ලිව්වේ ලියලා වැඩක් නැහැ කියන කතාවත් සැබෑවක් සේ දකින නිසයි. ලියනවානම් ලියන්න වෙන්නේ අටුවා නොවේ සබුද්ධික සටහන් වගත් නොදන්නවා නොවේ.

            උපන් දිනය කියන්නේ සාමාන්‍යයෙන් තවත් දිනයක් කියන්නේ ඒ කියන අයගේ සම්මුතියක්. එසේ නොවේ කියලා මාරස කියන්නේ වෙනත් සම්මුතියක්. දැනුම කියන්නේ සම්මුති සම්මුති අතර හැප්පෙමින් එකඟ වෙමින් විරුද්ධ වෙමින් ගලා යන වෙනත් කතාන්දර ගඟුලක්. සැබෑවටම ඒකට නියම වචනය කතාන්දර සාගරයක් තමා. මොකද කතන්දර වෙනස් කර නව කතන්දර බිහිකර ගත හැකි නිසා. 

           තිබ්බ සම්ප්‍රධායික කතන්දරයක් වෙනත් මානයකින් වෙන්කර සිංහල නාටක විතරක් නොවේ ලෝක නාටක අවකාශයේම සලකුනක් වැදිතන්ත්‍රිගේ එදිරිවීර සරත් චන්ද්‍රයන්ට තිබ්බා තමා. මේ උපන් දිනයේ මාරස ස්වයං විවේචනය වගේ දේකට යන්න හිතෙන්නේ මහප්‍රාණ විචාරවලින් නොවේ ජීවිතයෙන්. 15 - 16 වන උපන්දින කාලයේ සරත්චන්ද්‍රයන් ගේ සිංහභාහු නාටකය මෙලෝ මළ දානයක් නොදැන අපේ පුංචි ලෝකයේ පොර කෘතියක් වුනා.

            නමුත් 18 වන උපන් දිනය වෙද්දි සරත්චන්ද්‍රයන්ගේ චන්ද්‍රයාව සූර්යා මුල්කොට ප්‍රශ්න කරන්න ගත්තා තමා. ඒකට මුල් වූ නාටක ගොඩයි. කෙටියෙන් කීවොත් ඒකාඅධිපති වන් නාටක‌ රොත්තක් හරහා මායාකොව්ස්කිලාගේ නාටක හදවත අරක්ගත් කාලය ඉවර උනේ නැහැ. පනහ උපන් දිනය පනිනකන්ම තිබ්බා. ඒත් සුචරිත ගම්ලත් සහෘදයාගේ අදහස් දෙන්නම් බැටේ උනත් සරත්චන්ද්‍රයන්ගේ මොකක්ද නාභියක් ආරක්ෂා කරනවා වගේ දැනුනා කියන කතන්දරය සාධනය කළ යුත්තේ මාරස නොවේ. අද ඒකලා ගැන විශ්වවිද්‍යාල පර්යේෂන කරන ආදර නව පරපුරයි. 

              62 ලබනකොට මාරස පමණක් නොවේ ඒ පරපුරේම කොල්ලෝ කෙල්ලෝ ලොකු මහත් වෙලා සිංහබාහු නාටකය සිය පවුල් කුටුම්බිය තුළ ස්වයංව රඟ දක්වන්න පටන් අරන් වගේ. ඒ මේ ඊයේ පෙරේදා ඇති වූ සූර්ය ලප නිසා නොවන බව සූර්යා සම්බන්ධව ජ්‍යෝතිෂයෙන් පමණක් නොවේ ග්‍රහතාරකා විවිධ ක්‍රමවේද හරහාද දකින්න උත්සාහ කරන මාරස සහෘදයන්ටනම් අළුත් දෙයක් නොවේ

කෙසේ හෝ වයස 62ක් යනතෙක් දිගු කාලයක් ‌විඳි සිංහබාහු ජීවිතයෙන්ම ප්‍රාතභූර්ථ වෙලා සරච්චන්ද්‍රයන්ව වෙනත් විදිහකට පේන්න ගන්නවා. සරලව කියනවානම් ජීවිතය දකින අයට කියලා තියෙන්නේ මුණිවරු කියලා තමා. 

අළුත් කොල්ලන් කෙල්ලන් දිහා බලන කොට සහ තාත්තලා අම්මලා දිහා බලනකොටත් ඒ සියල්ල සිංහයා, සුප්පාදේවිලාගෙන් නිපන් සිංහබාහුලා සහ සිංහ සීවලීලාම තමා. මාරසට මේක ජ්‍යෝතිෂයෙන් විග්‍රහ කරන්න ගියොත් බුදුනුවන් නන්ද කුමාරයා මහන කළ විට සුද්දෝධන රජු ඇඟිල්ලක් දික්කරන් කෑ ගසපු හැටි සිහියට එනවා. ඔව් අටුවා ටීකාවල ඇති ඒ පද සරත්චන්ද්‍රයන් කලාවට ගත් හැටි මාරයි. 

‘‘ පුතු සෙනේ පිතු හද තුළම මිස
නැත පුතුන් හද තුළ රදන්නේ. ’’

හැබැයි එදා පුතු යනු පිරිමි පමණක් නොවේ. දරුවන්ටයි පුතු කියා කිව්වේ යන්නද සැබෑවක් බව සැබෑවක්.

කෙසේ උනත් 62 උපන් දිනයේ මාරසද යමක් කිව යුතුනම් මෙසේ කියන්නම්. සකල විප්ලවවාදී ජනතාවාදී සම්භාව්‍ය නම් වලින් සහ තවත් විවිධ අර්ථකතනයන්ගෙන් නිමැවෙන සියලු කලාවන්ට මාරස හිසනමා ආචාර කරනවා. ඒත් අර සොර්භා නම් ග්‍රීකයා වගේම දොස්තොව්ස්කිලාගේ පුෂ්කින්ලාගේ ලියෝ ටෝල්ස්ටෝයි, ‌චෙකෝප්ලා පමණක් නොවේ කොලරා ආලය කළ මාකේස්වත් කොරෝනා යුගයේ දේශපාලනයේ සිහිවෙන්නේ වෙනම තැනක සිට බව පැහැදිලියි. ඒවායේ භාවනාත්මක අවකාශයකට තබා ජීවිතය උගන්වන සිංහබාහු නාටකය දකින්නනම් වයස හැට ‌අතික්‍රමණය කළ  යුතුයි යන්න මාරස  නියමයක් නොවේ. ඒත් කතා කළ යුතු දෙයක්. නොකළත් අද සියල්ල ජීවිතයෙන්  කතාකරමින් ඉන්නවා. 

              ජීවිතයේ හැටි එහෙම තමා. ඔව් සුචරිත ගම්ලත් සහෝදරයා. සෝකයත් රසයක් තමා. පවුලේ සංවර්ධනයක් සේ දකින්නේනම් සමාජ වෙනසක සැබෑ විප්ලවීය සැබෑවක් ඇති වන්නේ කුටුම්බය තුලින්ම නොවන්නේද? පවුල අහෝසිවීම සමාජ විප්ලවයේ සැබෑ අරුතක් නොවන්නේද? ඒ පවුල සම්බන්ධව ඒක තීරණය කළයුත්තේ කොමිනියුෂ්ට් සමාජයේ ජනතාව විසින් නොවන්නේද? කෙසේ උවත් එතෙක්..................!!!!

          සිංහබාහු නාට්‍යයේ මූලිකව කතා කරන්නේ දරුවන්ට නොතේරෙන පීතෘ ප්‍රේමය පිළිඹඳව කියලම අද කතා කළ ‌නොහැකියි. පියවුරුන්ට නොතේරෙන දරුවන්ගේ ප්‍රේමය කියලා කිව්වොත් තවත් මරු තමා. කොහොම උනත් සමාජ ජීවිතයෙන් මොහොතකට අයින් වී මාරස ‌මෙසේ මේ සටහන අවසාන කරන්නම්. හැබැයි වයස 62ක් ජීවත් වෙන්න ආහාර සහ සිංහල ඉංග්‍රීසි වෙද වරුන් සේම ඇල්කොහොල් පවා මාර සහයක් දුන් බවත් කිව යුතුව තිබෙනවා. බාදා කළේ ධනේශ්වරයි කියන රජයේ විකාර පාලන ක්‍රමයම තමා. කෙනෙකුට තර්ක කරන්න හැකියි දැන් තොප ජීවිතය වී ඇත්තේ පුතා සහ දුව බව. නැත කියා කෙලින් කියනවා. ලෝකයේම ඇති පුත්තු සහ දූවරු. මතක තබා ගත යුත්තේ මාර පරපුර මාක්ස්ව වටහා ගන්න ගිහින් පැටලුනත් මාක්ස් වාදයේත් සැබෑව වටහා ගත්තේ බුදුනුවන්ගේ සාංගීක ව්‍යුහාත්මක ආදරය හරහා බව.

 කොහොම කිව්වත් ඇල්කොහොල් කියන්නේ මානසික ආදරයේ විචලනයට මාර ඔසුවක් තමා. තර්ක කරන්න දෙයක් මාරයාටනම් ජීවිතයෙන්ම ඉතිරි කර නැති බවත් ඇත්තකටත් වඩා සැබෑවක්.

"පුතු සෙනේ මස් නහර හම සිඳ

ඇට සොයා ගොස් ඇට තුලට වැද

ඇට මිදුළු මත රඳා සිට

දුක් දෙයි නිබන්දා...................//

https://youtu.be/InhrCitmixs


                                                                                                                                        https://jagathmarasinghe.wixsite.com/mare

18 02 2023




Powered by Blogger.