සෙස්ස පස්සට තැබූ මෙනෙහි කිරීමක් පමණි...!

 ‌                  සෙස්ස පස්සට තැබූ මෙනෙහි කිරීමක් පමණි...! 

    80 දශකය පුරා කොළඹ ‌විහාරමහාදේවී උද්‍යානය ‌වටා බොහෝ කලා ප්‍රදර්ශන, චිත්‍රපට උළෙලවල්, නාට්‍ය සංදර්ශන
      විචාර සම්මන්ත්‍රන ‌පමණක් නොවේ විවිධ වාමාංශික විප්ලවීය අරගල සහ සම්මන්ත්‍රන තිබ්බා. මේ හැම එකකටම ඒ කාලේ එක්තරා කොල්ලෝ කෙල්ලෝ ටිකක් සහභාගි වුණා මතකයි. රැයක් දවාලක් නැතිව පයින් ඇවිද්දත්  කිසිම මහන්සියක් තිබ්බේ නැහැ. ඒවා අස්සේ මියගිය මියනොගිය ආදර කතන්දරත් ගොඩක් තිබ්බ තමා. මේ අය කලාව සහ දේශපාලනය සම්බන්ධව මරාගත්ත අවස්ථා බොහොයි. නමුත් ඒ යක්ෂ වචන පිටස්තර අයට හරියට තේරුන්ගන්න බැරිව යන්න ඇති. භීෂණය මැද්දෙත් මේ සම්ප්‍රධාය වෙනස් වුනේ නැහැ. ලංකාව කේතුමතී පුරයක් වූ කාල වකවානුවෙත් මුන් ටික ජ්‍යාතන්තර චිත්‍රපට නරඹන්න විදේශ සංස්කෘතික මධ්‍යස්ථාන වලට ‌එක් රොක් වුණා. සමහර විට බුද්ධි අංශ පවා ‌මේ අය පස්සේ එන්න ඇති. ඒගොල්ල ආපසු ගිහින්  කියන්න ඇති ඒ අය කතා කරන්නේ වෙනම භාෂාවකින් කියලා. පිස්සු යක්කු ටිකක් කිව්වද දන්නෙත් නැහැ. ඒකාලේ කල්ලි කල්ලි වෙනම හිටියත් ඒ කල්ලි අතර තිබ්බ අන්තර්සම්බන්ධතාවය වුනේ කලාව, අරගලය, මාක්ස්වාදයම වෙන්න ඇති. ඒවල අවසාන භාගය පශ්චාත්නූතනවාදයේ ඉරණමත් මතුවෙන්න ඇති. කොහොම හරි පරිභෝජන වෙළඳ සමාජයක කාලයේ අර්බුදය සමග වයසත් සමග මේ අය දැන් ඒවගේ තැන්වලදි හමුවෙන්නේ එකයි දෙන්නයි. ඒ දැක්කත් ඇති වගේ තමා දැනෙන්නේ. කොතරම් මතවාද සහ තරහ මරහා තිබ්බත් හමුවුන ගමන්ම තාම නවත්තපු තැනින් මිත්‍රත්වය යවත්කාලීක කරගන්නවා නොවේ වෙනවා වගේ දෙයක්. ඇත්තටම ඒකාලේ ඒකලාගේ දැනුම වුනේ යුගයක්. යුගයක් කියන්නේ දැනුමක් තමා. යුගයක දැනුම පොතක් කළ නොහැකියි කිසිදා. ඒක එක්තරා බලයක් විදිහට අනාගතය කරා ගලා යනවා පේනවා. අතීතය ගැන යම් වේදනාත්මක බරකුත් අරන් ඒ ඒ අවස්ථාවල හමුවෙලා ලැගා ගැසීම් නැතිව ගෙවල් දොරවල් හෝ නවාතැන් වලට යනවා. ඒ තත්ත්වය එසේ වුවත් එදා උන්ටික ගෙදර වෙනුවට තෝරගත්තේ පිටස්තර  ජීවිතයක්. පස්සේ කුටුම්බි හදාගත්තත් උන්ට තවමත් උරුම වීදියද මන්දා. 
      ඒ ටික සිහිකළේ හුංගම සිත්තර බාසුන්නැහැගේ අර්බුදය සහ අරගලය දෘශ්‍යකලා ප්‍රතිප්‍රහාරය බලන්න ඇවිත් ඒකාලේ හිටපු පිරිස හමුවුනේ අතක ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්. ඉතින් ඉස්සරනම් බොහෝ වෙලාවට අපි ‌ඉඩ තියන තියන වෙලාවට විහාරමහා දේවියට හුස්ම ගන්න මොනවා හරි කන්න බොන්න යනවා තමා. ඒත් ඒ කාලේ තිබ්බේ පුදුම කයියක්. නිම නොවන තර්ක විතර්ක මැද බාලගිරි දෝෂය වගේ සංවාද විසංවාද? 
ඒත් එදත් විහාරමහා දේවිය අමතක කරලා ගෙදර එන්න යනකොටම අද සිටින අළුත් පරපුරේ කෙනෙක් මාරසකතා කළා විහාරමහාදේවියට ගිහින් මොනවා හරි කාලා බීලා යමු කියලා. ඈත පලාතක චිත්‍ර ගුරුවරයෙක් විදිහට සේවය කරන ඔහු ඔස්කා අතුකෝරළ. අපේ බෙදා ගැනීම විනාඩි විසිපහකට සීමා වුනත් ඒක පරම්පරා දෙකක ආදරණියත්වයක ගුප්ත ආදරයක් මතු වූ තැනක් වෙන්න ඇති. මෙතන පරපුරු කිව්වේ වයසින්ම නොවේ.
 කවුරු කොහොම කිව්වත් විහාරමහාදේවියේ තාම හමන්නේ ඒ සුළඟද කියලා හිතෙන්න ඇත්තේ අතීත කාමයක් හන්දම නොවන වගත් සැබෑවක්. මොකද අහසත් පොළවත් වෙන්කළ නොහැක්කා සේම අතීතයත් වර්තමානයත් අනාගතයත් විෂ්‍ය මූලිකව වෙන්කරගත්තත් ජීවිතයෙන් ජීවිතය වෙන්කරන්න හැකියාවක් තියනවානම් කොහෙ තියන කලාවක්ද කිව්වලු. පරිභෝජන සමාජයක දේශපාලන විපරියාස සමග තව තව මාකර්ට් හැදේවී. ජීවිතයත් මාකට්ම වේවි. ඒත් ජීවිතය කියන්නේ වෙනින් මොකවත් නොවේ. ජීවිතයම තමා.සුජියාගේ වැඩේ වගේම ඒ අළුත් මිතුරාගේ ආදරයත් අමතක නොවන සිහිවටනයක් වුනා.
කොහොමත් ලෝකය වෙනස් කරන්න  බලපාලා තියෙන්නේ පිස්සු වගේ මිනිස්සුන්ගේ පිස්සු හැදෙන කතන්දර තමා. ඒක කොයි සිතීමකටත් කොයි යුගයකටත් වලංගුයි කිව්වත් කාරි නැහැ. තාමත් කොළඹ නිදහසේ හදවතක් බඳු විහාර මහාදේවියේ කාක්කන්ගේ කරදරයනම් අඩුවක් නැහැ.
කොයි වෙලේද දන්නේ නැහැ සෙනසුරු වාහනය වූ කපුටා චක් ගාලා ඔලුවට පහරලා නිදහස විනාශ කරන්නේ. කරන්න දෙයක් නැහැ. ඒ කොළඹ කාක්කෝ කිව්වලු. සෙනසුරාගේ වාහනය කොළඹ කාක්කද නැත්නම් ගමේ කාක්කද කියලා ‌ලියැවිලා නැහැ. මොකද කාක්කා කියන්නේ කාක්කා හින්දා වෙන්න ඇති.
https://jagathmarasinghe.wixsite.com/mare
12 02 2023



Powered by Blogger.