අම්මගෙ රෙද්දේ මීටින් මීටින්

                                                   අම්මගෙ රෙද්දේ මීටින් මීටින්

          දුරකතනය යනු මැජික් එකක් නොවන්නේමය. තවමත් වැසිකිලි කොමඩය යනු මහා වැදගත් දෙයක්සේ සිතන මිනිසුන් යුරෝපයේද මේ වන විට ඒ සමග වලකක්කකුස්සි ක්‍රමය භාවිතා කරන්නට පටන් අරන් ඇතිබවවත් ලොකයේ පැරණි කුස්සිය වූ නැගිටින හිඳින කුස්සිය හිටගෙන කපන පැන්ඩි කබඩ් සහ මේසය සමග කුස්සිය ඒකලාගේ සමාජ ප්‍රභූමානසිකත්වය ප්‍රතික්ෂේප කර ඇති බවත් මේකුන් දන්නේ නැතිවාද නැතිනම් දැන ගත්තත් නොදන්නවාද සේ සිටිනවාද යන්න නම් මාරස දන්නේ නැත. දන්නවාය. ඒක කියවීම මේ ලිපියට තරම් නොවන්නේය.
      දුරකතන ඇමතුමක් ගැනීමට 1977 විවෘත ආර්ථිකයට  පෙර අර කරුණුය මේ කරුණුය ඇවැසි නැත. මාරස අත්විඳිකාරණා ප්‍රමාණවත්ය. ඒ කාලයේ සාමාන්‍ය මිනිසාට දුරකතන ඇමතුම් ගත හැක්කේ තැපැල් කාර්යාලවල පමණි. අපට කතා කරන්නට ඇවැසි දුරකතනන අංක තිබුනේ රාජ්‍ය ආයතන වලට පමණි. ඒ ඇමතුම ගන්නේත් කලාතුරකනි. ප්‍රධාන තැපැල් කාර්යාල වල පමණක් පූජනීය පෙට්ටියක් වන් දෙයක් ඇතුලේ දුරකතනයක් තිබුනා මතකය. ඒක අතපත ගා අප බලාසිටියේ මේ විද්‍යාවේ මාර දෙයක් යැයි සිතාය.අධ්‍යාපන අමාත්‍යාංශයට මා කොල් එකක් ගත්තා මතකය. පැයකට වඩා මා තැපැල් කාර්යාලයේ හිටියේ අර පෙට්ටිය ඇතුලට ගොස් දුරකතනය අතට ගැනීමටය. ඒ කාලය තුල මා ඇසූ හඬ වූයේ තැපැල් කාර්යාලයේ ලොක්කාගේ එක්ස්ජේජ් -අවුට් යන හඬ පමණි. බීප් බීප් හඩ සමග මාරස ඇසූ ප්‍රශ්නය පසක තමා මොනවදෝ මගුලක් මාරසට නොතේරෙන ඉන්ගිරිසි වලින් තමා මාරසගේ කනට ගහනවා මෙන් ඒකුන් රිසිවරය තිබ්බාද මතකය. අනේ හුකේ කියන්නේ ඒ නිසාය.
        නමුදු ධනේවර ලෙස හංවඩුගහන ගෙවල් වලටනම් පුද්ගලික දුරකතන තිබුනේය. අපි ඉස්කෝලේ යන පාරේ එක් පසක ටැලිපොන් කම්බිය. අනිත් පස විදුලි කම්බිය. ටෙලිපොන් කම්බිනම් ගොඩක් තිබ්බේය. 1971 කැරැල්ල සමයේ මාරස පහේ පන්තියේය. ඒ මිනුවන්ගොඩ ගම්මානයේ කොළඹ කුරුණෑගල පාර අයිනේ ගේක මාරස ජීවත්විය. හිටිගමන් වාහන නැතිව කොල්ලෝ දෙදෙනෙක් පැමිණ අර දුරකතන කනුවකට නැග්ගේය. අම්මලා අක්කලා සිටියේ තඩි බයකින්ය. මොකද පාරේ යන්නේ පොලිස් ජීප් සහ මොනවාදෝ ගෝනි පටවාගත් හමුදා වාහන පමණි. කෙසේ වුවත් ඒ දුරකතන කම්බි යන කනුවට නැගගත් එකා සියලු කම්බි කපා දැමුවා මතකය. දැන් ඉතින් රජයේ සන්නිවේදනය අවසන් කියන්නේ අද භාෂාවෙන්ය. ඒ කාලයේ ඒක මාර වැඩක් සේ මට දැනෙන්නේ මාරසට කනුවකට නැග දුරකතන කම්බි කපා දැමීමට හිතෙන දේවල් ජෝක් වුවත් ඒ මාර නිසාය.
     ඊට පසු ආරංචිවූයේ ‌චේගුවෙරාකාර නායයෙක් වූ ගාන්දිගේ කනක් කපා පොලිස් ජීපයකින් ගම  වටා රැගෙන ගොස් තවත් ගාන්දිගේ සගයන් සමග කොටදෙනියාව පාලම උඩ තබා වෙඩි තබා මරා දැමූ බවය. මේවා මිත්‍යා කතානොවන බව මා දැන ගත්තේ තරුණ වයසේදීය. නමුත් විජේවීර හිරෙන් නිදහස්වි මැලිබන් හන්දියේ අර රත්තරන් මාලා මුදු මිනිසුන් විජේවීර වෙත විසීකල රැලිය මාරසට මතකය. තවත් අභිමානයක් එහි තිබිණි. නමුත් ඒ රැලියේද පසුබිම ගසා තිබ්බේ මාක්ස් එංගල්ස් ලෙනින් පමණය. ට්‍රොස්කිව ගසා තිබ්බේ නැත. "අවස්ථාවාදයද නිර්ධනපංති ජ්‍යාතන්තරවාදයද?" කියා පසුව විජේවීර පොතක් ලිව්වා මතකය. නැමුත් ගැටලු බොහෝ උනත් ඒවා මරුය. ඒ සෙස්ස පස්සට තබා ලියන්නේ මේ සටහනට අදාල නිසා මග හැර යන්නට නොව යාංතම් සිහිපත් කර ලියන්නටය.
        තවමත් ජවිපේ ට්‍රොස්කිව ප්‍රතික්ෂේප කලද ඒකාගේ කලා මතවාදනම් අනියමින් පත්තියම් කරගන්නවා සේ දැනෙන්නේය. ට්‍රොස්කිගේ කලාමතවාද ගැන මෙලෝ හසරක් නොදත් මහා කලාකරුවන් ලෙස ‌77න් පසු වේදිකාගතවූ මහා කලාකාරයන්ද හසරක් නැතිව ඒ රතුවේදිකාවන් වලට නැගී ගෝර්කිවන් කලාකරුවන් වීමේ අතීත කාමයෙන් දඟලන බවද පෙනේ. කාලක් ගසා පැත්තකට වී හිටියත් මේවා දකින විට මාරසටද හසරක් නැතිවන බව සැබෑවකි.
       කෙසේ වුවත් 77න් පසු 2000 වන විට ගෝලීය ආර්තිකය යටතේ පොල්ගස් නගින මිනිසාත් කතා කරන්නේ ජංගම පෝනයෙන්ය. ඒක දැන් ජීවිතය වී තිබේ. සියලු දුරකතන අංකද තමන්ගේ හොර සහ හොර නොවන ඡායාරූපද ඇත්තේ ඒ පෝනයේය. ‌ඉන්ධන ගැනීමට ගියත් මාස්ටර් පෝනය අනිවාර්ය වී තිබෙන යුගයක අප අද ජීවත් වෙමු.
     නමුත් මේ ලියන්නේ ඒ දුරකතනය තවමත් සංස්කෘතික මෙවලමක් වී නොමැතිකමේ ඛේදවාචකයය. අළුත් කොල්ලන් කෙල්ලන්ටනම් එය සංස්කෘතික භාණ්ඩයක් වී හමාරය. මන්ද උන් සෙක්ස් කරන්නේද පෝනයෙන් නිසාය. මේ තත්ත්වය දුර ගිය නිසා ජපානයේ ජනගහනය අවවර්ධන වූ බවට ලිපියක්ද මාරස කියෙව්වා මතකය. කොටින්ම ආදරයේද ලිංගිකත්වයේද සන්නිවේදනය ස්පර්ශයෙන් කනට සහ ඇස්වලට සේන්දු වී හමාරය. වැඩිපුරම මේ සිදුවී ඇත්තේ අද වයසක අප වන් පනහ පැන්න තාත්තලා අම්මලාට වීම මාරය. මේ ගැන ප්‍රහසනය කලා කෘතියක්වත් මතුනොවීම මහා ඛේදවාචකයක පෙරනිමිත්තකි. දයානන්දයන්ගේ මදුර ජවනිකා වලනම් මේ ගැන ඉඟි තිබූ බව මතකයේ ඇත.
                කෙසේ වුවද මහා ධනේශ්වර භාණ්ඩයක් විදිහට පෝනය පාවිච්චි කරනවා විනා අපේ බොහෝ වාමංශික මිතුරන්ද පෝනය පාවිච්චි කරන්නේ උන්ගේ අදහස් අනුනට කීමට පමණි. ඒ කියන්නේ මලගෙයක් කීමට සහ උනගේ රැස්වීමක් හෝ මතයක් දැක්වීමට පමණි. කොතරම් අන්ලිමිට් පැකේජ් ඇතත් ජීවිතය ගැන විනාඩි පහක්වත් කතා කිරීමට හැක්කේ සියයට එකකටත් වඩා අඩු මිතුරන් සමග පමණි. පපුව දෙන්නට සූදානම් මිතුරන්ට පවා ඇමතුමක් ගත් කල මේ කාලයේ කියන්නේ මම මචන් මීටින් ඒකක ඉන්නේ කියාය. නැතිනම් මම මීටින් කියා ඉන්ගිරිසියෙන් පනිවුඩයක් එන්නේ ක්ෂණිකව ස්වයංක්‍රීයවය. මාරස බලා සිටින්නේ මේ ආකාරයෙන් දුරදිග සිතන කල මේ ප්‍රජාතන්ත්‍රවාදය මාරයි කියාය. මොකද මීටින්ය මීටින්ය මීටීන්ය. තනිකරම පට්ට පල් බොරුය. මේ මීටින් කතාව ගැන කතා කරන්නට ගියහොත් මීටින් කියන හැමඑකාගේම මනසින් රෙදි ගලවා බලා අවසාන වී ඇත්තේ මාරස පමණක් නොවන වග දැනේ.
      ඉතින් උනට අවසාන වශයෙන් කිව යුත්තේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ටවත් අවමන් නොකර උඹලාගේ මීටිම උඹලාම තියාගත්තානම් මාරයි කියාය. දන්නවා මල්කැඩීමට ඇවැසි අයට මිටින් නැහැ කියා. නමුත් නුඹලා සමග කතා කළ හැකි දේශපාලනයක් නැත. මීටින් වලම හිටපල්ලා. මල් කඩපල්ලා. ඉතිරි වචනය සදාචාරය නිසා නොලියා ඉන්නේ මොනවා වුනත් මාරසට සදාචාරයක් ඇති නිසාද මාරස දන්නේ නැති වුවද පාටකයන් ඉතා හොඳින් දන්නවා ඇතැයි සිතමි.
දුරකතනයකින් මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා
මගෙ හිත හදුනන ඔබ පිලිගත්තද
ඇතැමුන් කියන මුසා
සයුරට රල මෙන් වෙරලට වැලි මෙන්
අප බැදිලා උන්නේ
තොටුපොල හැර යන නෞකාවක් මෙනි
ඔබ ඇදිලා යන්නේ
මට තව මතකයි මගෙ මුල් ගීතයේ
තනුව කියා දුන්නා
යන තැන නිරතුරු පහනක් අරගෙන
පසුපස පිය මැන්නා
ඔබමයි ආවේ ඔබමයි යන්නේ
මා ඒතැනම එහෙමයි
නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම්
මගේ සතුටද එයමයි…
දුරකතනයකින් මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා
මගෙ හිත හදුනන ඔබ පිලිගත්තද
ඇතැමුන් කියන මුසා
ජගත් මාරසිංහ‍
18 05 2023
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.