ඇබ්බැහියේ කෝඩුකාරයෝ

        ඇබ්බැහියේ කෝඩුකාරයෝ 

          කාලයක් මත්ලෝලත්වයට ඇබ්බැහි වීම ‌හේතුවෙන් මාරසද අනේක අප්‍රමානව සමාජයෙන් බැට කෑ නිසාම මාරස ඇබ්බැහියෙන් මිදීමට මං සොයමින් පිස්සෙකු මෙන් ඇවිදපු කාලය කිසිදා අමතක වන්නේ නැත. "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී." යන සැලලිහිණියේ කව් පද පවා නැවත හදවතින් විමසීමට කැමතිනම් ඔබ සමාජය පිටුදකින යමකට ඇබ්බැහි විය යුතුමය. මහා සමීප මිතුරන් පමණක් නොව ආදර වන්තියෝද ආදර වන්තයෝද අනෙකාගේ ඇබ්බැහිය නිසා තනිකර දමන බව මාරස ජීවිතයෙන්ම තේරුන් ගෙන තිබේ. ඇබ්බැහියෙන් මිදී මාරස විසින් ලියන ලද " කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්ථාව " නමි ග්‍රන්ථයේ " මධුලෝලත්වයේ ව්‍යාකරණ පරිච්ඡේදයේ මේ සම්බන්ධව ප්‍රමාණාත්මකව ලියා තිබේ. නමුදු ඉන්පසු ඇතිවූ ඇබ්බැහියේ ස්වභාවයේ නිම්වලලු දැක  පිස්සු හැදෙන වපසරියක මාරස අතරමං වී ‌සයිබර් රස්තියාදුවේදී මේ ඡායාරූපය මත ඇස හිටියේ ඒ කරුනු කාරණා නිසා වන්නට පුළුවන.

       ඇබ්බැහිවීම යනු පුද්ගලයෙකුගේ සමාජීය, මානසික සහ ශාරීරික සෞඛ්‍යයට සාමාන්‍යයෙන් හානිකර වන ඕනෑම දෙයක් භාවිතා කිරීමට තමා තුලින් මතුවන  කායික හෝ මානසික අවශ්‍යතාවයකි . මෙම ඇබ්බැහිවීම හෝ යැපීම සාමාන්‍යයෙන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය සමඟ පමණක්  සම්බන්ධ වේ යන මුසාව මාරස දැනගත්තේ මත්ලෝලී ඇබ්බැහියෙන් පසු පියවී සිහියෙන් කටයුතු කළ  නොව මත්ලෝලී සංස්කෘතියේ අපහස උපහාසයට මාරස ලක්වන අවධියේය. නමුත් මේ වන විට මත්පැන් මත්ද්‍රව්‍ය වලටත් වඩා ඇබ්බැහි වැලක් සමාජ විද්වතුන්ගේ අවධානයට ලක්වී හමාරය.         

     ස්වයං වින්දනයට ඇබ්බැහි වීම, සූදුවට ඇබ්බැහි වීම, අන්තර් ජාලයට ඇබ්බැහි වීම, ආහාර ඇබ්බැහිය, අධික කෑම බීම ගැනීමට ඇබ්බැහි වීම, කාමුක දර්ශන වලට ඇබ්බැහි වීම, ඉන් සමහරකි. ඒ හැරුණ විට ලිංගික ඇබ්බැහිය, සීනි වලට ඇති ඇබ්බැහිය, තාක්ෂණයට ඇති ඇබ්බැහිය, ස්මාට් පෝන් ඇබ්බැහිය, සමාජ මාධ්‍ය ඇබ්බැහිය, වීඩියෝ ක්‍රීඩා සහ නිල් චිත්‍රපට ඇබ්බැහිය, වින්ඩෝ ‌ෂොපින් ඇබ්බැහිය, ව්‍යායාම ඇබ්බැහිය වැනි දේ සම්බන්ධව අද මනෝවිශ්ලේශකයන් බරපතල ලෙස සිතමින් මෙහෙයුම් දියත්කර තිබේ. නමුදු ප්‍රශ්නය වන්නේ මේ විශ්ලේෂකයන්ද විද්‍යාත්මක හෝ දේශපාලන ඇබ්බැහිකරුවන් බව දැනගත් විට ඇබ්බැහි වනාහී ජීවිතයෙන්ම කොටසක් බව දැනී යාමය. 

      යූ ටියුබ් චැනලයේ ස්වභාවධර්මයේ ආහාර සොයා බලා කෑමට ඇබ්බැහි වූවන්නම් නතර විය හැක්කේ නියඟලා කනේරු වැනි විෂ සහිත දේද තුනපහට දමා තනකොළද ලුණුමිරිස් සදා කා වීමට පුළුවන. මිනිසුන් මත්ද්‍රව්‍යය සහ මත්පැන් වලට ඇබ්බැහි වීමට මානසික ශාරීරික හේතු සහ ශාරීරික පාරම්පරික ජානමය හේතු තිබිය හැකි අතර අනෙකුත් සියලුම ඇබ්බැහි වලට වගකිව යුත්තේ ගෝලීය සමාජ දේශපානික අවජාතක වෙළෙඳ අවකාශයම වන්නේය. ඒවාටනම් සමාජ දේශපාලන සැබෑ වෙනසක් විනා අන්බෙහෙතක්නම් පේනතෙක් මානයේ නැත. එහෙත් ලාංකේය සමාජ දේශපාලන වමේ ඇබ්බැහිය සහ මාක්ස්වාදී ඇබ්බැහිය නිසා  සමාජ දේශපාලන වෙනසක් ගැන සිතීමට වඩා උඩ පැන හඳ ඇල්ලීමට සිතීම කාලෝචිත විය හැක.

      මිනිසුන් මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට ඇබ්බැහි වීමට විවිධ හේතු තිබිය හැකි අතර, එක් එක් පුද්ගලයා විවිධ ද්‍රව්‍ය හා තත්වයන්ට විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වයි. සමහර ඇබ්බැහිවීම් අධික ලෙස භයානක හැසිරීම් වලට තුඩු දිය හැකි අතර යම් හැකියාවකින් පරිශීලකයාට සහ ඔහු සමඟ සම්බන්ධ වූ සියල්ලන්ට හානිකර විය හැක. කාලෝචිත මනෝවිද්‍යාත්මක සහ වෛද්‍ය උපකාර ලබා ගැනීමෙන් ඇබ්බැහි වීම වළක්වා ගත හැකිය. 

       බටහිර මනෝ චිකිත්සක සංගම් පවසන්නේ ඇබ්බැහිවීම යනු මොළයේ රෝගයක් ‌බවය. ඒකලාට සංඥාවාදය අනුදැක ව්‍යවසායකන් විසින් නිශ්පාදිත වෙළෙඳ භාන්ඩ සහ වෙළෙඳ තරඟ කාරිත්වය සඳහා වෙළෙඳ දැන්වීම් මගින් මිනිසාගේ ඇබ්බැහියට කරන බලපෑම ගැන වැටහීමක් නැතිවා නොවේ. උන් වනාහී සායනික මනෝ ඇබ්බැහියන්දැයි සැක සිතිය හැකි තැන් බොහෝය. පසුගිය කල ඇතිවූ මනෝවිශ්ලේෂණ දේශපාලන රැල්ලෙන් පැටව් ගසන ලද මනෝවිශ්ලේෂන ඇබ්බැහිකරුවන්ගේ ප්‍රවනතාවක් අද යූ ටියුබ් චැනලය  මගින් අනාගත පරපුර අතරමංකරමින් සිටින බවක්ද සාධනය වෙමින් තිබේ. ඒ අනාගත පරපුරේ වැඩි වශයෙන් ඉන්නේ පැරණි විප්ලවවාදී වයසක පිරිසක් වීමද උභතෝකෝටිකයක් වී තිබේ. ඒ සම්බන්ධව උපදෙස් දීමට ඒකලාගේ මුල් ‌ගුරුන්ටද අපහසු නොව කොටින්ම බැරිවාක් මෙන් පෙනේ.  

       ප්‍රකාශනයකට අනුව ඇබ්බැහිවීමද නිර්වචනය කර තිබේ. සරළව ගත්කල ඇබ්බැහිවීම යනු පුද්ගලයෙකු සහ වස්තුවක් හෝ ක්‍රියාකාරකමක් අතර සම්බන්ධතාවයක් වන අතර එමඟින් ඔහු ආවේගය මත ක්‍රියා කිරීම සහ එම ආවේගයට ප්‍රතිරෝධය දැක්වීම අතර අරගලයක් ඇති කරයි. එය කලින් වැදගත් දේවල් සහ සබඳතා අඩු වැදගත්කමක් ඇති කරන අතරම විශේෂිත ක්‍රියාකාරකම් හෝ ද්‍රව්‍යයෝ වඩාත් වැදගත් වීමට හේතු වේ.

 ඒ තත්වයද අපයෝජනය කර සිය ව්‍යාපාර පවත්වාගෙන යාම අද කදිමට සිදුවෙමින් පවතී. අර ගණිකා ව්‍යාපාරවල පිංපියන් මෙන් මාධ්‍ය ප්‍රාග්ධනය විසින්  ව්‍යවසායකන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා මිනිසාගේ ආශාවන් වැඩිදියුනු කොට අපයෝජනය කිරීම දැන් අප ඇස් පනාපිටම සිදුවෙමින් පවතී. ‌එහෙත් මාධ්‍ය දේශපාලනය ගැන කිසිදු විද්වතෙක් කතා බතා නැතිවා සේය. වම්මුන්ද වැඩි ප්‍රමාණයක් නිහඬය. ඒ අන් කරුණක් නිසා නොව අප කොදෙව්වේ වාම දේශපාලකයන් වැඩි පිරිසක් මීඩියා ඇබ්බැහියෙන් පෙලෙන නිසා බව සැබෑවක්ය. බොහෝදෙනෙකුට අවැසි සැබෑව නොව තමන් සඳහා ඕඩියන්ස් එකම වී තිබෙන්නේය.

       මත්ද්‍රව්‍ය සහ මත් වතුර ඇබ්බැහියන් භයානක වන්නේ ඒවා නිසා ස්වයං විනාශකාරී තත්වයක් ඇතිවී සමාජයේ අනෙකුන්ට කරදරයක් වන විටය. පශ්චාත් නූතන දේශපාලන ගෝලීය ආර්ථිකයේ ඒ තත්ත්වයට වෙළෙඳ සහ දේශපාලනික තත්ත්වයන් මත ගොඩනැගුන සියලු ඇබ්බැහි දැන් සමාජ විරෝධී වී හමාරය. සමාජජාලා ආගමික ඇබ්බැහිය සියල්ලට හපන්ය. ඇබ්බැහියෙන් මිදීමට ආගමික සදාචාර නියමයන් සියල්ල දැන් ඇබ්බැහියේ ප්‍රචාරණ භාෂාවක් වී හමාරය. භාෂාවේ බලය මත ආගමික භාෂාවේ අයිතිකාරයන් නීති මාර්ගයට බසින තත්ත්වයක් අද උදා වී තිබේ. තෙලෙන් බැද්දත් කොබෙයියාය. කිරෙන්බැද්දත් කොබෙයියාය. තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියාය.

    අද යුගලන පවුලේ ආදරයද  ඇබ්බැහියක් වී හමාරය. කොටින්ම ආදරවන්තියට පානා ආදරයත් සිය බිරින්දෑ වරුන්ට පෑ ආදරයත් ඇබ්බැහියක් වී හමාර ලෝකකයක අප කොදෙව් වැසියා ජීවත්වන සේය. බිරින්දෑ නෑගම් ගිය නිසා කලේ පැන්වල නැවුම් රහ නැහැ කියමින් ආදර වන්තියගේ ආදර සෙනෙහස තොරම්බල් කරන තත්වයක් නිර්මානය වී හමාරය.  මේ සමාජ පීඩනයෙන් මිදෙන්නට මිනිසුන්ගේ තවත් ඇබ්බැහියක් වී තිබෙන්නේ කොන්දේසි විරහිතව දේශපාලකයන්ට තිත්ත කුණුහරුපෙයන් බැනීමය. නඩුමගට යාමය. පොල් ගැසීමය. අවසානයේ ‌පොල් වෙනුවට පොල් කුඩු කෑමය.

   මත් ලෝලීන්ව කොන් කොට, ඇති පදන් පාවා දී තමන්ගේ පීඩාකාරී මනස සැහැල්ලු කරගැනීම  විලාසිතා ඇබ්බැහියක් වී තිබේ. මේ තත්ත්වයන් දේශපාලනයට ඇබ්බැහිවූවෝ නම් සිය ඇබ්බැහියෙන්ම දන්නවාය. ඒ අන් කරුනක් නොව නිදහස් ජන්දයට ඇබ්බැහි වූ සමාජය  ඇබ්බැහිය මුල්කොටම ජනතාව සිය ඡන්ද පාවිච්චි කිරීම අනිවා බවය. 

    අවම වශයෙන් සිය බිරිඳට සැබෑ ආදරයක් ඇතිනම් පළමුව සිදුවිය යුත්තේ කුටුම්භ ඇබ්බැහියෙන් මිදීමය. කොටින්ම අප රටේ ආණ්ඩු ‌පෙරලන්නේ දේශපාලන මතවාද වලින් නොව ගතානුගතික ඇබ්බැහි සමාජ දේශපාලන කතිකාවෙන්ම වන්නේය. මේ යල් පැනගිය සමාජ උපසංස්කෘතීන් තුලින් මතුවන ස්වයං විනාශකාරී ඇබ්බැහියන් මීඩියා මගින් නවීකරණය කර ආරක්ෂා කරනු ලබන්නේ පැරණි වමේ ව්‍යාපාරයන්ටත් වඩා නව වමේ ව්‍යාපාර වීම ඇත්තෙන්ම කනගාටුදායක නැත. මන්ද ඇබ්බැහියෙන් මිදෙන්නට බැරි ඇබ්බැහියන්ගේ විනෝදයට ආතල් දෙන්නේ ඔවුන්ය. නමුත් ඉන් ආතල් ගන්නා ජනතාව කිසිදු  මැතිවරණයකදී වමට හෝ නව වමට ඡන්ද දෙන්නේ වම  අනේ පව් කියන  අතලොස්සක් දෙනා පමණි. ප්‍රමෝධයේ ප්‍රහසනය මාරය. දුකත් සතුටක් ලෙස බුක්ති විඳීම උගන්වමින් මීඩියානම් නිවන් යමින් සිටිනවා සේය. 

කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සගත් රොටි‍ය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ..
සැලේ ගහකොළ සුළඟ ඇත එද
සිහිළ කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ...
පුරුදු නිවහන නුහුරු වීනම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්.


Powered by Blogger.