මිනිසා ස්වභාවයා සමග හැප්පෙනවා තමා.

                                  මිනිසා ස්වභාවයා සමග හැප්පෙනවා  තමා.


Photo By: 1st Place Portrait by Titus Poplawski (Titus Poplawski දැනට Wroclaw හි පිහිටි ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධියක් සහිත පෝලන්ත ඡායාරූප ශිල්පියෙකි. අනුපිළිවෙල, වර්ණ සහ සංයුතිය ඔහුගේ ඡායාරූපකරණයේ වෙනස් අංග වන අතර එය ප්‍රතිසම සහ ඩිජිටල් යන දෙකින්ම වර්ධනය වේ. ) .

       2021 වර්ෂයේ ලොව පුරා හොඳම සම්මාන දිනූ ඡායාරූප 45ක් මාරසට සයිබර් රස්තියාදුවේදී හමුවුනා. මේ ඉන් එක් ඡායාරූපයක්. ඒ ඡායාරූප ගැන ලියන්න යනවාට වඩා හොඳයි ලෝක ඉතිහාසය ගැන පොතක් ලියන්න ගන්න එක. ලෝක ඉතිහාසයනම් කිසිදා ලියලා ඉවර කරන්න බැහැ. පැතිකඩක් විතරක් අල්ලන් සෙල්ලමක් දාන එක තමා කවුරුත් කරලා තියෙන්නේ. මිනිස් ජීවතයකට ඉඩ මදි ලෝක ඉතිහාසය ලියන කතන්දරය. ඒකත් හරියට අර ත්‍රීපිටකය මම කියවා තිබෙනවා වගේ කතන්දර. ත්‍රීපිටකය කියන්නේ විශ්වය කියනවා වගේ දෙයක්. ඒක ගැන හිතාගන්නත් මිනිස් මනස ඉඩ ඇතිද මන්දා. ඒක හැදෑරුවා කියලා කවුරු හරි කියන්නෙත් පැතිකඩක් අල්ලන් කියවලා තමා. මොකද ඒවගේ පොත් කියවනකොට ඒ පොත විසින් කියවන කෙනාගේ ඔලුව සහ ජීවිතය කියවන්න ගන්නවා. අන්තිමට පොත පැත්තකින් තියලා ඒකේ තියන දේවල් කියලා කියවන්න ගන්නෙ තමන්ගේ දේවල්. ඉතින් සමහර වෙලාවලට ඒවා සම්භාව්‍යයි වගේ. ගොඩක් වෙලාවලට ඒවා ජෝක් වෙනවා. ඉතින් ඒ ග්‍රන්ථයේ ජෝක් නොවේ කියවපු පුද්ගලයගේ ජෝක්ම තමා. ඒ වගේ තමා ඡායාරූපයක් කියවනවා කියන කතන්දරයත්. ඡායාරූප ශිල්පියා ඡායාරූපයක් ගනිද්දි තමන් ගන්න අරමුන ඡායාරූප ශිල්පියා කියවනවාවාට වඩා අරමුණ ශිල්පියාව කියවනවා. අන්තිමට ශිල්පියා ගහන ඡායාරූපයෙන් ඒක දිහා බලන රසිකයාද අතරමංවෙනවා. ඒ අතරමංවීමම තමා වින්දනය වෙන්නේත් කිව්වොත් කාටවත් නැහැ කියන්න බැහැ. 

ඡායාරූප ශිල්පියෙක් යම් අරමුණක ආලෝක දඩයමක් කරලා මහා ලොකු මිනිහෙක් වගේ ඒක නිරාවරණය කරනවා. ඉස්සරනම් ‌බාත් වලට දාලා සෘණ පටය හෝදනවා. පස්සේ තමා කාඩ් එකකට නිරාවරණය කරගන්නේ. දැන්නම් කෙලින්ම කැමරාවෙන්ම නැතිනම් ‌පරිගණකයක් මගින් නිරාවරණය කරන් බලනවා. මාර විදිහට සතුටක් ඇතිවෙනවා. ලොකු කමකුත් ඇතිවෙනවා. නමුත් හරියටම හිතන්න ගියොත් ශිල්පියා අරමුණ පාලනය කරල දඩයම කරගන්න ගියාට වැඩියෙන් වෙලා තියෙන්නේ අරමුණ ඡායාරූප ශිල්පියාව දඩයම් කරගත්ත එකමද කියන ප්‍රශ්ණය තුල තමා ආලෝක දඩයමක විචාරාත්මක අක්ෂිය වැඩ කරන්නේ. ඒ වගේම අපි මේ අරමුණ දකින්නෙත් නැහැ. ඡායාරූප ශිල්පියාව දකින්නෙත් නැහැ. අපි දකින්නේ නිර්මාණය පමණයි. රසිකයාගේ අරමුණ නිර්මාණය පමණයි. ඒ නිසා අපිත් ප්‍රධාන ලකුණු දෙන්නේ අරමුන අපේ මනසට දැනෙන හැටියට. ඊට පස්සේ අපි කරන්නේ ඒ අරමුණ අපේ මනසින් දැකලා ශිල්පියාව විවේචනය කරන එක තමා. මේක මෙහෙම වුනානම් මරු, ලයිටින් මරු, ඒ උනාට වර්ණ නිල් වුනානම් මාර වෙයි වගේ කතන්දර. ඉතින් මේ විචාරය කියන්නේ වින්දනයම තමා කියන කතාව මාරයි. ඡායාරූපයක් දැකලත් විඳින හැම එක්කෙනෙක්ම විචාරකයෙක් තමා. නමුත් විචාරකයෝ කියලා වෙනම කට්ටියකුත් ඉන්නවා. ඔබ දන්නවාද විචාරකයන්ව ගරු කරන  කිසිවෙක් හරිහමන් නිර්මානයක් කවදාවත් කරලා තියනවා කියලා මතයක් තියනවා කියලා.

විචාරකයෝ කියන්නේ අද වන විට බලයක්. කෙලින්ම දැනුමේ බලයෙන් පටන් අරන් දේශපාලනික බලයක් බවට පත්වුන පිරිසක්. උන්ට ඇවැසිනම් නිර්මානයක් විනාශ කළ හැකියි. නැතිනම් හැංගිය හැකියි. තවත් කැමතිනම් දුර්වල නිර්මාන ශිල්පියෙක්නම් ඒ මනුෂ්‍යයාගේ සියදිවි නසා ගැනීම තෙක් තම මෙහෙයුම දියත් කළ හැකියි. ලංකාවෙත් මේවා මේ නිමේෂයේත් සිදුවෙනවා. කිසිම දවසක මාරසනම් විචාරකයින්ම සත පහකට මායිම් කරන්නේ නැහැ. ලංකේය සිනමාව කෑවෙත් ප්‍රාග් ධනයට වඩා විචාරකයෝ. අද කන්නෙත් විචාරකයෝ. සුචරිත ගම්ලත්ලගේ සිට විචාර කලාවේ ප්‍රගමණය මාරයි. බලන්න සිනමා කෘතියක් නාට්‍යක් කියන කතාව එක්තරා වම් ඉවුරෙන් පටන් ගත්ත සීමාවකට නොවේ මාක්ස්වාදී අධිකාර බල පන්තියකට යටත් උනා. දැන් ඉතින් උන් සිනමාව බලනවා. සාමාන්‍ය මිනිස්සු මාධ්‍ය බලනවා. ඉතින් ලංකාවම දැන් මාර දන්න කියන පොරවල්. චින්තකයන්ට පිස්සු හැදිලා. ඔයාලනේ උගත්තු අපි සාමාන්‍ය මිනිස්සු කියලා ඩිප්ප්‍රෙෂන් නැතිනම් රත්පිත් උන්මාදය හදාගෙන ලත වෙනවා. නැතිනම් හංස ගීත වයනවා.

මාරස විචාර කරන්නේ නැහැ විචාර බලය මත. දකින දේ මාරස විඳපු ටිකක් කියනවා විතරයි. ඒක තමා විචාරය විය යුත්තේ. මේ ‌ඡායාරූපයේ වර්ණය නිල්. අහසේද වර්ණය නිල්. නමුත් අපේ හිතේ තියන නිල් අහසේ රක්තවර්ණයක් යාන්තමින් සටහන් වෙලා. මා දන්නේ නැහැ අරමුණ ආලෝක දඩයක්කරු ඇල්ලුවාද අරමුණ කැමරාව හෙල්ලුවාද කියලා. නමුත් මෙතනදිනම් මොන ඇපූචර් මොන තාක්ෂණය තිබ්බත් අරමුන කැමාව අත්අඩංගුවට ගන්නවා නියතයි. මොකද ස්වභාවය සමග හැප්පෙනවා කියනනේ සෙල්ලමක් නොවේ. කෙසේ නමුත් මෙතනදි මේ සම්මාන දිනූ ඡායාරූප ශිල්පියා අති දක්ෂයෙක්. ස්වභාවය පැත්තකින් තියලා වතුරේ ශරීරයෙන් භාගයකටත් වඩා ගිලිලා ඉන්න ගැහැනු දෙන්නෙක්ව වතුර සහ අහස පසුබිම් කරගෙන ආලෝක දඩයම නෙලලා තියනවා කදිමට.

හරිම කපටි ශිල්පියෙක්. නැහැ සමහර විට ඒකාගේ හිතත් ඒක නිසා වෙන්න පුලුවන්. මුළු  විශ්වයේම සුන්දරත්වය රෙද්ද නැති ගැහැනියකගේ නිරුවත බව ඇගිල්ලෙන් ඇනලා පෙන්නන්න මේකා සමත් වෙලා. වතුරට බැස්සාම ගැහැනියක් විතරක් නොවේ, පිරිමින්ද වෙනත් ලෝකයකට යනවා. විද්‍යාවෙන් කියනවානම් ඉතින් අපිත් ජලජ ජීවීන්නේ. ශරීරයෙන් වැඩිම කොටසකුත් ජලයනේ. තව දුරටත් කියනවානම් මිනිසා මිනිසෙක් වෙන්නෙත් ජලය නිසානේ. සූර්යා අපට වැදගත් වෙන්නේ නොවේ දෙවියන් විදිහට පිළිගන්න ගන්නේත් ජලය නිසානේ. ජලය නොතිබුනානම් සූර්යා දෙවියෙක් වෙන්නේ නැහැමයි. කෙලින්ම යක්ෂයෙක් වෙනවා. 

කෙසේ නමුත් වතුරේ අහස සහ සූර්යාව මතු කරන් ගැහැනියකගේ ජල ශක්තියේ බලයද මතුකරන් සෞන්දර්යාත්මකව මේ ඡායාරූපයට සම්මානයක් නොදුන්නනම් තමා පුදුමේ. මොකද මේක මහා දාර්ශනික ධර්ම ඡායාරූපයක්. මේක දිහා බලන් ජලය සහ ගැහැනිය ගැන පොතක් නොවේ පොත් දහසක් ලිවිය හැකියි. නමුත් මේ ශිල්පියා තප්පරයෙන් පංගුවකින් මෙන්න ඒක  දඩයම් කරලා. ජය වේවා. නමුත් මේකේ අනිත්පැත්තත් ඒකම තමා. කැමරාවයි ශිල්පියාවයි මේ ඉන්න ගැහැනු දෙන්නයි ස්වභාවයා දඩයම් කරගෙන. හැමදාම උන් දිනුම්. ඒති නිර්මාන ශිල්පියෝ ස්වභාවයා සමග ඇති ආදර සටන නවත්තන්නෙත් නැහැ. 

ඒක තමා ජීවිතය. විශේෂයෙන්ම කලාව වෙනුවෙන්නොවේ ආදරය වෙනුවෙන්ම කලාකරුවන්ගේ සැබෑ අරගලය. ඒ අරගලයට පිටුපාන දේශපාලන අරගලයේත් ප්‍රධාන නාභිය මෙතන. නැතිව පක්ෂ දේශපාලන කියන විකාර මගුල් නොවේ.

ජගත් මාරසිංහ

19 04 2023

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.