සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා..

                     සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා..                               

World Street Photography Awards 2016 - Street Portraits 4 වීදිය ඔස්සේ පිය මනින කල (Bangkok Sex Worker Sleeping in the Gas) යන හැඳින්වීම යටතේ Frank Day පිටුවේ තිබූ මෙම ඡායාරූපය ළඟ ඇස නතර වුනා. වට දහයක් පහළවක් කැරකෙන්න ඇති. අග මුල හොයගන්න තවත් රවුම් ගහන්න ඇති. තවත් පැටලෙන්න ඇති. ඡායාරූප ශිල්පියත් එක්ක ගැටුමකුත් යන්න ඇති. මේ ගෑනිට සරණ නොවී ඒකා පොටෝගහනඑක මූලික කරගත්තේ ඇයි කියන කතාව ප්රශ්න කරන්න ඇති. සමහර අවස්ථාවක ඒකි කැමරාකාරයාගේ පැත්ත ගන්න ඇති. අපිව කිච වෙන්න ඇති වගේ දහස්ගනන් වැඩකට නැති සේ පෙනුනත් වැඩකට ඇති සිහින. මෙවැනි දසුන් දැක්කම ඕජෝ ධාතුව කැළඹිලා රත්පිත විසින් මොළේ ‌පුරුෂ ලිංග පද්ධතිය සුසර කරන්නේ අමුතුම ආකාරයක හෝමෝන විද්යාවකින් කියලා ඇලපති දකිනවා. වෙනම ආකාර ධාතු මූල ක්රමවේදයකින් ආයුර්වේදයත් දකිනවා. ආයුර්වේදයේ දිවැසවන් ජ්යෝතීර්වේදය ඉතිහාසයක් රහසින් වහගෙන ආරක්ෂා කරලා තියනවා. හොඳ වෙලාවට ඒ ‌ජ්යෝතිෂය පොත් පත් ඉතිරිවෙලා තියනවා. ‌ජ්යෝතිශ්ශාස්ත්රානුකූල පැත්තෙන් මේවා කෙලින්ම පැවැත්මේ න්යායන්. නමුත් අද වෙනකොට ජ්යෝතිෂය න්යායන් වැඩක් නැති වෙන්නත් පුලුවන් ලිංගික සේවිකාවෝ හොයන්න. මොකද මාරසට අනුව අර ඒඩ්ස් තොරතුරු මූලාශ්ර කියනවා වගේ මේ නිමේශයේ ගණිකා වෘත්ත්ය හෝ ලිංගික සේවය එක් පංතියකට සීමාවෙලා ‌නැහැ. ජාල වලට බෙදිලා. අන්තිමට බැලුවම කවුරු කවුරුත් යම් ජාලයකට කොටුවෙලා ඉවරයි. ඒ ගැන වෙනම මාරස මතුවට තව ලියාවි.
මෙතනදිනම් වික්ටෝරියන් සලාද සදාචාරය මාර මෙහෙයක් කරනවා. පේන දේවල් වහගෙන කට පියන් ඉන්න මිනිස්සුන්ව පුරුදු පුහුණු කරල තියන කාරණයට. නැත්නම් පත්තිනි අම්මල සහ කාලි අම්මලාගේ ගැටුම සුර අසුර යුද්ධයකට හපන් වෙන්නත් ඉඩ තිබුනා. ‌
මේ ඡායාරූපයට ලියන ලද කොමන්ටුවක අයෙක් මෙසේ ලියා තිබුණා.
"විශිෂ්ට, දුක්ඛිත රූපයක්, දෘශ්යමය සහ අන්තර්ගතය අනුව. කෙල්ල ලස්සන නිසා ඒක තවත් හොඳ වෙනවා."
ඔව් මෙතනදි හැම පිරිමියෙක්ම දන්නවා මේ ඡායාරූපය දුටු විට පළමුව සිහිවෙන්නේ අම්ම අක්කලාවද තමන්ගේ ආශාවද කියලා. කොහොම නමුත් කෙල්ල ලස්සන නිසා ඒක තවත් හොඳ වෙනවා කියන කතාව ඇත්තකටත් වඩා සැබෑවක්. අනුකම්පා කෑල්ලක් හොයාගෙන තමා දුක්කරමින් බොහෝ බගවතී හදවත් වලට යක්ෂයොත් රිංගන්නේ. අපේ කොදෙව්වේ කාන්තාවන් කිඩ්නැප් කිරීම පැහැරගෙන ගොස් ලිංගික සේවයේ යෙදවීම මහා පරිමානයෙන් නැහැ වගේ තමා පේන්නේ. නමුත් ස්ත්රියන්ව අන්දවා ආදරයට මුවා වී මේ සේරම දේවල් සිදුවෙනවා. අන්තිමට වෙන්වීමේ ධර්මය උඩ දදා සමහරු චැට් පොටෝ මකලා සිම් කුඩුකර දමා සිල් අරන් වෙන් වෙන අවස්ථා පවා තියනවා. ඒ පොටෝ සමහර විට පෝන් වල නැති උනාට අන්තර්ජාලයේ හමුවෙනවා. මාරසට දිනක් ව්යාධ දේවයෝ කිව්ව වගේ ලංකාවේ ප්රථම ප්රේමයෙන් පස්සේ ජීවත්වෙන බොහෝ ගැහැනුන්ගේ හදවතේ සනීප නොවන තුවාල තියනවා. ඒ නිසාම පුරුෂ මොළයේ තැලුම් තුවාල ගොඩයි. සමහර අය හිතා ඉන්නේ කැලැල් විතරක් ඉතිරි වෙලා කියලා. අපෝ නැහැ. ඒවා කැලැල් නෙවේ තනිකරම පැසවපු තුවාල. වැඩි දුර යන්න වෙන්නේ නැහැ අපේ අතීත වර්තමාන ආදර ගීත ටික අහපුවාම ඇති.
තවත් කොමන්ටුවක මෙසේ ලියා තිබුුුණා. "ප්රබල ග්රහණයක්- ෆ්රෑන්ක් .. එකතු කිරීමට කිසිවක් නැත...අතිශයින්ම කණගාටුදායකය."
වික්ටෝරියානු සලාද සදාචාරයේ ආදර පවුල් වී දේශපාලනය ගැන දොඩන ලාංකේය විශ්රාම සුවයේ පසුවන දරු මල්ලන් ඇති ආදර වන්තයන් දැන් තමන්ගේ කාර්යභාරය නැවත පටන්ගෙන ඇත. විවිධ වර්ණයන් අරක්ගත් කණ්ඩායම් තුලින් මතුවන තේමාවන් යටතේද මේ ආදරයේ සැරව ගඳ අද පශ්චාත් අරගල තුලින්ද වහනය වනවා සේ දැනේ.
මේ ඡායාරූපයේ අරමුණු නාභියේ සිටින්නේ පැහැපත් මිලේනියම් වර්ණ වන් හමක් ඇති බිම අත් බෑගය කොට්ටයට ගෙන නිදා සිටින ගැහැනියකි. තප්පරයක් හරි සැපට නිදන්නට ඇය සිය උපැසද ගලවා කුස අසලින්ම තබාගෙන ඇත. සිය දෘෂ්ටියෙන් ඇයම වෙන්වී ඇති බව සංකේතීයව දන්වමින් ශිල්පියා අපව හතර වටේ රැගෙන යයි. හරියමට කහ පැහැති සුරූපිනයකගේ පිළිමයක් පෙරලා දමා බලන්න වෙලා තියන දේ කියමින් ශිල්පියා අපව මහන්සි කරනවා සේය. ඇය වේදනාවේ නීල සහ ඝණ නීල වර්ණයෙන් වට කර ඇත. නින්දක් නොව වේදනාත්මක නින්දක් බව දැනෙන්නට තව වර්ණ කුමට. නමුත් මහපොළවත් නිල් නොවන පසුබිමත් අළුපාට වන් කාලවර්ණයෙන් යොදා තිබේ. කුණු ලේ පාටීන් හෙවත් ගැඹුරු මෙරුන් වලින් පටන් ගෙන විකර්ණ රේඛාවක රතු පැහැති කාමයේ පැල්ලම් විදුලිකොටනවා මෙන් පෙනේ. දැන් පසුබිම් සියලු වර්ණයන් පරාජය කරමින් ජය ලබන්නේ දෙපා වල දනහිස අසල අඩ නිරුවත් කලවා කොටසයි. අනංගරංග නියමයන්ට අනුව දනහිස පසුකර හිසවෙත යන මහා මාර්ගයේ ඉලක්කයට ආසන්නතම මහාමාර්ගය කලවාම වෙයි. අඩ නිරුවත මිනිසා සම්පූර්නය කරයි කියන කතාව මාරසනම් අසා ඇත්තේ සැබෑ වීදි රස්තියාදුවේ යන කාලයේදීය. අහම්බෙන් හෝ ශිල්පියා යෝනිය පෙකනිය පින්තූර රාමුවේ තල නාභියට නැතිනම් මැදට ගැනීමට සමත් වී තිබේ. රසිකයාගේ ඇසට වට පිට බලා මැදට එන්නට නොහැක. ඡායාරූපයක වස්තු සංවිධානයේ නාමයෙන්ම මැද සිට වටා පිටාව කිමිදෙමින් ආලෝක අභිනයන් නැරඹිය හැක. දැන් සෘංගාර රසය පිටාර ගලනවා සේය. රසික නේත්රාවෝ ඉතා සෙමින් ඇගේ මුහුණට පැමිනේ. වර්ණ වෙනසක් නැති වුවද හෑන් බෑගයක් උඩ සිය දෑත් මත හිස තබා නිදන අවස්ථාවක කාන්තා ‌ලිංගික සේවිකාවකගේ අසරණ අහිංසක භාවයන් ඇඬෙන්න කැමරාවෙන් දෙනවා කියන්නේ මේවාටදැයි සිතේ. ගිණි පුළිඟුවක් දැක්ක ගමන් ගිනිගන්න ගෑස් කුටීර දෙකක් අතරේ තමා ලිංගික සේවිකාවකට නිදහසේ ඇස් පියා ගන්නවත් පුළුවන්වෙලා තියෙන්නේ කියන උපහාසයෙන්, අපහසයෙන් ඡායාරූප ශිල්පියා බැංකොක් දේශපාලනයේ අමනුෂ්යත්වයටත් ගිනිතියන්න පටන් වගේ වගේ දැනේ.
වීදි ඡායාරූපයක් සැබෑවටම රසික සිත හොල්මන් කරන්නේය. අයෙකුට දුක හිතේ. අනුකම්පාව ඇතිවේ. තවකෙක් ධර්මය මතින් අෂ්ටලෝක ධර්මය මෙනෙහි කළ හැක. තවකෙක් ආශාවෙන් මුස පත්ව සිය දෑසින්ම රූපයේ ආලෝකය ඔලුවට දමාගෙන දෘෂ්ටි විතානයෙන් අගුලු දමාගෙන නිදහස් තැනක් සොයා යන්නට බැරි නැත. බොහෝ වාමංශිකයන්ට සිය දර්ශනයේ සැබෑව කලාව හරහා විප්ලවීය කාර්යන්ට සංකේතීයව අදහස්ද ගලපමින් දැක්කා වන්නටද පුළුවන. සියල්ලන්ටම වඩා වැදගත් වෙන්නේ මේ ඡායාරූපයට බැන වදින වික්ටෝරියන් ධර්ම තත්ත්වයන් ලබා සිටින පිරිසය. මේ ලඟකදී විප්ලවීය දේශපාලන ලේඛකයෙක් වමට බනින සහ දොස්කියන මාධ්යවේදීන්ව හෙලා දැක තිබුණා මතකයේ තිබේ. මාරසටනම් කියන්න තියෙන්නේ බනින්නේ ආදරේට යකෝ කියලාය. තව දේ ඇත. මේ ඡායාරූපය දැක ඒකිට බනින සැම ඉතා වැදගත් වන්නේද එතැනිනි. උන් බනින්නේද ආදරයටය. ආශාවකින් තොරව ආදරයක් ඇතිවිය නොහැක. මේ ගැහැනිය වෙනුවට වෙනත් දෙයක් තිබ්බානම් අපට මෙතරම් දේවල් කතාකිරීමට සිදු වන්නේ නැත. සිදු වූයේ වීදි ඡායාරූපයක තිබිය යුතු සියලු ගුණයන්ගෙන් පෝෂිත ඡායාරූපයක් දැකීමය. ඇත්තටම මාරසනම් මේ මිලි තප්පරයේ ආලෝක දඩයමට මෙහෙම කියනවා. ඔබේ දඩයම දැකලා මාරස ස්ත්රීත්වය හරහා ලෝකය දෙස බැලීමට නැවත යාවත්කාලීන උනා කියලා. ඔව් ඒකිලා දිහා බලලා භගවතී ශක්තීන් හරහා ලෝකය කියවන්න අප්ඩේට් වුනා තමා.
සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා..
ආදරේ උණුසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා..
දුලීකා..////
මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ..
නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ..
මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ..
ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ..

https://youtu.be/Lm2cf0Sh8Zc


www.jagathmarasinghe.com
28 10 2022



Powered by Blogger.